-0.6 C
New York
Home Blog Page 17

සේවයට නාවොත් තැපැල් සේවකයන්ට වැඩ වරදී

0

සියලු තැපැල් සේවකයන්ට අද (22) දිනයේ සේවයට වාර්තා කරන ලෙස දැනුම්දී තිබෙන අතර නියමිත ක්‍රියාපටිපාටියට අනුව අවසර ලබා නොගෙන සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකීමට සිදු වන බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

එමෙන්ම සේවයට වාර්තා නොකරන සේවකයන්ට මේ මස වැටුප නොලැබීමේ හෝ ප්‍රමාදවීම සිදු විය හැකි බවත් තැපැල්පතිවරයා පැවසීය.

වර්ජනයේ නිරත සේවකයන්ට වැටුප් ගෙවීමට මුදල් නිකුත් කළ නොහැකි බව මහා භාණ්ඩාගාරය දැනුම්දී තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා ඊට අමතරව සේවයට වාර්තා කරන සේවකයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස ද දන්වා ඇතැයි පැවසුවේය.

ඒ අනුව සේවයට වාර්තා නොකරන සේවකයන්ට මේ මස වැටුප නොලැබීමේ හෝ ප්‍රමාදවීම අනිවාර්යයෙන්ම සිදු වන බව ද තැපැල්පතිවරයා පැවසීය. මේ හේතුවෙන් වහාම සේවයට වාර්තා කරන ලෙස වර්ජනයේ නිරත සේවකයන්ට දැනුම්දී තිබෙන බව ද හෙතෙම කියා සිටියේය.

මධ්‍යම තැපැල් හුවමාරුවට ඇඟිලි සලකුණු යන්ත්‍ර කිහිපයක් සවි කිරීමට ද තමන් උපදෙස් දී ඇති බව ද ඒ මහතා පැවසීය.

-Advertisement-

අනුලා සෑය අයිති අපට, මෙහෙණින් වහන්සේලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

0

මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංඟුණවැවේ ධම්මරතන හිමි,මිහින්තලේ දිග්ගල පිහිටි අනුලා සෑයේ විහාරාධිපති ලෙස, අනීතිකව පෙනී සිටින බව කියමින් මෙහෙණින් වහන්සේලා පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (21) පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

‍අනුලා සෑයේ භාරකාරීත්වය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව පැවැති බවත් හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙක් කිසිදු විමසීමකින් තොරව මෙම සෑයේ අයිතිය මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංඟුණවැවේ ධම්මරතන හිමිට පවරා අැති බවත් මෙහෙණින් වහන්සේලා චෝදනා කරති. අනුරාධපුර සිල්මාතා පුහුණු ආයතනයේ ස්ථානභාර අනුරාධපුර ධම්මානි අමරපාලි ‍ මෙහෙණින් වහන්සේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අනුලා සෑයේ හිමිකාරිත්වය සමස්ත මෙහෙණින් වහන්සේ වෙනුවෙන් පැවරීමට අදාළ පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අනුරාධපුර ධම්මානි අමරපාලි ‍ මෙහෙණින් වහන්සේ මෙසේ ද පැවසූහ.

“මේ අනුලා සෑය අයිති මෙහෙණින් වහන්සේලාට. මිහින්තලේ නායක හාමුදුරුවෝ බලහත්කාරයෙන් තමන් අනුලා සෑයේ විහාරාධිපති ලෙස හඳුන්වා ගන්නවා. මෙහෙණින් වහන්සේට අයත් ශ්‍රී ලංකාවේ එකම සෑය මෙයයි. අනුරාධපුර මිහින්තලේ දිග්ගල ප්‍රදේශයේ පිහිටි අනුලා මහ රහත් තෙරණන් වහන්සේ වැඩ වාසය කරපු තැන ක්‍රිස්තු වර්ෂ 165 දී අනුලා චෛත්‍ය නිර්මාණය කර මෙහෙණි සසුන වෙනුවෙන් පූජා කළේ කණ්ෂ්ඨතිස්ස රජතුමා විසින්. කාලයාගේ ඇවෑමෙන් වල්බිහිව වුණු මේ ස්ථානය පහුගිය කාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අයත්ව තිබුණා. ඒ අතරේ හිටපු බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයෙක් මෙහෙණින් වහන්සේලා දැනුම්වත් කිරීමකින් හෝ අවසරයකින් හෝ තොරව මිහින්තලේ භාරකාර වලවාහැංඟුණුවැවේ ධම්මරතන හාමුදුරුවන්ට සෑයේ අයිතිය දූෂිත ක්‍රමයකට භාර දීලා.

අනුලා කියන නමින්ම අයිතිය තියෙන්නේ මෙහෙණින් වහන්සේලාට. මේක මිහින්තලේ නායක හාමුදුරුවන්ට පැවරුවේ කුමන හේතුවක් නිසා ද? බෝදාගම චන්දිම හාමුදුරුවන්ගෙන් මෙහෙණින් වහන්සේ කරපු ඉල්ලීමකට අනුව උන් වහන්සේගේ මූල්‍ය අනුග්‍රහයෙන් සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේ, ලෝකවාසී මෙහෙණින් වහන්සේගේ අධ්‍යාපනික මධ්‍යස්ථානයක් ලෙසත්, ආරාම සංකීර්ණයක් බවට වැඩිදියුණු කරන්නයි. දැන් මිහින්තලේ නායක හාමුදුරුවන් නිසා එහි වැඩ කටයුතු නැවතිලා.”

මේ සම්බන්ධයෙන් මැදිහත් වී සෑයේ භාරකාරිත්වය මෙහෙණින් වහන්සේලාට ලබා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද මෙහෙණින් වහන්සේලා වැඩිදුරටත් පැවසූහ.

-Advertisement-

කොළඹ වරාය පරිශ්‍රයෙන් 88දෙනකුගේ අස්ථි කොටස් හමුවේ

0

කොළඹ වරාය පරිශ්‍රය තුළ තිබී සොයාගත් සමූහ මිනීවළක කැණීම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 88 දෙනෙකුගේ අස්ථි කොටස් හමුවී ඇති බව නිලධාරීන් තහවුරු කර තිබේ.

මෙම සොහොන ප්‍රථම වරට සොයා ගනු ලැබුවේ 2024 ජූලි මාසයේදී නව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අතරතුරය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් පුරාවිද්‍යාත්මක විශේෂඥතාව ලබා දෙමින් කැණීම් සිදු කෙරෙමින් පවතී.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මෑතකදී පැවසුවේ ශ්‍රී ලංකාව මේ දක්වා රට පුරා සමූහ මිනී වළවල් 17 ක් වාර්තා කර ඇති බවයි.

-Advertisement-

අධිවේගී මාර්ගයේ දී බසයක ගින්නක්

0

දක්ෂිණ අධිවේගී මාර්ගයෙ දොඩංගොඩ සහ වැලිපැන්න අන්තර්හුවමාරු අතර ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථයක ගින්නක් හටගෙන ඇත.

බසය වටෙන් ම දැඩි දුමාරයක් නගිමින් පවතින අතර, බසයේ ගමන් ගනිමින් සිටි මගීන් බස් රථයෙන් ඉවත්කරමින් සිටින ආකාරය ද දක්නට ලැබෙයි.

මෙලෙස ගින්නක් හටගෙන ඇත්තේ කොළඹ සිට හම්බන්තොට දෙසට ධාවනය වෙමින් පැවැති බස් රථයකය. බස් රථයේ ගමනාන්තය කුමන නගරයක් ද යන්න මෙතෙක් පැහැදිළි නැත.

අනතුර සිදුව ඇති ස්ථාන පහතින්

https://maps.app.goo.gl/ZWrSMRhCDBif7fSo9?g_st=aw

-Advertisement-

සුප්‍රිම් සැට් තියෙන තැන හරියට ම මෙන්න

0

SupremeSAT-1 චන්ද්‍රිකාව ‘මේ වන විටත් 87.5° නැගෙනහිර කක්ෂයේ නිවැරදිව සක්‍රීය ලෙස ස්ථානගත වී පවතින බවත්, මූලික දියත් කිරීමේ සිට එය චන්ද්‍රිකාව නිවැරදිව ස්ථානගත කර ඇතැයි ද සුප්‍රිම්සැට් පුද්ගලික සමාගම නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිාමේන්තුවේ දී කියා සිටියේ එම චන්ද්‍රිකාව තවමත් සේවා සපයන බවයි. එමෙන් ම එම ව්‍යාපෘතිය සඳහා රජයේ මුදල් වැයකර නොමැති බවත්, එයින් රුපියල් කෝටි ගණනක ලාභයක් ලැබී ඇති බවත් ඇය පෙන්වා දුන්නාය.
ඉන් පසු බ්‍රහස්පතින්දා (07) පාර්ලිමේන්තුවේ දී ඒ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ කියා සිටියේ සුප්‍රිම් සැට් චන්ද්‍රිකාවෙන් ලැබී ඇති ලාභය සම්බන්ධයෙන් අගමැතිවරය දශම තිත වෙනස් කරමින් අධික මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බවට වැරදි ලෙස ප්‍රකාශ කළ බවයි.
නමුත් ඔහු එම චන්ද්‍රිකා ව්‍යාපෘතිය සඳහා රජයේ මුදල් වැයකළ බවක් කීවේ නැත. එමෙන් ම චන්ද්‍රිකාවෙන් ලාභයක් ලැබී නැතැයි ද කීවේ නැත.
2012 වසරේදී කක්ෂගත කළ බව කියන මෙම චන්ද්‍රිකාව ‘අතුරුදන් වී ඇති’ බවට දිගින් දිගට ම ජාතික ජන බලවේගයේ සාමාජිකයින් චෝදනා කළ අතර, මේ වනවිට එම රාජ්‍ය බලය හිමි ජාතික ජන බලවේගයේ අගමැතිනිය සහ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ම එහි ලාභාංශ පිළිබඳ කතා කරමින් සිටිති.

-Advertisement-

මැණිකක් විකුණන්න හැදූ ප්‍රාදේශීය සභා සභිකයෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

0

බලපත්‍රයක් නොමැති මැණිකක් රුපියල් කෝටි 50ක් වටිනා බව පවසමින් එය අළෙවි කිරීමට උත්සාහ කළ තිදෙනකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය පවසයි.


මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ නියෝජිතයකු ද සිටින බව පොලිසිය කීවේ ය.
එම මැණික වාසනාව උදාකරන බව පවසමින් රුපියල් කෝටි 50කට අළෙවි කිරීමට සූදානම් කර තිබී ඇති අතර පොලිසිය උපාය දූතයකු යෙදවා එම මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා අඩුකර තිබිණි. එම උපාය දූතයා භාවිතා කරමින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.


පොලිස් භාරයට ගත් මැණික් ගල ව්‍යාජ එකක්ද යන්න පිළිබදව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙන් වාර්තාවක් ලබා ගැනීමට නියමිතය.

-Advertisement-

කළුතර සභාවේ පඩි සල්ලි සොරා ගත්තා යැයි දෙදෙනකු අත්අඩංගුවට

0

කළුතර ප්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ වැටුප්වලින් මුදල් වංචා කළ බව කියන එම සභාවේ නිලධාරිනියක සහ රියදුරකු අත්අඩංගුවට ගත් බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ඔවුන්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ වසර හතරකට ආසන්න කාලයක දී රුපියල් 12,000,000.00කට වැඩි මුදලක් වංචා කර ඇති බවයි.
සැකකාරිය කළුතර බෝඹුවල පදිංචිකාරියක වන අතර සැකකරු වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කළුතර ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශනයක් පැවැත්වීමෙන් පසු ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. දැනට මේ දෙදෙනාගේ සේවය අත්හිටුවා ඇති අතර ඔවුන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

-Advertisement-

දේශපාලකයින් 07ක්, ඥාතීන් 149ක් අල්ලසට අත්අඩංගුවට

0

හිටපු මැති ඇමතිවරුන් 07දෙනකු සහ දේශපාලඥයින්ගේ ඥාතීන් 149 දෙනකු අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි අගමැතිනී හරිනි අමරසූරිය ඊයේ(06) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

එසේම ඇය වැඩිදුරටත් පවසා සිටියේ රාජ්‍ය නිලධාරීන් 100 දෙනකු ද අල්ලස් හා දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අගමැතිවරිය එසේ පැවසුවේ ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නන්දන පද්මකුමාර මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ජනතාව ජන වරම දුන්නේ හොර ඇල්ලීමට බවත් රජය එය ක්‍රියාත්මක කරමින් සිටින බවත් රජයට පලිගැනීමේ කිසිදු චේතනාවක් නැති බවත් ඇය කීවාය.

-Advertisement-

ටයිටන් පිපිරීම පිළිබඳ වාර්තාවක් එළියට එයි

0

ගිලීගිය ටයිටැනික් නෞකාව නැරඹීම සඳහා යාත්‍රා කරමින් තිබූ “ටයිටන්” සබ්මැරීනය පුපුරා ගියේ එහි ප්‍රධාන කොටස එවැනි ගමනකට සුදුසු පරිදි ඉදිකර නොමැතිවීම, ඒ සඳහා ප්‍රමාණවත් සැළසුමක් නොමැතිවීම සහ පරීක්ෂණ මෙහෙයුම් නොපවත්වා තිබීම යන කරුණු හේතුවෙන් බව ඒ සම්බන්ද නිකුත්කෙරුණු නවතම වාර්තාවකින් ආනවරණය කර තිබේ.


එම වාර්තාව සකසා ඇත්තේ ඇමෙරිකානු වෙරළආරක්ෂක සමුද්‍ර විමර්ශන මණ්ඩලය විසිනි.


පුද්ගලයන් 05 දෙනකුට මරු කැඳවූ ටයිටන් අනතුර සඳහා එම සබ්මැරීනය යොදාගත් සාමගම වන “ඔෂන්ගේට්” සමාගම වගකිව යුතු බව ද එම වාර්තාවේ සඳහන් කර ඇත. අනතුර වළක්වාගැනීමට ඉඩ තිබූ බව ද එම වාර්තාව පෙන්වා දෙයි.


2021, 2022 සහ 2023 ආරම්භය පුරා පරීක්ෂණ කිමිදුම් අවස්ථාවල දී එම සබ්මැරීනයේ තාක්ෂණික ගැටලු සහ නඩත්තු ගැටලු තිබූ බව ද අනාවරණය වී ඇත.


එක්සත් ජනපදයේ නිපදවන සියලුම ගිල්විය හැකි ද්‍රව්‍ය ඒකාකාර ප්‍රමිතීන් යටතේ ඉදිකර නඩත්තු කළ යුතු බවට නව රෙගුලාසියක් පැනවිය යුතු බව ද වාර්තාවේ සඳහන් කර ඇත.

-Advertisement-

චිචීගේ රොකට්ටුවේ අබිරහස, අගමැති හරිනි විසඳයි

0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයකු වන රෝහිත රාජපක්ෂගේ මූලිකත්වයෙන් අභ්‍යාවකාශගත කරන ලද සුප්‍රිම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය සඳහා රජයේ මුදල් වැය වී නොමැති බවත්, එයින් රජයට ආදායමක් ලැබී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (06) පාර්ලිමේන්තුවේ දී කීවාය.


ඇය මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
එහි දී අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් මෙසේ ද කීවාය.


“2011/2012 කාලයේදී Supreme Global ආයතනයට අනුබද්ධිත Supreme Sat සමාගම විසින් දියත්කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා Supreme Sat සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ 2012 මැයි මස 23 වැනි දින ගිවිසුම් ගත වී තිබෙනවා. 2013/2014 කාලය තුළ මෙම ආයතනය රුපියල් 12,104,936.00ක මුදලක් සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ආයෝජනය කර තිබෙනවා. මේ සඳහා ශ්‍රී ලංකා රජය මුදල් ආයෝජනය කර නැහැ.”


අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නීතියේ 17 වැනි වගන්තිය යටතේ දේශීය වෙළෙඳ පොළ කේන්ද්‍ර කරගත් ව්‍යාපෘතියක් ලෙස මෙම ආයෝජනය සිදුකර ඇති බවයි. රුපියල් මිලියන 1828ක ආයෝජනයක් සහිතව මහනුවර කාර්මික උද්‍යානයේ චන්ද්‍රිකා පද්ධතියක් පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා 2012.05.23 දින Supreme Sat පෞද්ගලික සමාගම ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹ ඇති අතර, ඒ මගින් ග්‍රාහකයින් සඳහා විදුලි සංදේශ සහ විකාශන පහසුකම් සැපයීමට නියමිතව තිබූ අතර එම ව්‍යාපෘතිය 2015.08.27 දින සිට වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට ද නියමිතව තිබිණි.


අග්‍රාමාත්‍යවරිය අද පාර්ලිමේන්තුවේ දී පැවසූ පරිදි Supreme Global Holdings (PVT) Limited ආයතනයට කොටස් 80%ක සහ Supreme SL Investments (PVT) Limited ආයතනයට කොටස් 20%ක අයිතිය පැවත ඇත.


2015 සිට 2023 දක්වා ලැබූ ආදායම්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ ආදායම් දත්තවලට අනුව 2015 වසරේ සිට 2023 මුල් භාගය දක්වා මෙම ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 343,909ක ආදායමක් ලැබී ඇත.


ඇය ඉදිරිපත් කළ ආදායම් දත්ත අනුව වාර්ෂිකව ලබා ඇති ආදායම් මෙසේ ය.
2015/2016 – රුපියල් මිලියන 19,617
2016/2017 – රුපියල් මිලියන 28,133
2017/2018 – රුපියල් මිලියන 29,106
2018/2019 – රුපියල් මිලියන 34,169
2019/2020 – රුපියල් මිලියන 42,960
2020/2021 – රුපියල් මිලියන 62,545
2021/2022 – රුපියල් මිලියන 87,789
2023 පළමු මාස 6 – රුපියල් මිලියන 39,590


ඒ අනුව, 2023 වසරේ පළමු මාස 6 දක්වා එම ව්‍යාපෘතියෙන් ලැබුණු සමස්ත ආදායම රුපියල් මිලියන 343,909කි.
අග්‍රාමාත්‍යවරිය පිළිතුරු දීමෙන් පසු පාර්ලිමේන්තුව ඇමතූ මන්ත්‍රී ඩී.වී. චානක ප්‍රකාශ කළේ, ඩොලර් මිලියන 300ක් වැය කළ මෙම චන්ද්‍රිකාව මේ වන විට අතුරුදන්ව ඇති බවට ආණ්ඩු පක්ෂයේ ඇතැම් පිරිස් විපක්ෂයේ සිටියදී චෝදනා කළ බව යි.


“ඕක ලංකාවෙ වැඩියෙන් ම දන්නෙ චිචීගෙ රොකට් එක කිව්වා ම. මෙතන කිව්වා ඩොලර් මිලියන 300ක් ආයෝජනය කරල අතුරුදන් වෙලා කියල. මම මේ ප්‍රශ්නය අහපු දවසෙ බිමල් රත්නායක කිව්වා, අතුරුදන් වෙලා කියලා. දැන් අග්‍රාමාත්‍යතුමිය ම කියනවා එහෙම දෙයක් වෙලා නෑ, ලංකාවේ එක රුපියලක්වත් ආයෝජනය කරලත් නෑ, ඒ වගේ ම අනික් පැත්තෙන් වාර්ෂිකව රටට ආදායමක් ඇවිල්ල තියෙනව කියලා. ඍජු ආයෝජනයක් ඇවිල්ල තියෙන්නේ.”


“පාර්ලිමේන්තුවේදී සුනිල් හඳුන්නෙත්ති හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා මේක ලංකාවේ රජයේ ජනාධිපතිතුමාගේ පුතාලට විනෝද වෙන්න කරපු දෙයක් කියල. හැබැයි අද අගාමාත්‍යතුමිය කියනවා, මේකෙන් විශාල ආයෝජනයක් ඇවිල්ල තියෙනවා, හැම අවුරුද්දක ම ඍජු වාර්ෂික ආයෝජනයක් ලැබිල තියෙනව කියලා.”


SupremeSAT-1 චන්ද්‍රිකාව
SupremeSAT ආයතනයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන පරිදි 2012 වසරේ නොවැම්බර් 27 වන දා කක්ෂගත කෙරුණු මෙම චන්ද්‍රිකාව වසර 15ක් ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එම චන්ද්‍රිකාව මගින්, දකුණු සහ මධ්‍යම ආසියාව, මැද පෙරදිග, ඔස්ට්‍රේලියාව යන කලාප ආවරණය කෙරේ.

-Advertisement-