-0.6 C
New York
Home Blog Page 18

මහවැලි දේපොළට, වන්දි ගත්තා යැයි ශෂීන්ද්‍ර රිමාන්ඩ්

0

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 19 වැනි දා රිමාන්ඩ් කරන්න යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග අද (06) නියෝග කළාය.


මහවැලි අධිකාරියට අයත් සෙවනගල, කිරිඉබ්බන් වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇතැයි කියන ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ කිහියක් 2022 මැයි මස 09 වැනි දින ජනතා අරගලයේ දී හානියට පත්ව තිබිණි.
මෙම දේපළ මහවැලි අධිකාරිය සතු බවට හඳුනාගෙන අදාළ වන්දිගෙවීම ප්‍රතික්ෂේප කර තිබිය දී ඊට විරුද්ධව යමින් හානි පූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ රජයේ නිලධාරීන්ට බලපෑම් කර ඇතැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල කර තිබිණි.


මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් 1999 අංක 28 දරණ පනතින් සංශෝධිත 1982 අංක 12 දරණ පොදු දේපොළ විෂයෙහි සිදුකරනු ලබන වැරදි පිළිබඳ 5(1) වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබිණි. එමෙන් ම වන්දි ලබාගැනීමෙන් දූෂණය නමැති වරද සිදුකිරීම සහ කුමන්ත්‍රණය කිරීම යන චෝදනා ද ඔහුට එරෙහිව එල්ල කර ඇත.


අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් සහ විත්තිකරුගේ නීතිඥයන් ඉදිරිපත් කරන ලද කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබාදුන්නාය.

-Advertisement-

BYD Atto 3 අර්බුදය: තාක්ෂණය vs හණමිටි නීති ?

0


මෑතකදී BYD Atto 3 විදුලි වාහනයේ මෝටර බලය ගැන ලොකු කතාවක් ගියා. අපිත් රැල්ලට නොගිහින් මේ ගැන පොඩ්ඩක් මොලේ වෙහෙසලා බැලුවා. අපි එකතැන කැරකෙනවා වගේ නිසා, Google කරලා ලෝකය මොන වගේද කියලා හොයලා බැලුවා.


මතුපිටින් බලද්දී ඕන කෙනෙකුට මේක සරල බදු ප්‍රශ්නයක් වගේ පෙනුණත්, ඇත්තටම ඒක රටේ නීති පද්ධතියේ ගැටලුවක්. ඒ බව ඇඹරෙන්නේ නැතුව කෙළින් කියන්න තමයි විස්තරේ ටිකක් ගැඹුරට හොයලා බැලුවේ.


ඇත්තටම මේක ජෝන් කීල්ස් වගේ සමාගමකට හෝ BYD වගේ ලෝකෙම දන්න සමාගමකට දොස් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක නූතන තාක්ෂණයට නොගැලපෙන අපේ පරණ නීතිවල අඩුපාඩුවක්. කැමති අය මෙතනම ටිපර් පාර්ක් කරගෙන නවතින්න. ඒක ලේසියි.


නමුත් ලෙඩ හොඳ කර ගන්න නම් කොච්චර තිත්ත වුණත්, බෙහෙත් බොන්නම වෙනවා. අන්න එහෙම අය අපිත් එක්ක ඉස්සරහට යන්න එන්න.


BYD සඳහා පාවිච්චි කරන තාක්ෂණයම තමයි ටෙස්ලා සඳහාත් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මේක අලුත් දෙයක් නෙවෙයි!


• Tesla Model 3: එකම මෝටරය භාවිතා කරලා Standard Range සහ Long Range මාදිලි සඳහා වෙනස් බල මට්ටම් ලබා දීලා තියෙනවා.
• Volkswagen ID.3: මේකෙත් ID.3 Pure (110kW), ID.3 Pro (125kW), සහ ID.3 Pro S (150kW) වගේ මාදිලි තුනක් එකම මෝටරයෙන් හදලා තියෙනවා.
• BMW i4: මේකෙත් විවිධ මාදිලිවලට වෙනස් බල මට්ටම් තියෙන්නේ.


නීතිය පරණයි, සමාගම වැරදි නෑ!

මේ තත්ත්වය නිසා දේශීය නියෝජිතයා වන ජෝන් කීල්ස් සමාගමට දොස් කියන එක වැරදියි. ඔවුන් කරලා තියෙන්නේ නිෂ්පාදකයා විසින් නිල වශයෙන් දුන්න 100kW බලය මත නීත්‍යානුකූලව බදු ගෙවීමයි.


එසේ නම්, මෙහිදී වරද ඇත්තේ තාක්ෂණයට අනුගත නොවූ අපගේ නීති පද්ධතියේ බව දැන් පැහැදිලියි. හැබැයි අපි අපිවම රවට්ටගන්න කරන වැඩ නිසා , දේශීයව වාහන ආනයනය කරන ආයතන නීත්‍යානුකූලව කටයුතු කළත්, සමාජය තුළ අවිශ්වාසයක් ඇති වී තියෙනවා. ඔන්න ඕකයි ප්‍රශ්නය.


ජෝන් කීල්ස්ගේ විනිවිදභාවය සහ විසඳුම් සෙවීම :
විශේෂ කාරණය වෙන්නේ මෙම තත්ත්වය තුළ ජෝන් කීල්ස් සමාගමත් වගකිවයුතු ලෙස කටයුතු කර තිබීම.
ගැටලුව සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින්, ඔවුන් රේගුවේ ඕනෑම පරීක්ෂණයකට සියලු සහාය ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කර අවසන්. මෙය ඔවුන්ගේ විනිවිදභාවය පෙන්නුම් කරනවා. ඊට වඩා කරන්න දේකුත් සමාගමට නෑ.


ඒ වගේම පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවා ප්‍රකාශ කළේ, මේ ගැටලුව විසඳා ගැනීමට අන්තර්ජාතික තාක්ෂණික ආයතනයක සහාය ගත යුතු බවයි. එයින්ම පැහැදිලි වෙනවා , මේ ගැටලුව සාමාන්‍ය බදු කාරණයක් නෙවෙයි, තාක්ෂණික විශේෂඥ දැනුම අවශ්‍ය වන සංකීර්ණ ගැටලුවක් බව.


විසඳුම සහ ඉදිරි ගමන
මේ අර්බුදයෙන් ගොඩ එන්න නම්, අපි අපේ ප්‍රතිපත්ති අලුත් කරන්න ඕනේ. ඒක තමයි මෙතුවක් කල් හරියට වෙලා නැතිදේ.


ඇත්තටම අපේ රටට ගැලපෙන්නේ සරල සහ පාරිසරික මෝටර් රථ බදු ප්‍රතිපත්තියක්. එහිදී CIF අගය මත පදනම් වූ ස්ථාවර බද්දක් (Flat Tax on CIF Value), වෙත යනවද නැද්ද ?නැත්නම් විකල්ප ගැන සාකච්ජා කරන්න පුළුවන් .
නමුත් කාබන් විමෝචනය මත පදනම් වූ පාරිසරික බද්දක් ගැන නම් හිතන එක තවත් පරක්කු කරන්න නරකයි. (ඒ කාළේ මුදල් ඇමති මංගලත් ලොකු බරක් තිබ්බේ මේ වගේ එකකට. )


වාහනයෙන් පිටවන කාබන් ප්‍රමාණය (ග්‍රෑම්/කිලෝමීටරයට) අනුව බද්දක් අය කිරීම
මේ බද්ද මඟින්, පරිසරයට හානිකර වාහන ආනයනය අධෛර්යමත් කරන අතර, විදුලි (EV) සහ දෙමුහුන් (Hybrid) වාහන සඳහා බදු සහන හෝ සම්පූර්ණ බදු නිදහස ලබා දීමක් කරන්න පුළුවන් නම් මරු.
මොකද එයින් ජනතාව පරිසර හිතකාමී වාහන මිලදී ගැනීමට පෙළඹවීමක් සිද්ධ වෙනවා.


මගේ අදහස නම් බදු සහන සහ ආනයන සීමා කිරීම් වෙන්න ඕන.
එතනදි නිෂ්පාදන බද්ද (Excise Duty) වැනි අමතර බදු ඉවත් කර, ස්ථාවර සහ පාරිසරික බදු ක්‍රම දෙක පමණක් භාවිත කිරීම ගැන හිතුවොත් හොඳයි.


ඒ එක්කම වාහනයේ වයස මත ආනයන සීමා පැනවීම (උදා: වසර 5කට වඩා පැරණි වාහන තහනම් කිරීම). මෙය රටට ආනයනය කරන වාහනවල ගුණාත්මකභාවය ඉහළ නංවන අතර, නඩත්තු වියදම් අවම කරනවා.
මෙම යෝජනාවේ ප්‍රතිලාභ ගැන හිතුවොත්,


• වැඩේ සරලයි : බදු ගණනය කිරීමේ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් සහ පහසුවෙන් සිදු කරන්න පුළුවන්.
• පරිසර හිතකාමී බව: රටේ වායු දූෂණය අඩු කිරීමට ඍජුවම දායක වෙනවා.
• සාධාරණත්වය: වාහනයේ සැබෑ වටිනාකම සහ පරිසරයට ඇති බලපෑම මත බදු අය කිරීමක් වෙනවා.
• රජයේ ආදායම: බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමක් සිදුවෙනවා.
මේ වගේ සරල බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමෙන්, මෝටර් රථ ආනයන කර්මාන්තය ස්ථාවර තත්ත්වයකට පත් කළ හැකි අතර, පාරිභෝගිකයාටද වාසියක් වෙනවා.


ඇත්තටම ගත්තොත් , දැන් ලෝකයේ ට්‍රෙන්ඩ් එක පරිසර හිතකාමී වාහන භාවිතය දිරිමත් කිරීමයි.
ඒ සඳහා බදු ප්‍රතිපත්ති යොදා ගන්නා රටවල් බොහොමයක් තිබෙනවා. විශේෂයෙන්ම, යුරෝපීය සංගමයේ (EU) රටවල් මෙම ක්‍රමය බහුලව භාවිතා කරනවා.


කාබන් විමෝචනය (CO2 Emissions) මත පදනම් වූ බදු: වාහනයෙන් පිටවන කාබන් ප්‍රමාණය වැඩි වන විට බද්ද ද ඉහළ යනවා. එමගින්, පරිසරයට හානිකර වාහන මිලදී ගැනීමෙන් ජනතාව අධෛර්යමත් කරනවා.
බදු සහන සහ නිදහස් කිරීම්: විදුලි වාහන (EV) සහ දෙමුහුන් (Hybrid) වාහන සඳහා බදු අඩු කිරීම හෝ සම්පූර්ණයෙන්ම බදුවලින් නිදහස් කිරීම. සමහර රටවල ඉතා අඩු කාබන් විමෝචනයක් සහිත වාහන සඳහා සම්පූර්ණ බදු නිදහසක් පවතිනවා


‘Bonus-Malus’ ක්‍රමය: සමහර රටවල් මෙම ක්‍රමය භාවිතා කරනවා. මෙහිදී පරිසර හිතකාමී වාහන මිලදී ගන්නා අයට මුදල් ප්‍රදානයන් (Bonus) ලබා දෙන අතර, පරිසරයට හානිකර වාහන සඳහා අධිභාරයක් (Malus) පනවනු ලබනවා.
ඒ නිසා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, අපි ඉන්නේ කොතනද ? යන්න ඕන කොතනටද කියලා.
මේවා හිතළු නෙවෙයි.


නෙදර්ලන්තය ගත්තොත් , නව වාහන සඳහා බදු අය කරනු ලබන්නේ කාබන් විමෝචනය මත පදනම්වයි. ඒ වගේම විදුලි වාහන සඳහා බදු සහන සහ වෙනත් දිරිගැන්වීම් ලබා දෙනවා.


ෆින්ලන්තය ගැන බැලුවොත් විසින් වාහනයේ කාබන් විමෝචනයට අනුරූප ලෙස බදු අනුපාත වෙනස් කරනවා.
ප්‍රංශය ගත්තොත් , ‘Bonus-Malus’ ක්‍රමය භාවිතා කරනවා. එහිදී අඩු විමෝචනයක් සහිත වාහන සඳහා දීමනා ලබා දෙන අතර, වැඩි විමෝචනයක් සහිත වාහන සඳහා දඬුවම් බදු අය කරනවා.


එතකොට ජර්මනිය වාහනයක කාබන් විමෝචනය සහ එන්ජින් ධාරිතාව අනුව බදු අය කෙරෙනවා. ඒ වගේම විදුලි වාහන මිලදී ගැනීමට දිරිගැන්වීම් ද ලබා දෙනවා.


ඊශ්‍රායලයේ ‘හරිත බදු’ ක්‍රමයක් පවතින අතර, එය වාහනවල විවිධ විමෝචන වර්ග මත පදනම්ව ක්‍රියාත්මක වෙනවා.
මේ රටවල් සියල්ලම තම ආර්ථිකය සහ පරිසර ප්‍රතිපත්ති සමතුලිත කරමින් බදු ක්‍රම සකස් කර තිබෙනවා. මෙවැනි බදු ප්‍රතිපත්ති මගින් රජයේ ආදායම සුරක්ෂිත කරන අතරම, ජනතාව පරිසර හිතකාමී පුරුදුවලට යොමු කරවීමට උත්සාහ කරනවා.


ඒ වගේම රේගුව වැනි ආයතන නවීන විදුලි වාහන පරීක්ෂා කරන්න අවශ්‍ය උපකරණ සහ දැනුම ලබා ගත යුතුයි.
මේ තියෙන්නේ මේ ගැටළුව අධ්‍යයනයේදී ඒ අතපත ගාන අතරේ සිහිපත් වුනු යෝජනා කිහිපයක් විතරයි. මේ ගැන උනන්දු, වැඩි දැනුමක් ඇති අයට පුළුවන් මේවා තවත් පෝෂණය කරන්න.


කොහොම වුණත් රටක් විදිහට අපි නවීන ලෝකයට ගැළපෙන්න වෙනස් වෙන්න ඕන. ඒකට ව්‍යාපාරික සමාගම්වලට පහසුකම් සලසනවා මිස, ඒවාට චෝදනා කරන එකෙන් කිසිම දෙයක් වෙන්නේ නැහැ! මේ අර්බුදය, සමාගම්වලට චෝදනා කරනවා වෙනුවට, අපේ නීති පද්ධතිය අලුත් කරගන්න ලැබුණු හොඳම අවස්ථාවක් කරගන්න ඕන. අපිත් ලෝකයත් එක්ක අලුත් වෙන්න ඕන !


ඇත්තටම ප්‍රශ්නයක් ආවහම, ගහලා කුඩු කරන ආකල්පයක් තමයි අපේ වගේ රටවල තියෙන්නේ. අමතක කරන්න එපා, සමාගම් කියන්නේ රටක හදවත වගේ දෙයක්. ඒක තේරුම් ගන්න ඔබේ හෝ ඔබේ සමීපතමයකුගේ රස්සාව නැති වෙන්නම ඕන නෑ. කොහොමටත් සමාගමක් වැටුණොත්, සමාගම්, ලොකු ව්‍යාපාර නැති වුණොත් රැකියා නැතිවෙනවා, ආර්ථිකය කඩා වැටෙනවා, අලුත් ටෙක්නොලොජි එන්නෙත් නෑ. අන්තිමේ වෙහෙස නිවා ගන්න , යන්තම් වතුර උගුරක් විතරක්ම තියෙන පරණ අම්බලමක් වගේ රටක් තමයි ඉතුරු වෙන්නේ. ඔබ කැමති කොහොම වෙනවාටද ? තේරීම ඔබ අතේ. ඔබේ තේරීම මත හෙට රටේ ඉරණමත් තීන්දු වෙනවා. ඒ ඉරණමේ ඔයත් අවධානම හිමි කොටස් කාරයෙක් වෙනවා.
සටහන – සෞම්‍ය ලියනගේ

-Advertisement-

සංචාරක ව්‍යාපාරයේ ආකල්පමය වෙනසක් සඳහා…..

0


ගොඩයන්නට හදන්නේ සංචාරක ව්‍යාපාරයෙන් නම් හීන ඇත්ත කරගත හැකි ආකල්ප වෙනසක් අවශ්‍යයි…!
ඉතිහාසයේ රට ආරථික සංවර්ධනයක් අත්පත් කරගත් සෑම අවස්ථාවකම දකින යමක් තිබේ. එනම් පාලකයින් මෙන්ම රටේ ජනතාව ද සමාජ ආර්ථික වශයෙන් පටු චින්තන සීමා තුළ විලංගු ලාගෙන නොසිටි බවය. පුළුල් මනසකින් ලෝක සමාජ ආර්ථික තත්ත්වයන් විවරණය කරගත්තවුන් වූ බවය. ඉදිරිය සඳහා එක් පියවරක් හෝ තැබීමට ඉතිහාසයේ විකෘතිය නොව, ඉතිහාසය ගලාගෙන පැමිණි යථාර්ථය කියවා තේරුම් ගත යුතුව ඇත. අප යළිත් මේ අවස්ථාවේ අත් දකිමින් ඉන්නේ ඉතිහාසයේ යථාර්ථය ය.

ඉතිහාසයේ රට ආරථික සංවර්ධනයක් අත්පත් කරගත් සෑම අවස්ථාවකම දකින යමක් තිබේ. එනම් පාලකයින් මෙන්ම රටේ ජනතාව ද සමාජ ආර්ථික වශයෙන් පටු චින්තන සීමා තුළ විලංගු ලාගෙන නොසිටි බවය. පුළුල් මනසකින් ලෝක සමාජ ආර්ථික තත්ත්වයන් විවරණය කරගත්තවුන් වූ බවය. ඉදිරිය සඳහා එක් පියවරක් හෝ තැබීමට ඉතිහාසයේ විකෘතිය නොව, ඉතිහාසය ගලාගෙන පැමිණි යථාර්ථය කියවා තේරුම් ගත යුතුව ඇත. අප යළිත් මේ අවස්ථාවේ අත් දකිමින් ඉන්නේ ඉතිහාසයේ යථාර්ථය ය.


අත පෙවිය හැකි දුරක වූ අතීතයේ මෙතෙක් සිදුනොවුන ආකාරයෙන් අපේ සිහින පරඬැල්ව ගියේය. යළි පණ පොදක් එනු ඇතැයි නොසිතෙන ආකාරයට රටේ ආථිකය බිඳී ගියේය. රට ලෝකය ඉදිරියේ බංකොලොත් භාවය ප්‍රකාශ කළේය. ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල හා එක්ව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් දියත් වී ඇති වටපිටාවක අප ලෝකය අභිමුව වැටි වැටී නැගී සිටීමට වැඩි විශ්වාසයක් තැබුවේ සංචාරක ව්‍යාපාරය කෙරෙහිය. එය විෂය කරගෙන දියත් කළ යුතු සංවර්ධන ව්‍යාපෘති රජයක රාජ්‍ය භාරයෙන් පමණක් ලෝකයේ කිසිම තැනක සිදුවන්නේ නැත. එය ජාතික අභිලාෂයක් උපක්‍රමිකව කුළු ගැන්වෙන පුද්ගලික ව්‍යාපාරික සැලසුමකි.


එබැවින් ලෝකය හා තරග කර සංචාරක ව්‍යාපාරයේ අපේ කොටස අත් පත් කරගැනීම කොම්පැණියක හුදකලා ව්‍යාපාරික කටයුත්තක් ලෙස නොව, ජාතික ව්‍යාපෘතියක් ලෙස දකින්නට තරම් දියුණු ආකල්ප සංවර්ධනයක් ජාතියක් ලෙස අපෙක්ෂා කරන මොහොතක අපි මේ සටහන තබමු. ඒ අර්ථයෙන් අප විශ්වාස කරන පරිදි හෙට 02 දා විවෘත වන CITY OF DREEMS SRI LANKA යනු ජාතියක නව ආර්ථික ප්‍රවේශයේ විශාලම කොටසය.


රටක් ලෙස මෙම අවස්ථාව අප තේරුම්ගත යුතු ආකාරයක් තිබේ. සංචාරක ව්‍යාපාරයෙන් ගොඩ යන්නට සැලසුම් කර තිබුණත් විශාල ගැනුම් බලයක් සහිත ඉහළම පන්තියේ සංචාරයකින් ආකර්ශනය කරගත හැකි ප්‍රවේශ පහසුකම් රට තුළ වැඩි දියුණු වී තිබුණේ නැත. ඒ ප්‍රවේශය නිර්මාණය කරගැනීමට අවශ්‍ය චින්තන වෙනසක් ඇතිකරගැනීමට තරම් පෞරුෂයක් දේශපාලනයට තිබුණේත් නැත. සංචාරක ව්‍යාපෘතියක් ලෙස මේ වනවිට සමාජ විවේචනයක් ද සහිතව දැන් ඒ ප්‍රවේශය විවෘත වී ඇත.


සංචාරක ප්‍රවර්ධනය අරමුණු කරගෙන CITY OF DREAMS SRI LANKA නමින් නිර්මාණයවන ජාත්‍යාන්තර තලයේ ඉහළම ප්‍රමිතීන් සහිත ඒකාබද්ධ නිවාඩු නිකේතනය ඒ අවස්ථාව විවෘත කරන්නේ තවත් එක් හෝටලයක් ලෙස නොවේ. එය ආසියාවේ ඇති විශාලම ව්‍යාපෘතියකි. සිංගප්පූරුවත්, මැලේසියාවත් පහුකරගෙන පැමිණ ඇති එම දැවැන්ත ව්‍යාපෘතිය අසල්වැසි ඉන්දියාවටත් ඉහළින් සිටිනු පෙනේ.


ආර්ථික විශ්ලේෂකයින්ට අනුව මේ ආයෝජනයත් සමග ශ්‍රී ලංකාව සිටින්නේ පරිවර්තනයක අද්දරය. කොළඹ බේරේ වැවට සහ ඉදිරි මුහුදු තීර දෙසට ව්‍යාප්ත වූ මෙම අභිලාෂකාමී සංවර්ධනය, දූපත් ජාතිය කලාපීය සංචාරක බලාගාරයක් බවට පත් කෙරෙනු ඇති බවට සුභදායී ප්‍රාර්ථනා තිබේ.


රටේ නීති රාමුවට යටත් වී තැනෙනා සුඛෝපභෝගී හෝටල්, කැසිනෝ, සාප්පු මධ්‍යස්ථාන, විනෝදාස්වාද මධ්‍යස්ථාන, සම්මන්ත්‍රණ ස්ථාන සහ අහස උසට විදිහෙන සුඛෝපභොගී මහල් නිවාස සංකීර්ණයන් සහිත ඒකාබද්ධ ආර්ථික ව්‍යාපෘතියේ ඉදිකිරීම් සම්පූර්ණ වූ පසු, මෙම නවීන සංචාරක නගරය වාර්ෂිකව රටේ ඩොලර් ආදායමෙන් විශාල පංගුවක් උපයා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.


විශේෂඥයින් අනාවැකි පළ කරන්නේ එය සිංගප්පූරුවේ “මරීනා බේ සෑන්ඩ්ස්” හෝ මැලේසියාවේ “මැකාවු හි කොටයි තීරය”ට වඩා සුපිරි සංචාරක ගමනාන්තයක් වනු ඇති බවය. එනම් සිංග්ප්පූරුව හා මැලේසියාව සමග තරඟ කළ හැකි විභවයක් නිර්මාණයවන බවය. සිංගප්පූරුවේ “මරීනා බේ සෑන්ඩ්ස්” හෝ මැලේසියාවේ “මැකාවු හි කොටයි තීරය” එම රටවල් ආර්ථිකය බලගන්වන බලයකින්ම CITY OF DREAMS SRI LANKA ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරක් තියනු ඇති බවය.


රැකියා සහ දේශීය අවස්ථා
CITY OF DREAMS SRI LANKA ඇති ක්ෂණික ප්‍රතිලාභවලින් එකක් වන්නේ රැකියා නිර්මාණයය. ඉදිකිරීම් සේවකයින් සහ ඉංජිනේරුවන්ගේ සිට ආගන්තුක සත්කාර කාර්ය මණ්ඩලය සහ සංචාරක මාර්ගෝපදේශකයින් දක්වා, සෘජු හා වක්‍ර රැකියා අවස්ථා දහස් ගණනක් ඒ හරහා විවෘත වෙමින් පවතී. වැඩිවන ඉල්ලුම සහ සංචාරක ගමනාගමනය හරහා ප්‍රතිලාභ ලබන කුඩා හා මධ්‍ය පරිමාණ දේශීය ව්‍යාපාර, ශිල්ප කලා රැකගෙන පැමිණි සම්ප්‍රදායික ශිල්පීන්ගේ සිට ආහාර සැපයුම්කරුවන් දක්වා වූ විශාල පරාසයක් සඳහා ආර්ථික අවස්ථා නිර්මාණය වෙමින් ඇත.
මීට අමතරව, මෙම ව්‍යාපෘතියට වෘත්තීය පුහුණුව සහ කුසලතා සංවර්ධන මුලපිරීම් ඇතුළත් වන අතර, ශ්‍රී ලාංකික තරුණයින්ට ආගන්තුක සත්කාර, කළමනාකරණය සහ නිර්මාණාත්මක කර්මාන්තවල වෘත්තීන් සඳහා සූදානම් වීමට අවස්ථාව සැලසෙනු පෙනේ.


යටිතල පහසුකම් සහ ගෝලීය ප්‍රතිරූපය
මෙවැනි මහා පරිමාණ සංවර්ධනයන් අනිවාර්යයෙන්ම යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට හේතු වේ. මෙම සංචාරක කලාපය කේන්ද්‍ර කරගනිමින් මාර්ග, උපයෝගිතා, අන්තර්ජාල සම්බන්ධතාවය සහ පොදු ප්‍රවාහන පද්ධති වැඩිදියුණු වෙමින් ඇත. ඒ ඔස්සේ ප්‍රධානම ප්‍රතිලාභ ලබන්නෝ රටේ පුරවැසියන්ය.
තවත් ඉතා වැදගත් කතාවක් කිව යුතුව ඇත. රට ලෝකය ඉදිරියේ ඇත්තේ ආර්ථික හා දේශපාලන කැලඹිලිවලින් වැසී ගිය අඳුරු දුර්ගයක් ලෙසය. මේ තත්ත්වය වෙනස් වී නවීන, ස්ථාවර, ආයෝජන-සූදානමක් සඳහා සරු බිමක් සහිත ජාතියක් ලෙස ලෝකය ඉදිරියේ ජාතියේ ප්‍රතිරූපය සංස්කරණය වනු ඇත. මෙම වෙනස දිගුකාලීන ආර්ථික ප්‍රකෘතියක් සඳහා ඉතා වැදගත් වනු ඇත.


අප කියන්නේ අතීතයේ උත්කර්ෂවත් ගොවිජන ආර්ථිකයේ ප්‍රශස්ථිය යට සඟවා තැබූ වෙළෙඳ ආර්ථිකයේ ස්වරූපය පැතිරී ගිය අවබෝධයකින් යුතුව රට තුළ ස්ථාපිත විය යුතු බවය. ඒ සඳහා සමාජය තුළ ගොඩනැගෙන සාධනීය විවේචනය ද පිළිගත යුතුව තිබේ. මෙතෙක් අප අත් දුටු යථාර්ථය අනුව මත්තල ගුවන්තොටුපල වැනි ඩොලර් බිලියන ගණන් යට කළ මෙගා ව්‍යාපෘති බදු ගෙවන්නාට කිසිදු සහනයක් නොසලසා රටේ ණය බර දරාගත නොහැකි සේ වැඩි කළ වේදනාව තවමත් අපට දැනෙන නිසාය. ඓතිහාසිකව විවිධාංගීකරණය වූ කාර්මික පදනමක් නොමැති බැවින් මෙවැනි අභිලාෂකාමී ව්‍යාපෘති කෘතහස්ථ පරිපාලනයකට යටත් නොවුනහොත් ආර්ථිකයට අයහපත් වනු ඇති බවට ද සංවාදයක් තිබේ.


කොළඹ ඉහළ වටිනාකමක් ඇති ආයෝජන ආධිපත්‍යය දරන බැවින්, ශ්‍රී ලංකාවේ ඉතිරි කොටස තවදුරටත් ආන්තිකකරණය වීමේ අවදානමක් ගැන සමාජ විචාරකයෝ කියති. මේ තත්ත්වය තුළ යම් අවදානමක් වේ නම් එය තුළනය කිරීමට රාජ්‍යය, පුද්ගලික ව්‍යසායකයා සමග ගැඹුරු අවබෝධයක් සහිත ගිවිසුමක සිටිය යුතු බව ප්‍රාමාණිකයන්ගේ හැඟීමය.


මතුවන්නට නියමිත ඇති කැසිනෝ වැනි සූදු සම්බන්ධව විරෝධය ගැන නම් මීට වඩා ගැඹුරු අවබෝධයක් සමාජයට තිබිය යුතුව ඇත. සංචාරක ව්‍යාපාරය රට ගොඩගැනීමට තෝරාගත් ප්‍රමුඛතම ප්‍රවේශය සංචාරක ව්‍යාපාර නම් ඊට අවශ්‍ය යටිතල පහසුකම් රටේ නීති රාමුව තුළ ගොඩනැගීම කාගේත් වගකීමය. එහි මුල් සාමාජිකයන් වීමේ ගෞරවය පුරවැසියන් ලෙස අප සතුව තිබිය යුතු බව විශ්වාස කරමු.

-Advertisement-

රුසියාවට සහ ජපානයට සුනාමියක්

0


රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට ආසන්න මුහුදේ ඊයේ රාත්‍රී 11.24ට පමණ සිදු වූ රිච්ටර් මාපාංක 8.8ක භූමි කම්පාවකින් පසු අඩි කම්චැට්කා වෙරළේ 13ක් පමණ (මීටර 4) ක් උසැති සුනාමි රළ ඇති වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.


මෙම භූමිකම්පාවෙන් ගොඩනැගිලිවලට හානි සිදුවූ බවත්, වෙරළ තීරයේ ජනතාව ඉවත්කිරීමට අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බවත් පැවසේ.


ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ රුසියාවේ පෙට්‍රොපවුලොවුස්කි – කම්චැට්ස්කි සිට සැතපුම් 85ක් පමණ දුරින් මුහුදු පත්ලේ සිට කිලෝ මීට 19ක් ගැඹුරින් මෙහි අපි කේන්ද්‍රය පිහිටා ඇති බවයි.
ඇමරිකාවේ බටහිර වෙරළ තීරයේ සමහර ප්‍රදේශවලින් ද ඉවත් කිරීම් සිදු වෙමින් පවතී. ජපානයේ වෙරළබඩ ප්‍රදේශ සඳහාත්, ඇලස්කාවේ ඇලූටියන් දුපත් සහ හවායි දූපත් සඳහා ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත.

රුසියානු වරාය නගරයක් වන සෙවෙරෝ-කුරිල්ස්ක් වෙත සුනාමි රළ තුනක් බලපෑ අතර, ඉන් අවසන් රළ පහරින් වරාය යටිතල පහසුකම් වලට හානි සිදු වූ අතර නැංගුරම් ලා තිබූ නැව් කිහිපයක් සමුද්‍ර සන්ධියට ඇද දමන ලදී.

තුන්වන රැල්ල “බලවත්” බව ප්‍රාන්තයේ TASS ප්‍රවෘත්ති ඒජන්සිය පැවසීය.

රළ පහරින් නගරයේ කොටසක් ජලයෙන් යට වී ඇති බවත් පදිංචිකරුවන් කන්දක් මත රැස්ව සිටින අතර සුනාමි තර්ජනය අවසන් වන තුරු එහි රැඳී සිටිනු ඇතැයි TASS පැවසීය.

පේරු සහ ඉක්වදෝරයට ඔබ්බෙන් පිහිටි ගැලපගෝස් දූපත් සඳහා ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එහිදී සමහර “වැළැක්වීමේ” ඉවත් කිරීම් සිදුවෙමින් පවතී.

-Advertisement-

රථවාහන දඩ ලේසියෙන් ගෙවන්න දැන් පුළුවන්

0

රථවාහන නීති උල්ලංඝනය කිරීම් සඳහා නිකුත් කරන ස්ථානීය දඩ මුදල් GovPay යෙදුම හරහා ගෙවීම අද සිට බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගයේ ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. රථවාහන නීති උල්ලංඝනය කිරීම් සඳහා පොලිසිය විසින් නිකුත් කරන ලද ස්ථානීය දඩ මුදල් ගෙවීම අද සිට GovPay යෙදුම භාවිතයෙන් සිදුකළ හැකිය.

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) විසින් ජූලි මාසයේදී ගෙවීම් පද්ධතිය සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් පසුව, බස්නාහිර පළාතේ සහ අධිවේගී මාර්ගයේ ස්ථානීය දඩ මුදල් සඳහා GovPay යෙදුම හඳුන්වා දෙන ලදී.

මෙම ක්‍රමයේ පළමු අදියර ලෙස, බස්නාහිර පළාතේ සහ අධිවේගී මාර්ග වල පොලිස් ස්ථාන ආශ්‍රිතව දියත් කර ඇත.

මෙම වසරේ සැප්තැම්බර් මාසයේ සිට මෙම පද්ධතිය රට පුරා දියත් කිරීමට ICTA අපේක්ෂා කරයි.

-Advertisement-

නව අගවිනිසුරු දිවුරුම් දෙයි

0

ශ්‍රී ලංකාවේ 49 වන අග්‍රවිනිශ්චයකාරවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අද (27) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

හිටපු අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දුගේ විශ්‍රාම යාමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා විනිසුරු සූරසේනගේ නම පසුගියදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරන ලදී.

1989 දී නීතිඥ මණ්ඩලයට එක්වීමෙන් පසු, ප්‍රීති පද්මන් සූරසේන රජයේ නීතිඥවරයෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී 2007 දී මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කරන ලදී.

2016 දී ඔහු අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කරන ලද අතර, 2018 දී අභියාචනාධිකරණයේ සභාපති බවට පත් වූ අතර, 2019 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු බවට පත්විය.

එතැන් සිට, ප්‍රීති පද්මන් සූරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සේවය කළ අතර, හිටපු අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දුගෙන් පසු ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා විය.

දිවුරුම් දීමේ උත්සවයට ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක ද සහභාගී විය.

-Advertisement-

ලාල් කාන්ත සිය කථාව රිවස් කරයි

0

පොළොන්නරුවේ පිහිටි ඩඩ්ලි සිරිසේනගේ සුදු අරලිය හෝටලය ඉවත් කිරීමට සිදුවන්නේ පරාක්‍රම සමුද්‍රයේ ඉදිකර ඇති වැටක් පමණක් යැයි අමාත්‍ය ලාල් කාන්ත දැන් පවසයි. ඔහු මේ බව කියා සිටියේ මොනරාගල සියඹලාන්ඩුව ප්‍රදේශයේ වාරිමහිම වැඩසටහනකට සහභාගී වෙමිනි.

වැව් රක්ෂිත වල ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් තරාතිරම නොබලා කඩා ඉවත් කරන බවට අමාත්‍ය ලාල් කාන්ත මීට දින කිහිපයකට පෙර ප්‍රකාශ කළේය. ඩඩ්ලි සිරිසේන මෙරට සහල් කර්මාන්තයට කර ඇති සුවිශේෂී මෙහෙවර එහිදී සිහිපත් කළ අමාත්‍යවරයා පොළොන්නරුවේ සුදු අරලිය හෝටලය අනවසර ඉදිකිරීමක් බවත් එවැනි ඉදිකිරීම් කඩා ඉවත් කරන බවත් කීවේය.

දේශපාලන වැඩසටහන් වල කියවු‍ණේ අමාත්‍ය ලාල් කාන්තගේ කථාව ඇසූ ඩඩ්ලි සිරිසේන විදේස් රටක සිට ඔහුට දුරකථන ඇමතුමක් ද ලබාදී ඇති බවයි.

කෙසේවෙතත්, ඉන්පසු මොනරාගල පැවති උත්සවයකදී තමන් පෙර කළ ප්‍රකාශය වෙනස් කළ ලාල් කාන්ත සුදු අරලිය හෝටලයේ වැට පමණක් වැවේ ඉදිකර ඇති බැවින් එය ඉවත් කරන බව කීවේය.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

“අපි අනුරාධපුරයෙන් පටන් ගෙන නුවර වැවෙන් පටන් ගෙන වැව් ඉඩම්වල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා. අපි එය ආරම්භ කළ විගසම, ඩඩ්ලිගේ හෝටලය ඉවත් කරන ලෙස රජයට අභියෝග කරන පුද්ගලයින් සමාජ මාධ්‍යවල දුටුවා, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙම ක්‍රියාකාරකම ආරම්භ කරන විට අපි ඩඩ්ලිගේ හෝටලය ගැන බලමු. ජනතාව අපට යහපාලනය සඳහා ජනවරමක් ලබා දී ඇත, එබැවින් සමාජ තත්ත්වය නොසලකා, වැව් රක්ෂිතවල ඇති ඕනෑම නීති විරෝධී ව්‍යුහයක් ඉවත් කරනු ලැබේ,”

කෙසේ වෙතත්, දැනට පවතින තොරතුරුවලට අනුව, අදාළ හෝටලය පොළොන්නරුව වැවේ සීමාවන් තුළ ඉදිකර ඇති බවක් නොපෙනෙන බව ද ඔහු සඳහන් කළේය.

“මට ලැබී ඇති තොරතුරු අනුව, ඔහු සංචාරක මණ්ඩලයෙන් ඉඩම යම් කාලයකට බදු ගෙන ඇත. කෙසේ වෙතත්, වැව් ඉඩමේ කොටසක් වැට බැඳ හෝටලයේ කටයුතු සඳහා යොදා ගැනේ. මෙතෙක් අප දන්නා දේ මත පදනම්ව, යමක් ඉවත් කිරීමට සිදුවුවහොත්, එය වැව් ඉඩමේ ඉදිකර ඇති වැට පමණි. හෝටලයම වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් දේපළක නොවේ,” ඔහු පැවසීය.

අවශ්‍ය නම්, ඩඩ්ලි සිරිසේන මහතාම මාධ්‍ය හමුවක් පවත්වා වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති ඕනෑම ඉඩමක් ඉවත් කිරීමට තමන් කැමති බව ප්‍රකාශ කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

-Advertisement-

තායිලන්තය සහ කාම්බෝජය අතර දේශසීමා ගැටුම්, මියගිය සංඛ්‍යාව ඉහලට

0

තායිලන්තය සහ කාම්බෝජය අතර පවතින දේශසීමා ගැටුම්වලින් මේ වනවිට මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 30 ක් දක්වා ඉහල ගොස් තිබේ. මේ හේතුවෙන් තායිලන්තය සමඟ “වහාම” සටන් විරාමයක් ඉල්ලා තිබේ.

එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපති චීයා කියෝ පැවසුවේ තම රට “කොන්දේසි විරහිතව” සටන් විරාමයක් ඉල්ලා සිටි බවත්, “ආරවුලට සාමකාමී විසඳුමක්” අවශ්‍ය බවත්ය.

සටන් විරාම සාකච්ඡා ඉදිරියට ගෙන යාමට නම් කාම්බෝජය “ගැටුම අවසන් කිරීමේදී අවංකභාවය” පෙන්විය යුතු බව තායිලන්ත විදේශ අමාත්‍ය මාරිස් සංගියම්පොන්සා පැවසීය.

බ්‍රහස්පතින්දා සිදුවූ පළමු වෙඩි තැබීම සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කරන අග්නිදිග ආසියානු රටවල් දෙකෙහි අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු – සොල්දාදුවන් සහ සිවිල් වැසියන් – මිය ගොස් 200,000 කට ආසන්න සංඛ්‍යාවක් අවතැන් වී ඇත.

සෙනසුරාදා (26) තුන්වන දිනටත් සටන් දිගටම පැවතුනි. කාම්බෝජ ජාතිකයන් දකුණේ වෙරළට ආසන්න නව ප්‍රදේශයකට ප්‍රහාර දියත් කළ නමුත් නාවික හමුදාව විසින් ඔවුන් පසුපසට තල්ලු කරන ලද බව තායිලන්ත හමුදාව පැවසීය.

මීට පෙර, තායිලන්තය කාම්බෝජ දේශසීමාවේ සුරින්, උබොන් රට්චාතානි සහ ශ්‍රීසකෙට් පළාත්වල සටන් වාර්තා කළේය. කාම්බෝජයට මායිම්ව පිහිටි දිස්ත්‍රික්ක අටක යුද නීතිය ප්‍රකාශයට පත් කර තිබේ.

බැංකොක්හි නිලධාරීන් පැවසුවේ බ්‍රහස්පතින්දා සිට රට තුළ සිවිල් වැසියන් 13 දෙනෙකු සහ සොල්දාදුවන් හය දෙනෙකු ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති බවයි. 140,000 කට ආසන්න පිරිසක් ඉවත් කර ඇති බව තායි නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.

කාම්බෝජ ආරක්ෂක අමාත්‍යාංශය වාර්තා කළේ සිවිල් වැසියන් අට දෙනෙකු සහ සොල්දාදුවන් පස් දෙනෙකු ඇතුළුව 13 දෙනෙකු මිය ගිය බවයි. 35,000 කට අධික පිරිසක් තම නිවෙස් අතහැර ගොස් ඇති බව එහි සඳහන් වේ.

තායිලන්තයේ වැඩබලන අගමැති ෆුම්තම් වෙචයාචායි සිකුරාදා අනතුරු ඇඟවූයේ ගැටුම් “යුද්ධයක් කරා ගමන් කළ හැකි” බවයි.

සටන්වලට දැන් බර අවි ඇතුළත් වන අතර එය දේශ සීමාව දිගේ ස්ථාන 12 කට පැතිරී ඇති බව ඔහු පැවසීය.

කාම්බෝජය සිවිල් ප්‍රදේශවලට වෙඩි තැබූ බවට තායිලන්තය ද චෝදනා කළ අතර ඔවුන්ගේ රොකට් ප්‍රහාරවල අරය තුළ ඇති සියලුම ගම්මාන ඉවත් කළේය.

කාම්බෝජය, තම පාර්ශවයෙන්, තායිලන්තය පොකුරු බෝම්බ භාවිතා කරන බවට චෝදනා කළේය. පොකුරු බෝම්බ ලෝකයේ බොහෝ රටවල තහනම් කර ඇත්තේ ඒවා සිවිල් ජනතාවට අසීමිත ලෙස බලපාන බැවිනි. තායිලන්තය චෝදනාවලට ප්‍රතිචාර දක්වා නොමැත.

-Advertisement-

දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං

0

නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල සහ උතුරු, උතුරු මැද සහ මධ්‍යම පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් (50-55) පමණ තද සුළං ඇතිවිය හැකිබව කාළකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 40-45 ක පමණ තරමක් තද සුළං අපේක්ෂා කළ හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

-Advertisement-

දිවයිනේ සමහර ස්ථාන වලට විටින් විට වැසි

0

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. 

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වන අතර උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 50 ක පමණ තරමක් තද සුළං අපේක්ෂා කළ හැකිය.

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අද (26) දින පෙ.ව. 05.30 ට නිකුත් කරන ලද වාර්තාවේ මේ බව දැක්වේ.

-Advertisement-