-0.8 C
New York
Home Blog Page 16

රනිල් රිමාන්ඩ් කළාට, දකුණේ විරෝධය

0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිිංහ වහාම නිදහස් කරන්න යැයි රජයට බල කරමින් ගාල්ල නගරයේ දී අද (25) සවස උද්ඝෝෂණයක් පැවැත්විණි.

“බැරිකම වසා දැමීමට මර්ධනය කැඳවීම වහා නවත්වනු” “ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතබනු” වැනි සටන් පාඨ කියමින් පැවැත්වූ මෙම උද්ඝෝෂණය “දකුණේ විරෝධය” ලෙස නම්කර තිබිණි.

මෙම විරෝධතාවය සඳහා විපක්ෂය නියෝජනය කරන පිරිස් රැසක් සහභාගී වී සිටි අතර “දිනන දකුණ” සංවිධානය විසින් එය සංවිධානය කර තිබිණි.

-Advertisement-

බලය පාවා දෙන රහස් ඡන්දය

0

සජීව විජේවීර

නීතිය සැමට එක හා සමාන විය යුතුය. සෑම අවස්ථාවක දී ම, සෑම ස්ථානයක දී ම නීතිය සමාන විය යුතුය. එය තැනින් තැනට, දවසින් දවස වෙනස් විය හැකි දෙයක් හෝ වෙනත් ආකාරවලින් අර්ථකථනය කළ හැකි දෙයක් නොවේ.

දේශපාලන බලපෑම මත, රාජ්‍ය හා ආණ්ඩු බලය මත රටේ පවතින නීතියත් වරින් වර වෙනස් ආකාරයෙන් අර්ථකථනය කළ හැකි බවට පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු ගාල්ලේ දී දක්නට ලැබිණි.

ඒ ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීමේ දී ය.

2018 දී පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ගාල්ල මහ නගර සභාවේ කිසිදු දේශපාලන පක්ෂයකට 50%කට වැඩි බහුතර බලයක් හිමිවූයේ නැත. ඒ නිසා නගරාධිපතිවරයා තෝරාගැනීම සිදු වූයේ නියෝජිතයන්ගේ ඡන්දයෙනි. මේ ඡන්දය පවත්වන්නේ කෙසේ ද යන්න සභාවෙන් විමසා සිටි අවස්ථාවේ දී එක් පිරිසක් රහස් ඡන්දයක් ද තවත් පිරිසක් විවෘත ඡන්දයක් ද යෝජනා කළ බැවින් එවකට දකුණු පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයා වූ රනිල් වික්‍රමසේකර ඒ ඒ නියෝජිතයන්ගේ නම් අඬගසා ඡන්දය පැවැත්වීමේ ආකාරය පිළිබඳ කැමැත්ත විමසා සිටියේය. ඒ ඒ නියෝජිතයාගේ කැමැත්ත විවෘත ඡන්දයකට ද රහස් ඡන්දයකට ද යන්න ඒ අවස්ථාවේ සියලු නියෝජිතයන්, නිලධාරීන්, මහජන ගැලරියේ සිටි පිරිස් මෙන් ම මාධ්‍යවේදීහු ද දුටහ.

එදා වැඩි දෙනකුගේ කැමැත්ත වූයේ රහස් ඡන්දයක් පැවැත්වීමයි. මේ රහස් ඡන්දයට පක්ෂව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරු පිරිසක් ද කැමැත්ත දුන්නෙන් ඔවුන් නගරාධිපතිධූරය පාවාදුන් බවට ද චෝදනා ලැබු‍වේය. නගරාධිපති වූයේ පොදු ජන පෙරමුණේ ප්‍රියන්ත සහබන්දුය. ඔහුට සහාය දෙමින් රහස් ඡන්දයක් ඉල්ලා සිටි එක්සත් ජාතික පක්ෂයේ ෆවුස් නියාස් උප නගරාධිපති වූයේ ය. එක්සත් ජාතික පක්ෂය එදා රහස් ඡන්දයක් ඉල්ලා සිටි පිරිසට විනය පරීක්ෂණයක් පවත්වා පක්ෂයෙන් නෙරපන බව කීව ද එවැන්නක් සිදුවූයේ නැත.

2025 පළාත් පාලන මැතිවරණයේ දී ද ගාල්ල මහ නගර සභාවේ 50%කට වැඩි බලයක් ලබා ගැනීමට කිසිදු දේශපාලන පක්ෂයක් සමත් වූයේ නැත. පසුගිය වතාවේ අහිමි වූ බලය මෙවර අල්ලා ගැනීමට සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ එදා පාලන බලය අල්ලාගෙන මෙවර සභිකයන් තිදෙනකුට පමණක් සීමා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාන බලමින් සිටිය දී නගරාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම ආරම්භ විය. එහිදී ද පෙර පරිදි ම යෝජනා දෙකක් ඉදිරිපත් විය. රහස් ඡන්දයක් පැවැත්විය යුතුයැයි ජාතික ජන බලවේගය යෝජනා කළ අතර විවෘත ඡන්දයක් පැවැත්විය යුතුයැයි සමගි ජන බලවේගය යෝජනා කළේය.

ඒ ඡන්ද ක්‍රම දෙකෙන් එක් ක්‍රමයක් තෝරාගැනීමට ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බව දකුණු පළාතේ පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මැන්දිස් කීවාය. ඒ සඳහා ඇය තෝරාගත්තේ එදා 2018 දී කරපු ක්‍රමය නොවේ.

එය ඇය සාධාරණීකරණය කළේ මේ ආකාරයෙනි.

“ නගරාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් සභාවේ තනි තීරණයක් එන්නේ නෑ. ඒ නිසා කරන ක්‍රමය තීරණය කරන්න වෙලා තියෙන්නේ මට. පනතේ මේක පැහැදිළිව කියන්නේ නෑ. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශවල අපිට ආදේශ කරගන්න පුළුවන් කොටසක් තියෙනවා.  මෙහි 04 වැනි පිටුවේ 4.1 කියන වගන්තියේ මේ විදියට සඳහන් වෙනවා. ‘අපේක්ෂකයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනකගේ නම් නගරාධිපති තනතුර සඳහා යෝජනා කර ස්ථිර කර ඇත්නම්, කොමසාරිස්වරයා විසින් සභාවේ සභිකයන් අතර ඡන්ද විමසීමක් පවත්වා නගරාධිපතිවරයා තෝරා පත්කරගත යුතුය. මෙම තරඟය පියවරෙන් පියවර ක්‍රියාවලිය දක්වා ඇත. මුලින්ම සභාවේ සභිකයන් විසින් ඡන්ද විමසීමේ ක්‍රමය තීරණය කරනු ලැබේ. අපේක්ෂකයන් තෝරාපත්කරගන්නා ක්‍රමය ගැන සභිකයන් අතර මතබේදයක් ඇතිවුවහොත් (උදාහරණයක් ලෙස, එක් පිරිසක් රහස් ඡන්දයක් ඉල්ලා සිටිය දී තවත් පිරිසක් විවෘත ඡන්දයකට කැමති වන්නේ නම්) ඒ සම්බන්ධයෙන් එක් එක් සභිකයාගේ නම අඬ ගසා විමසීමක් කර ඡන්ද විමසීමේ ක්‍රමය තීරණය කළ යුතු බවයි. පනතේ සඳහන් වන්නේ නෑ ක්‍රමයක් ගැන. එක් එක් අයගෙන් අහලා තීරණයක් ගන්න කියලා තමයි තියෙන්නේ. මම ලිඛිතව විමසන්න තමයි තීරණය ගන්නේ. මම නම අඬගසා ඡන්දය පවත්වනවා. ඒ ඡන්ද ක්‍රමය කුමක් ද කියලා මේ මාර්ගෝපදේශයේ තියෙනවා ද ? නැහැනේ ද ? ඒ නිසා මම නම් අඬගසනවා. නම් අඬගැසුවාම ඔබට පුළුවන් මා ලබාදෙන කොළවල තමන් කැමති විවෘත ඡන්දයකටද රහස් ඡන්දයකට ද කියා සටහන් කර මේ පෙට්ටියට බහාලන්න. ඒක තමයි මම කරන ක්‍රමය.”

ජාතික ජන බලවේගයේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයන් හැර සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් එයට විරුධවෙමින් කරුණු දැක්වූහ. ඔවුන් දිගින් දිගටම කියා සිටියේ නම අඬ ගසා ඡන්දය විමසීම යනු නියෝජිතයන් කාටත් ඇසෙන සේ තම කැමැත්ත ප්‍රකාශ කිරීම බවයි. නමුත් විශේෂ කොමසාරිස් ලෙස කටයුතු කළ දකුණු පළාත්පාලන කොමසාරිස්වරිය එය පිළිගත්තේ නැත. ඇය නම කියා නියෝජිතයන් කැඳවා ඔවුන්ගේ කැමැත්ත කොළයක සටහන් කරන්නට දී එය පෙට්ටියක බහාලන්නට උපදෙස් දුන්නාය. සැබැවින්ම එය නම අඬ ගසා සිදුකළ ද රහස් ඡන්දයකි.

අවසානයේ නගරාධිපතිවරයා තෝරාගැනීමට රහස් ඡන්දයක් පැවැත්විය යුතුයැයි 19 දෙනකු ප්‍රකාශ කරද්දී 16 දෙනකු විවෘත ඡන්දයකට කැමැත්ත දී තිබිණි. එක් ඡන්දයක් ප්‍රතික්ෂේප වී තිබිණි. ඒ අනුව නගරාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම රහස් ඡන්දයක් ලෙස පැවැත්වීමට තීරණය විය.

මේ අවස්ථාවේ සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෝ කෑ කෝ ගසමින් නැගිට සභාවෙන් පිටවන්නට ගියහ. එවිට ජාතික ජන බලවේගයේ සභිකයන් සමඟ ඉතිරිවූයේ පොදු ජන පෙරමුණේ හිටපු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු ඇතුළු නියෝජිතයන් තිදෙනෙකි. ඔවුන් තිදෙනා සභා ගැබ තුළ රැඳී සිටීමෙන් ම ජාතික ජන බලවේගයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය හිමිවන් බව සැමට පැහැදිළි විය.

ගාල්ල මහ නගර සභාවේ 2018ට වඩා වෙනස් ආකාරයෙන් 2025 නගරාධිපති තෝරාගැනීමේ කටයුතු සිදුවීමට පෙර දිනයක කොළඹ මහ නගර සභාව සඳහා නගරාධිපති තෝරාගැනීමේ ඡන්ද විමසීම සිදුවිය.

කොළඹ මහ නගර සභාවේ ද බහුතර බලය කිසිම පක්ෂයකට හිමිව තිබුණේ නැත. එදා එහි විශේෂ කොමසාරිස් ලෙස කටයුතු කළේ සාරංගිකා ජයසුන්දරයි. සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක නියෝජිතයෝ 62කු නගරාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දය පැවැත්විය යුත්තේ විවෘත ඡන්දයක් යැයි ලිඛිතව සාරංගිකා ජයසේකරට දැනුම් දී තිබුණ ද එය පිළිනොගත් ඇය නගරාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දය රහස් ඡන්දයක් ලෙස පවත්වනවා ද විවෘත ඡන්දයක් ලෙස පවත්වනවා ද යන්න පිළිබඳ සභාවෙන් විමසා සිටියාය.

එම අවස්ථාවේ දී ඡන්ද ක්‍රම දෙකම යෝජනා වූයෙන් ඇය නගරාධිපතිවරයා තෝරාපත්කරගැනීමේ ඡන්දය රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක් ද යන්න තීරණය කිරීම සඳහා ද රහස් ඡන්දයක් පැවැත්විය යුතුයැයි කියා සිටියා. මේ නිසාම සභාවේ විශාල ගාලගෝට්ටියක් ඇතිවිය.

“මේ ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් පනතේ කිසිම පැහැදිළි කිරීමක් නෑ. අමාත්‍යාංශයෙන් නිකුත්කළ මාර්ගෝපදේශ සංග්‍රහයේත් පැහැදිළිව ඡන්ද ක්‍රමයක් දක්වා නෑ. ඒ නිසා මම නගරාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද ක්‍රමය තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්තවනවා මාර්ගෝපදේශ සංග්‍රහයේ සඳහන් කරුණු මෙයට අදාළ කරගන්නේ නෑ.” යනුවෙන් පවසමින් ඇය රහස් ඡන්දයක් පැවැත්වූවාය.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිධූරයට ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් පත්වූවාය. විපක්ෂයේ සභිකයන් 62නකු රහස් ඡන්දයක් ඉල්ලා අත්සන් ලේඛනයක් භාර දී තිබිය දී විශේෂ කොමසාරිස් සාරංගිකා ජයසුන්දර පැවැත්වූ රහස් ඡන්දය නිසා නගරාධිපතිවීමට බල්තසාර්ට සහාය දුන් අනෙකුත් කණ්ඩායම් හඳුනාගැනීමට කිසිවකුට හැකි වූයේ නැත.

ඒ සම්බන්ධයෙන් පැහැදිළි නිර්ණායක පනතේ දැක්වේ. පනතේ දැක්වෙන කරුණුවලට අමතරව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කළ මාර්ගෝපදේශ සංග්‍රහයේ ද උපදෙස් දක්වා ඇත. නමුත් කොළඹ සහ ගාල්ල මහ නගර සභාවල දී මෙවර සිදු වූයේ නම අඬ ගසා විවෘත ඡන්දයක් පැවැත්වීම නොව රහස් ඡන්දයක් පැවැත්වීමයි.

මේ සමබන්ධයෙන් අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මෙසේ කීවේය.

“පනතේ නිශ්චිතව දක්වා නැති කරුණක්. මේක තීරණය කරන්න ඕන සැබැවින්ම සභිකයන්ගේ ඡන්දයෙන්. මේ සඳහා ඡන්ද දෙකම රහස්ව යන්නත් පුළුවන්, විවෘතව යන්නත් පුළුවන්. පළමු එක රහස්ව ගිහින් දෙවැනි එක විවෘත වෙන්නත් පුළුවන්. නැත්නම් පළමු එක විවෘතව ගිහින් දෙවැනි එක රහස් ඡන්දයක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් පනතේ නිශ්චිතව මෙය දක්වා නැතිවීම පනතේ ඇති දුර්වලතාවක්. මේ පනතේ එය සංශෝධනය කරනවානම් හොඳයි. බහුතර ජනතාව හිතනවා තමන් පත්කර යැවූ සභිකයන් ඡන්දය භාවිතා කරන ආකාරය තමන් දැනගන්න ඕන කියලා. ඒ වගේම ජනතාවගේ මතයක් තියෙනවා තමන් ඡන්දය දීපු පක්ෂයේ කෙනා වෙනත් කෙනෙකු බලයට පත්කිරීමට ඡන්දය භාවිතා නොකරාවි කියලා. ඒ නිසා තමයි ප්‍රශ්නය මතුවෙන්නේ. නමුත් සභිකයන්ටත් ඇතැම් විිට ගැටලු තියෙන්න පුළුවන්. කෙනෙත් ඡන්දය සම්බන්ධයෙන් තර්ජනයක් කරලා තියෙන්න පුළුවන් උඹ ඡන්දය අපි කියන විදියට පාවිච්චි නොකළොත් මරණවා කියලා. තවත් වෙලාවක සල්ලි දෙන්නම් අපි කියන විදියට ඡන්දය දාපන් කියලා. ඉතින් සභිකයන් ඇතැම් විට රහස් ඡන්දයට කැමති වෙන්න පුළුවන්. තමන්ගේ බය නිසා, ලාභ අපේක්ෂාවන් නිසා. ඒ කොහොම වුණත් සභිකයන්ට පුළුවන් රහස් ඡන්දයක් ලෙස පැවැත්වුවත් තමන් ඡන්දය ප්‍රකාශ කරන්නේ කුමන කරුණකට ද කියලා විවෘතව පෙන්නලා අර රහස් ඡන්ද පෙට්ටියට ඡන්දය දාන්න. දැන් උදාහරණයක් හැටියට කොළඹ මහා නගර සභාවේ විවෘත ඡන්දයක් ඉල්ලා සිටි 62නාගේ කණ්ඩායමට තිබුණා රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක් ද පව්තවන්නේ කියා විමසූ අවස්ථාවේ දී තම කැමැත්ත ලකුණු කරලා පෙට්ටියට ඒක දාන්න ඉස්සෙල්ලා එය තමන්ගේ ම කණ්ඩායමට පෙන්වන්න. එහෙම කළානම් රහස් ඡන්දයට කැමති වූ අය හඳුනාගත හැකියි. මොකද සභාාවේ දී ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවක ඒක විවෘතව කරනවා ද රහස්ව කරනවා ද කියන එක තීරණය කරන්නේ සභිකයා. ඒ ඡන්දය පෙන්නුවා කියලා නඩු දාන්න බැහැනේ. කෙහොම වුණත් මගේ පුද්ගලික මතය මේ කරුණ සම්බන්ධයෙන් පනත සංශෝධනය කිරීම වඩාත් සුදුසුයි කියන එක.

මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා පවසන්නේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ලේකම්ගේ මාර්ගෝපදේශ යනු පනතක් හෝ ආඥා පනතක් නොවන නිසා ඒ අනුවම ක්‍රියාකිරීමට කොමසරිස්වරයා බැඳී නැතැයි යන්න සත්‍යයක් බවයි. නමුත් ඒකාන්ත බහුතරයක් නැගී සිට අත් ඔසවා තම මතය ප්‍රකාශ කළ විට එයට වෙනස්ව තම අභිමතය ක්‍රියාත්මක කිරීම ගැටලුවක් බව ද හෙතෙම පෙන්වා දෙයි. එබැවින් සීතාවක දී සහ මාවතගම දී සභිකයන්ගේ මතය අභිබවා කටයුතු කිරීමට උත්සාහ ගැනීම වරදක් බවත් පනතේ සංශෝධනයේ අවශ්‍යතාව ඒ අනුව හොඳින්ම පෙනෙන බවත් හෙතෙම පවසයි.

කෙසේ වෙතත් පළාත් පාලන කොමසාරිස්වරු මාර්ගෝපදේශ  සංග්‍රහය නොතකා කටයුතු කිරීම හෝ එය වැරදි ලෙස අර්ථකථන යකර ඇත්ද යන්න පිළිබඳ තීරණයක් ගත හැකිවන්නේ අධිකරණයට පමණි. නැතිනම් ජනතාවගෙන් ඒ පිළිබඳ විමසා ඔවුන්ගේ කැමැත්ත සොයා බැලිය යුතුය. එය ප්‍රායෝගික නැත.

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මෙසේ කීවේය.

මේ පනතේ විශාල දුර්වලතාවක් තියෙනවා. ඒ පනතෙන් පළාත් පාලන කොමසාරිස්ට විවෘත ඡන්දයකට හෝ රහස් ඡන්දයකට අභිමතයක් දීලා තියෙනවා. නමුත් පළාත් පාලන සභිකයන් අත් ඔසවා බහුතරයක් කියනවානම් අපිට ඕන ඡන්දය කුමක් ද කියා කොමසාරිස්ට කියන්න බෑ. කොළඹ දී හැමෝම එකඟ වුණා රහස් ඡන්දයකට. ඒ නිසා ඒකේ දී කොමසාරිස්වරියට විරුද්ධව නඩුවක් දාන්න බෑ. නමුත් රත්නපුරයේ තත්වය ඊට වඩා වෙනස්. 17 දෙනෙක්ම නැගිට කිව්වා විවෘත ඡන්දයක් තියන්න කියලා. ඊට අඩු ප්‍රමාණයක් තමයි රහස් ඡන්දයක් ඉල්ලුවේ. එහෙම තියෙද්දිත් කොමසාරිස් අධිකාරී බලය භාවිතා කරා. එයාගේ මතය ක්‍රියාත්මක කළා. සීතාවක ප්‍රාදේශීය සභාවේ දී ද ඇති වූ ගැටලුව එක්ක සභාවේ ඝන පූර්ණය හිටියේ නෑ, නැවත ගැසට් කරලා රැස්වීම කැඳවන්න පුළුවන්. තුන්වතාවක් ම නැගිට යන්න පුළුවන්. සභිකයන් රැස්වීඹට නොපැමිණියහොත් ඒ අයගේ සභික ධූරය සම්බන්ධ තීරණයක් ගන්න පුළුවන්. මාර්ගෝපදේශ කඩ කළා කියලා නඩු යන්න බැහැ. ඒ සඳහා නීතිපතිගෙන් අර්ථකථනයක් ගන්න ඕන.”

ජනතාවගේ අදහස නම් සභිකයන් හෝ දේශපාලන පක්ෂ හෝ බලයේ සිටින රජය හෝ රහස් ඡන්දයකට උත්සාහ ගන්නේ එකිනෙකා බා ගන්නා ඩීල් දේශපාලනය සඳහා බවයි. ජනතාව එය තරයේ විශ්වාස කරති.

බොහෝ දෙනකුගේ මතය වන්නේ මෙහි දී දූෂණය සිදුවන බවයි. ප්‍රති පක්ෂවල සභිකයන් අල්ලස් දී පොළඹවා ගැන්නා බවත් ඔවුන්ගේ පක්ෂවලින් ඉදිරියේ දී විනය පරීක්ෂණ එල්ලවීම වළක්වා ගැනීමටත් රහස් ඡන්දය වැදගත් වන බව පෙන්වා දෙයි.

ගාල්ල මහ නගර සභාවේ දී එයට හොඳම උදාහරණයක් තිබේ. ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ අවස්ථාව සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදු වූ විට ඒ සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය කෙරිණි. එය ද රහස් ඡන්දයෙනි.

ඉන් අනතුරුව සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ සභිකයන් නැගිට සභාවෙන් ඉවත්ව ගිය අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයන් තිදෙනකු සභාවේ රැඳී සිටියහ. ඒ අනුව රහස් ඡන්දය ඉල්ලූ කණ්ඩායමට ජාතික ජන බලවේගියෙන් හැර සහය දුන් තිදෙනා හඳුනාගැනීම අපහසු වූයේ නැත.

ඉන්පසු රහස් ඡන්ද විමසීම පැවැත්විණි.

එහි දී සභාවේ ඉතිරිව සිටි සභිකයෝ 20 දෙනා ම ඡන්දය භාවිතා කළහ. එයින් ජාතික ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂක සුනිල් ගමගේට ඡන්ද 19ක් ලැබුණු අතර එක් ඡන්දයක් ප්‍රතික්ෂේප වී තිබිණි. ඉන් අනතුරුව වූයේ උප නගරාධිපතිවරයා තෝරාගැනීමේ අවස්ථාවයි. ඒ වනවිට සභාවේ සිටියේ ජාතික ජන බලවේගයේ සභිකයන් 17 දෙනකු සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභිකයන් තිදෙනකු පමණි. ජාතික ජන බලවේගයට ඉතාමත් පහසුවෙන් තම පක්ෂයෙන් ම සභිකයකු නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස පත්කර ගැනීමට හැකියාව ඕනෑ තරම් තිබිණි. නමුත් ඔවුන් යෝජනා කරන ලද්දේ මීට පෙර දූෂිත, වංචාකාරයකුයැයි ඔවුන් විසින්ම හංවඩු ගසා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභික හිටපු නගරාධිපති ප්‍රියන්ත සහබන්දුය.

එයට හේතු වූයේ, ඩීල් දේශපාලනය බව ඉතාමත් පැහැදිළිය. එදා ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට ලබා දීමට කටයුතු කළ ප්‍රියන්ත සහබන්දුට ලැබුණු වරදාන වරප්‍රසාද වූයේ නියෝජ්‍ය නගරාධිපති ධූරය ලැබීමයි. ඩීල් දේශපාලනයේ තරම ගාල්ලේ දී ප්‍රදර්ශනය වූයේ ඒ ආකාරයෙනි.

මෙවැනි අවස්ථාවල දී රහස් ඡන්ද ඉල්ලන්නේ එවැනි ඩීල් නිසා බව ප්‍රසිද්ධ කරුණක් බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ද පවසයි. ඇතැම් අවස්ථාවල දී තනතුරු පමණක් නොව මිල මුදල් පවා හුවමාරුවන බව ප්‍රසිද්ධ රහසක් යැයි ඔහු කියති.

ගාල්ල මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ සභික ජිලිත් නිශාන්ත මෙසේ කීවේය.

“2018 වර්ෂයේ නගරාධිපතිධූරයට මගේ නම තමයි යෝජනා කළේ. අපේ ම කණ්ඩායමේ හිටපු වෙනත් පිරිසක් ඔවුන්ට නියෝජ්‍ය නගරාධිපතිධූරය ඉල්ලා සිටියා. නමුත් අපේ පක්ෂවල තීරණය වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ දේශබන්දුට නියෝජ්‍ය නගරාධිපති ධූරය දෙන්න කියලා. එදා රහස් ඡන්දයක් ඕන කියලා අපේ කණ්ඩායමේ ම 05 දෙනෙක් අත් ඔසවලා විවෘතවම කිව්වා. එදා ඒ අය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රිියන්ත සහබන්දුට නගරාධිපතිධූරය අරගෙන දීලා එයාලා නියෝජ්‍ය නගරාධිපතිධූරය ගත්තා. මෙවර වුණේ එදා ප්‍රියන්ත සහබන්දුට නගරාධිපතිධූරය දෙන්න උදව් කරපු කණ්ඩායමේ කෙනෙක් ම අපි මෙවර 2025 දී නගරාධිපති ධූරයට නම් කළා. මට නියෝජ්‍ය නගරාධිපති ධූරය දෙනවා කිව්වා. මෙවර එදා නගරාධිපති වූ ප්‍රියන්ත සහබන්දු ජාතික ජන බලවේගයට නගරාධිපති ධූරය ගන්න උදව් කරලා එයා නියෝජ්‍ය නගරාධිපති වුණා. දේශපාලනය කිය්නනේ ඕක තමයි.”

බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභිකයකු වන රන්මලී ආනන්දගොඩ පවසනේ පක්ෂයක් නියෝජනය කරමින් සභාවකට පත්වන සභිකයකුට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාවක් නොලැබෙන බවයි. ඒ නිසා හෘද සාක්ෂියට එකඟව කටයුතු කරනවායැයි අර්ථකථනය කිරීම අපහසු බව ද ඇය පවසයි.

“ස්වාධීනව එන සභිකයකුටනම් තමන්ට කැමති විදියට කටයුතු කරන්න පුළුවන්. නමුත් අපි සභාවට පත්වෙන්නේ පක්ෂයක් නියෝජනය කරමින්. එවිට සෑම අවස්ථාවක දී ම අපිට පක්ෂයේ තීරණය අනුව කටයුතු කරන්න වෙනවා. විශේෂයෙන් ම ලැයිස්තුවෙන් පත්වන අයට ඒ බලපෑම වැඩියි කියලත් හිතෙනවා. සමහර කෙනෙක් තර්ක කරනාව අපි ඡන්දය දෙන්නේ රහස්‍යභාවය රැක ගන්න කියලා. නමුත් මම පුද්ගලිකව සිතනවා ඕනෑම මහජන නියෝජිතයෙක් තමන් නියෝජනය කරන ආයතනයේ දී ඡන්දය භාවිතා කරන ආකාරය පිළිබඳ එයාට ඡන්දය දීපු ජනතාවට දැනගැනීමේ අයිතියක් තිබිය යුතුයි කියලා.”

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියේ පළාත් පාලන කොමසාරිස්වරුන්ට මාර්ගෝපදේශවලින් බැහැරව කටයුතු කරන්නට ඉහළ තැනකින් බලපෑම් ආවාද කියා දැන ගැනීමට අවශ්‍ය බවයි. පළාත් පාලන ආයතන ගණනාවක දී එම මාර්ගෝපදේශ පැහැර හැර ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් බවත් හෙතෙම පවසයි. එක් ප්‍රදේශයක විවෘත ඡන්දයත් තවත් ප්‍රදේශයක රහස් ඡන්දයත් පැවැත්වීම නිසා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව ගත යුතු සියලුම පියවර ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කීවේය.

පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ ඩීල් දේශපාලනය නතර කරනවා යැයි කියමින් බලයට පත් වූ ජාතික ජන බලවේගය ඩීල් දේශපාලනයට අලුත් අර්ථකථන ලබා දෙමින් ඩීල් දැමීමට පටන්ගෙන ඇති බවයි.

ඡන්ද විමසීම යන්නට පැහැදිළි නිර්වචනයක් ඇති බවක් පෙනෙන්නට නැත. ඒ නිසාම විශේෂ කොමසාරිස්ගේ අභිමතය ක්‍රියාත්මක කිරීමට බාධාවක් ද නැත. එබැවිින් මේ පිළිබඳ නිශ්චිත තීරණයක් ලබාදිය යුතු වන්නේ පාර්ලිමේන්තුව මගින් පනත සංශෝධනය කිරීමෙන් හෝ අධිකරණයක් මගින් ලබාගන්නා අර්ථකථනයක් මගිනි. එය එසේ නොවනහොත් අනාගතයේ දී ද පළාත් පාලන ආයතන සඳහා සභාපතිවරුන්, නගරාධිපතිවරුන් තෝරාගැනීමේ දී ඩීල් දේශපාලනය ගැන දිගින් දිගටම කතා කිරීමට සිදුවනු ඇත.

-Advertisement-

ජනතා සිහින බොඳකරන පක්ෂ මාරුව

0

සිරංගිකා ලොකුකරවිට විසිනි

හේ රනිල් නම් විය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනා අතර ඔහු සිටියේ තනිවමය. කිහිප වරක් ම මෙරට අගමැතිධූරය දරා තිබුණ ද ඔහු නැවත ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය ලබාගනු ඇතැයි කිසිවකු නම් සිතන්නට නැත.

නමුත් ඔහු මෙරට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ සිදුවිය නොහැකි දෙයක් නොමැති බව රටට හඬ ගා කියූ අපූරු දේශපාලකයකි.

රට ආර්ථික අර්බුදයකින් පීඩා විඳිද්දී පාර්ලිමේන්තුවේ එකම එක මන්ත්‍රීධූරයක් පමණක් හිමිව තිබූ එක්සත් ජාතික පක්ෂයේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ රනිල් වික්‍රමසිංහ හැමදාමත් තමන්ට විරුද්ධව කටයුතු කළ දේශපාලන කඳවුරක ජනාධිපතිවරයා ඉදිරියේ මෙරට අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

අතිිි විශාල ජනවරමකින් මෙරට ජනාධිපතිවරයා ලෙස පත්ව සිටි ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තුවේ අතිශය බහුතර මන්ත්‍රීවරු සංඛ්‍යාවක් සිටිය දී විපක්ෂයේ සිටි රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ බලය අල්ලාගත්තේ කිසිවෙකු නොසිතූ ලෙසිනි. අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලා අස්වූ අවස්ථාවේ දී වැඩබලන ජනාධිපතිවරයා බවට පත්වූ අගමැති රනිල් වික්‍රමසිංහ පසුව තමන්ට විරුද්ධව මැතිිවරණයට තරඟ කරමින් පාර්ලිමේන්තුවට පත්ව සිටි මන්ත්‍රීවරු බහුතරයක ගේ ඡන්දයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෙරට විධායක ජනාධිපතිවරයා බවට පත්වූයේ ය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂය මාරු කළේ නැත. පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයකු රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයට එක්වූයේ ද නැත. එහෙත්, දිගින් දිගටම ඔහුට එදිරිව සිටිි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ කැමැත්තෙන් ජනාධිපතිධූරයට පත්වූයේ කිසිදු රාජ්‍යයක දේශපාලන බල පෙරළි තුළ නොවූ විරූ ආකාරයෙනි.

මෙය රනිල් වික්‍රමසිංහ එවකට පාර්ලිමේන්තු බලය අල්ලාගෙන සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම ග්‍රහණයට ගැනීමක් ද නැතිනම් ඔවුන් සියල්ල තම පක්ෂයට ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් අදටත් නිශ්චිත විග්‍රහයක් නැත.

බලය ඇති පක්ෂයට සහය දෙන මන්ත්‍රීවරුන් පක්ෂ මාරුකිරීම ගැන ශ්‍රී ලංකාව තුළ මෙවැනි ඕනෑතරම් අත්දැකීම් තිබේ. ඉතිහාසය පුරා ම පක්ෂ මාරුකිරීම් දක්නට ලැබේ.

එක්සත් ජාතික පක්ෂයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක එම පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගෙන අග්‍රාමාත්‍යධූරයට පත්වූයේ ය. ඔහු ඝාතනයට ලක්වීමෙන් පසු අගමැතිධූරයට පත් වූ විජයානන්ද දහනායක ඊට පසු පැවැති මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂයක් ගොඩනගාගෙන තරඟ කර පරාජය විය. එක්සත් ජාතික පක්ෂයේ සිටි පී. ද එස්. කුලරත්න සිරිමා බණ්ඩාරනායක රජය විසින් පාසල් රජයට පවරා ගැනීමේ පනත ගෙන ආ අවස්ථාවේ ප්‍රතිපත්තියක් ලෙස එයට සහය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූයෙ ය. පක්ෂ මාරුවීම් පිළිබඳ ඉතිහාසයේ දී එකළ ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටියේ රොනී ද මැල් මහතා ය. “රොනී පනී” යනු සුප්‍රසිද්ධ පුවත් සිරස්තලයක් වී තිබිණි. බණ්ඩාරායකගේ පුත් අනුර බණ්ඩාරනායක ද තම පියාත් මවත් අක්කාත් නායකත්වය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට එක්ව අමාත්‍යධූරයකට ද පත්වූයේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන එම පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව පොදු අපේක්ෂකයකු ලෙස තරඟ කරමින් ජනාධිපතිධූරයට පත්ව නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයට පත්වූයේ ය. නමුත් මෙරට ඉතිහාසයේ වැඩිම වාරයක් විවිධ පක්ෂවලට මාරුවී බලයට පත්වූ මන්ත්‍රීවරුන් අතර ඉහළින්ම සඳහන් නමක් වන්නේ එස්.බී.දිසානායකගේ නමයි. ඒ අතර පක්ෂ මාරු කළ බොහෝ දෙනකු සිිටිති.

කෙහෙළිය රඹුක්වැල්ල, ලක්ෂ්මන් සෙනෙවිරත්න, බන්දුල ගුණවර්ධන, මහාචාර්ය ජී. එල්. පීරිස්, දයාසිරි ජයසේකර, මංගල සමරවීර, මනූෂ නානායක්කාර, වෛද්‍ය රාජිත සේනාරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු , වසන්ත සේනානායක, විජේදාස රාජපක්ෂ යන අය ද ඒ අතර සිටිති.

පක්ෂ මාරු කරන්නේ ඇයි ?

පක්ෂ මාරුකිරීමට විවිධ හේතු බලපායි. බොහෝ දෙනකු සඳහන් කරන්න‍ෙ තම පක්ෂයේ නායකත්වයෙන් එල්ලවන කෙණෙහෙළිකම් සහ නොසළකා හැරීම් නිසා පක්ෂය මාරුකරන බවයි. නැතිනම් ජාතික ප්‍රශ්නවල දී පවතින රජයට සහයක් ලබාදීම සදහා තමන් ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා බව ද ඔවුන්ගේ තවත් තර්කයකි.

රුහුණ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය ඉන්දි අකුරුගොඩ පවසන්නේ පක්ෂ මරුකිරීම මෑත කාලයේ ඉතාමත් බහුලව පෙනෙන්නට තිබුණ ද ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය පුරාම වරින් වර සිදු වූ බවයි. අතීතයේ සිදු වූ පක්ෂ මාරුකිරීම් ප්‍රතිපත්ති මත රඳා පැවැතුණු බවට සිතිය හැකි වුව ද මෑත කාලීනවනම් ප්‍රතිපත්ති පසෙක තබා තනතුරු වරදාන වරප්‍රසාද සඳහා පක්ෂ මාරුකරන බව පැහැදිළිවන බව ද ඇය කීවාය.

ජනතා මතය වන්නේ, ඇතැම් පුද්ගලයන් තම වංචා දූෂණ යටපත් කරගැනීමටත්, දඬුවම් විඳීමෙන් වැළකීමට සහ මැතිවරණ සඳහා ලබාගත් ණය පියවා ගැනීමට මුදල් ලබාගැනීමේ අභිලාෂයෙන් පක්ෂය මාරු කරන බවයි. එමෙන් ම ආණ්ඩු පක්ෂයට එක් වී ඇමතිධූර, නියෝජ්‍ය ඇමතිධූර හෝ මැතිවරණයෙන් පරාජයට පත්වුවහොත් සභාපති තනතුරු මෙන්ම තානාපති සේවාවට එක්වීමේ බලාපොරොත්තුවෙන් මෙලෙස පක්ෂ මාරුකිරීමට පෙළඹෙන බව ද ජනතාවගේ මතය වී ඇත.

කිසියම් දේශපාලකයකු පක්ෂය මාරු කරන්නේ තම දේශපාලන පැවැත්ම වෙනුවෙනි. ඉතාමත් කලාතුරකින් ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් පක්ෂය තුළ ඇතිවන මතභේද නිසා මෙවැනි තීරණ ගන්නවා විය හැකි වුව ද බහුතරයකගේ අභිලාෂය වන්නේ ආර්ථික ප්‍රතිලාභ, තනතුරු, වරදාන හා වරප්‍රසාද, පවුල් දේශපාලනය සහ වෙනත් පුද්ගලික අරමුණු පමණි.

එක්සත් ජාතික පක්ෂයෙන් වරින් වර ඉවත්ව ගිය මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු ඉන් ඉවත්ව යාමට හේතු ලෙස දැක්වූයේ නායකයා සමග පැවති නොගැලපීම් සහ “කෙනහිලිකම්ය”.

සමාජ ක්‍රියාකාරිකයකු මෙන් ම ගුරු වෘත්තියේ නියැලෙන්නකු ද වන රණසිංහ අධිකාරී පවසන්නේ මෙවැනි කතාවකි.

“මම නම් කවදාවත් පක්ෂය මරුකරන අයට ඡන්දයක් භාවිතා කරන්නේ නෑ. නමුත් 2015 දී යහපාලන ආණ්ඩුව ස්ථාපිත කිරීම සඳහා ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේනට ඡන්දය ලබාදුන්නා. ජනාධිපතිවරණය කියන්නේ රටේ විධායක ජනාධිපතිධූරයට තනි පුද්ගලයෙක් තෝරාගන්නා මැතිවරණයක් නිසා මම හිතුවා ඔහු එම පක්ෂයෙන් ඉවත්ව පැමිණ ජනාධිපතිවරයා ලෙස සාධනීය කරුණක් කරාවි කියලා. නමුත් ඔහු නැවත ඒ පක්ෂයේ සභාපතිධූරය භාරගෙන අපි අනුමත නොකරන දේවල් කළා. මම හැමදාමත් ඡන්දය භාවිතා කළේ පළමුව පක්ෂයේ සහ එහි නායකයන්ගේ ප්‍රතිපත්ති ගැන හිතලා. පුද්ගලවාදය මත නෙවෙයි. පක්ෂ මාරු කිරීමේ ක්‍රමය මම පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරනවා. මෙයින් සිදුවන්නේ ජනතාව දේශපාලනයෙන් ඈත්වීම. රටට සිදුවන්නෙත් අගතියක්.”

ජනතා ක්‍රියාකාරීන්ගේ සන්ධානයේ ලේකම් දර්ශන තන්ත්‍රිගේ මෙසේ පවසයි.

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ගුණාත්මක බව නෑ. තමන් නියෝජනය කරන දේශපාලන කඳවුර ගැන දේශපාලකයන්ට ම අවබෝධයක් නෑ. මගේ නම් අදහස වාමාංශික මත දරණ කෙනෙකුට තවත් වාමාංශික පක්ෂයක් සමඟ එක්වීමට හැකිවිය යුතුයි. ඒ වගේම දක්ෂිණාංශක මතධාරියකුට තවත් දක්ෂිණාංශික පක්ෂයක් සමඟ එක්වීමට හැකිවිය යුතුයි. නමුත් සිදුවන්නේ දවසින් දවස මේ අය තමන්ගේ දේශපාලනික දෘෂ්ඨිවාදය පවා පැත්තකින් තියලා පක්ෂ මාරු කරන එක. ජාතික ජන බලවේගය කොහොමද පොහොට්ටුවත් එක්ක එකතුවෙලා පළාත් පාලන ආයතන කිහිපයක බලය ඇල්ලුවේ. ඒ පොහොට්ටුවේ නියෝජිතයන් ජාතික ජන බලවේගයට සහය දුන්නේ තනතුරු ලාභයට මිස වෙනත් මොන ප්‍රතිපත්තියට ද ? නමුත් මේක මේ විදියට වෙන්නේ පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නැති නිසා. පක්ෂ බොහොමයක අභ්‍යන්තර බලය අල්ලගෙන ඉන්නේ වරප්‍රසාද ලත් කුඩා කණ්ඩායම්. එවිට තවත් පිරිසක් මේ පක්ෂවලින් ඉවත්වෙලා යනවා. ඒකයි මම කියන්නේ දේශපාලන ගුණාත්මක බව නෑ කියලා. පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවානම් මේ පක්ෂ මාරුකිරීම අඩු වෙනවා. අනික අපේ දේශපාලකයන් ටිකක් ජනප්‍රිය වෙච්ච ගමන් ඇමති සිහින, අගමැති සිහින, ජනාධිපති සිහින ඔළුවට ගහනවා. එතකොටත් ඒ ඒ පැත්තට පනිනවා. කිසිම ප්‍රතිපත්තියක් නැතිව බලය ලබාගන්නා පක්ෂයට එකතුවීමනම් මම අනුමත කරන්නේ නෑ.”

පක්ෂ මාරුකිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවන බලපෑම

මන්ත්‍රීවරුන් විසින් සිදුකරන මෙම පක්ෂ මාරු කිරීමේ ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න මතුකරන්නක් වී ඇත. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක ඡන්ද දායකයන් තමන්ගේ සර්වජන ඡන්ද අයිතිය භාවිතා කරන්නේ ඔහු නියෝජනය කරන පක්ෂයේ ප්‍රතිපත්ති සහ දැක්ම විශ්වාස කරමිනි. එමෙන් ම එම පක්ෂයේ නායකත්වය පිළිබඳව ද විශ්වාසයක් තබමිනි. නමුත් එම විශ්වාසය මත පදනම්ව ඡන්ද ලබාගෙන පාර්ලිමේන්තුවට, පළාත් සභාවට හෝ පළාත් පාලන ආයතනයකට පත්වන මහජන නියෝජිතයකු වෙනත් පක්ෂයකට මාරු වූ විට එම ඡන්ද දායකයාගේ විශ්වාසය මෙන්ම අපේක්ෂාවන් ද බිඳ වැටෙයි.

යම් පක්ෂයක් බලයට පත්කිරීමට ජනතාව ඡන්දය ලබාදුන් අවස්ථාවක දී එම පක්ෂයෙන් පත්වූ මහජන නියෝජිතවරු තමන්ගේ පුද්ලික වුවමනාවන් සහ ලාභ අපේක්ෂාවන් වෙනුවෙන් තමන් නියෝජනය කරන පක්ෂය හැරදමා වෙනත් පක්ෂයකට හෝ කණ්ඩායමකට සහය දැක්වීිමෙන් රටේ දේශපාලන අස්ථාවරත්වයක් ද ඇති වේ.

එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයකු වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක එම පක්ෂයෙන් ඉවත්වූයේ ජනතාවගේ කැමැත්ත විමසීමකින් තොරවය. මේ නිසා රටේ දේශපාලනය අස්ථාවර විය. චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුව 2001 දී බිඳ වැටුණේ එස්.බී.දිසානායක ඇතුළු පිරිසක් එම ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂය සමඟ එක්වීම හේතුවෙනි.

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසන්නේ ජනතාවගේ ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයකු යම් අවස්ථාවක දී පක්ෂය හෝ කණ්ඩායම මාරුකර වෙනත් කණ්ඩායමකට සහාය ලබා දෙනවානම් තමන්ට ඡන්දය ලබාදුන් ජනතාවගෙන් ඊට කැමැත්ත විමසා සිටිය යුතුය යන්න තම අදහස බවයි. නමුත් එය කිසිසේත්ම ප්‍රායෝගික නොවන බව ද හෙතෙම පවසයි.

පක්ෂ මාරුකරන දේශපාලකයන් වරින් වර එලෙස පක්ෂ මාරුකර තමන්ගේ බලය සහ තනතුරු වරප්‍රසාද තහවරු කර ගත්ත ද ජනතාවට ඒ හේතුවෙන් ම රටේ දේශපාලන ක්‍රියාවලිය කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටීම සිදුවෙයි.

ආචාර්ය ඉන්දි අකුරුගොඩ මෙසේ කීවාය.

අපේ රටේ පක්ෂ දේශපාලන ආරම්භ වූ මුල් කාලයේ වාමාංශික සහ දක්ෂිණාංශික කියලා පැහැදිලිව කඳවුරු දෙකක් හඳුනාගන්න පුළුවන් වුණා. මේ විධියට බෙදුණු එක වෙනස් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවීමත් සමග. නමුත් පසුකාලීනව විවෘත ආර්ථිකයත් එක්ක දේශපාලනයේ නියැලුන පිරිසට යන්න වුණේ දක්ෂිනාංශික මාවතේ, මොවුන්ට පැහැදිලි දේශපාලන දෘෂ්ටියක් තිබුණේ නැහැ. ඔවුන්ට පෞද්ගලිකව එවැන්නක් තිබුණත් ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙන විට පවතින ක්‍රමයත් එක්ක ඉදිරියට යනවා විනා දේශපාලන දෘෂ්ඨියකට අනුගතව කටයුතු කරන්න හැකියාවක් තිබුණේ නැහැ. අවුරුදු 17ක එක්සත් ජාතික පක්ෂ පාලනය බිඳවැටිලා 1994 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට එනවිට මිනිස්සු බලාපොරොත්තු වුණා තිබුණු ක්‍රමය වෙනස් වේවි කියලා, නමුත් එහෙම එකක් වුණේ නැහැ. දේශපාලකයින් එක පක්ෂයකින් තවත් පක්ෂයකට මාරු වුණාට මතවාදී වශයෙන් ලොකු වෙනසකට ලක්වුණේ නැහැ. ඒ බෙදීම් රේඛා අපහැදිලි වීම මත ලේසියෙන්ම එයාලගෙ කඳවුර මාරු කිරීමේ හැකියාව තිබුණා. අවස්ථාවෝචිතව වාසියක් ලැබෙන පැත්තට ගියා. ප්‍රතිපත්ති මත දේශපාලය කරන පිරිස ඉන්නේ අතලොස්සයි. කොහොමහරි බලය ලබාගන්න, ඊට පස්සේ ඒ බලය හරහා වාසි ලබා ගන්න තමයි ඔවුන් හැම විටම බලන්නේ, පක්ෂ වලට ප්‍රතිපත්ති තියෙනවා, ප්‍රතිපත්ති ප්‍රකාශ තියෙනවා කිව්වට ඒ අය තනි තනිව ඒ කියන ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ. ඒ නිසා ඒ ගොල්ලන්ට ලේසියෙන්ම වාසිය වෙනුවෙන් කඳවුර මාරු කරන්න පුළුවන්.”

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පක්ෂ මාරු කිරීම ගැන මෙසේ අදහස් දැක්වූයේ ය.

“සල්ලි වලට මාරුවෙන එකට මිනිස්සු කැමති නෑ. සල්ලි වලට මාරුවීම ගැන කථා 1964 ඉඳන්ම කියවෙනවා, සමහරු ගත්තා කියනවා සමහරු ගත්තේ නෑ කියනවා, මම හොඳටම දන්නවා සමහර අවස්ථාවලදී සල්ලි හුවමාරු වුණා කියන එක, ඒක ප්‍රසිද්ධ රහසක්. දින 52 ආණ්ඩුව වෙලාවේ මන්ත්‍රීවරයෙකුට වටිනාකම පවා කියවුණානේ, තුනෙන් දෙකක බහුතරයක් ගන්න, නොයෙකුත් වරදාන ගන්න පක්ෂය මාරු කරනවා. මෙය ජනතාව අනුමත කරන දෙයක් නම් නෙවෙයි. හැබැයි පක්ෂ මාරු කරන ඇතැම් අය පසුව අනෙක් පක්ෂයෙන් ඉල්ලුවාමත් මහජන ඡන්දයෙන් ම යළි බලයට පත්වෙච්ච අවස්ථා තිබෙනවා. එයාලට ඡන්දය දිනලා එන්න බැරි වුණොත් ලයිස්තුවෙන් හරි ගන්නවා.”

පක්ෂ මාරු කිරීම ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇතත්, එය සදාචාරාත්මක සහ ප්‍රජාතන්ත්‍රවාදී අතින් බරපතල ගැටලු ඇති කරන බව පැහැදිලිය. දේශපාලන ස්ථාවරත්වය සහ ජනතා විශ්වාසය ගොඩනැගීමට නම්, මෙම සංස්කෘතිය වෙනස් විය යුතුයි. නමුත් එසේ කිරීමට අවශ්‍ය දේශපාලන දැක්ම ඇතිවේද යන්න ගැටලුවකි.

නීතිමය පසුබිම

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පක්ෂ මාරුකිරීමට නීතිමය බාධා පවතී. නමුත් එම සෘජු බාධා මඟහැරීමට ද දේශපාලකයන් කටයුතු කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(13)(අ) වගන්තිය මගින් දක්වා ඇත්තේ යම් මන්ත්‍රීවරයකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර මාසයක් ගත වූ පසු, මන්ත්‍රීධූරය ද අහිමිවන බවයි.

දේශපාලන පක්ෂ සිදුකරන්නේ පක්ෂ මාරුකරන මන්ත්‍රීවරුන්ට පක්ෂයෙන් විනය චෝදනා එල්ලකර ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමයි.

ඉහත වගන්තියේ ම අතුරු වගන්තියක එම කරුණ අභියෝගයට ලක්කිරීමට ද මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබා දී ඇත. යම් මන්ත්‍රීවරයකුගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කළහොත් මාසයක් ගතවීමට පෙර, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට හැකියාව තිබේ. එහි දී පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සාධාරණ නොවේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළහොත් එම මන්ත්‍රීවරයාට මන්ත්‍රීධූරය අහිමිවන්නේ නැත.

දේශපාලන පිල් මාරුකිරීම් කළ අවස්ථාවල දී තීන්දු ලබාදුන් නඩු කිහිපයක් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ දක්නට ලැබෙයි.

ඒ ඒ පක්ෂ ව්‍යවස්ථාවන් අනුව කෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ ආකාරය, ඒ සඳහා පත්කළ විනය කමිටුවක් විසින් නිසි කාර්ය පටිපාටිය අනුව විනය පරීක්ෂණයක් පවත්වා ඇත් ද යන කරුණු සළකා බැලීමේ දී ඇතැම් නඩු තීන්දුවල දී එම ක්‍රියාවලියේ විවිධ දුර්වලතා අනාවරණය වී තිබිණි. එමගින් සාධාරණත්වයේ සහ ස්වභාවික යුක්ති මූලධර්ම අනුගමනය කර ඇත්ද යන කරුණු සළකා බලන අතර, සිදු කර ඇති වරද පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තරම් සාධාරණ නම් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළගනු ලැබේ.

1991 දී ගාමිණී දිසානායක එදිරිව එම්.සී.එම්.ඛලීල් සහ තවත් අය, 1993 දී තිලක් කරුණාරත්න එදිරිව සිරිමා බණ්ඩාරනායක සහ තවත් අය, 2000 දී සරත් අමුණුගම සහ තවත් අයට එදිරිව කරු ජයසූරිය සහ තවත් අය යන නඩු තීන්දු ඒ අතර ප්‍රමුඛ වෙයි.

හිටපු අගවිිනිසුරු සරත් එන් සිල්වා දුන් තීන්දුවක් අනුව එතෙක් දේශපාලන පිල් මාරු කිරීමේ දී පැවැති නීතිමය පසුබිම වෙනසකට භාජනය විය.  සරත් එන්. සිල්වා ලබාදුන් එම තීන්දුවේ අර්ථකථනය වූයේ තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ජනතාව වෙනුවෙන් පිල් මාරු කිරීමට මන්ත්‍රීවරුන්ට ඉඩක් තිබිය යුතු බවයි.

මෙම අර්ථකථනය හේතුවෙන් පක්ෂ මාරුකරන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමටත් ඒ මගින් ඔවුන්ගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමටත්, මෙරට දේශපාලන පක්ෂවලට පැවැති බලය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අසාර්ථක වීම සිදුවේ.

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මෙසේ කීවේය.

“පරීක්ෂණයක් තියලා නෙරපුවොත් අයින් කරන්න පුළුවන් කියලා නීතිය තියෙනවා. ජනාධිපතිවරයාට පුළුවන් ඕනෑම කෙනෙක් ව ඇමතිවරයෙක් හැටියට පත්කරන්න. මේ නිසා පක්ෂය මාරුකළාම අමාත්‍යධූරයක් දෙනවා. ඒක හේතුවක් කරගෙන අර්ථකථනයක් ආවා ඇමතිධූරක් දුන්නොත් එයාව පක්ෂයෙන් අයින් කරන්න බෑ කියලා. අතීතයේ සිදුවුණ ලොකුම පක්ෂ මාරුව වුණේ 2001 වසරේ එස් බී දිසානායක ඇතුළු කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයට එක්වීම. එතනදී කණ්ඩායමක්ම ආවා. ආන්ඩුව පෙරළුණා. ඒ වෙලාවේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ නිසා පරීක්ෂණ සිදුවුණේ නෑ. සරත් අමුණුගම පක්ෂය මරු කරපු වෙලාවේ තමයි අධිකරණ තීරණයක් ආවේ ඇමති ධූරයක් දුන්නොත් ඉන්න පුළුවන් කියලා. කෙනෙක් මනාප ඉල්ලුවට ඉස්සෙල්ලා ඡන්දය දෙන්නේ පක්ෂයට නිසා පක්ෂයෙන් නිසි විනය හේතුවක් මත ඉවත්කළොත් මන්ත්‍රීධූරය අහිමි කරන්න පුළුවන් බව දැන් නැවත අධිකරණයෙන් තීරණය කරලා තියෙනවා. මගේ අදහස නම් මහජන ඡන්දයෙන් තේරී පත්වන කෙනෙක් පක්ෂය මාරු කරාම ඒක හරිද වැරදිද කියන එක අධිකරණයෙන් තීරණය කිරීම නිවැරදි නැහැ. නමුත් වෙන ක්‍රමයක් ඇත්තෙත් නැහැ.”

නිසි ක්‍රියාමාර්ගයක් සහිතව මන්ත්‍රීවරයකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළහොත් එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කළ නොහැකි බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්ව පරිසර අමාත්‍ය ධූරය දැරූ නසීර් අහමඩ්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම, නීත්‍යානුකූල යැයි ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීරණය කිරීමෙන් තහවරු විය. මේ නිසා නසීර් අහමඩ්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමි විය. එලෙසම සමගි ජන බලවේගයෙන් පාර්ලිාමේන්තුවට තේරීපතව සිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ ඇමතිධූර ලබාගත් මනූෂ නානායකාරගේ සහ හරීන් ප්‍රනාන්දු දෙදෙනාගේ ද පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සාධාරණ බව අධිකරණය තීන්දු කළෙන් ඔවුන් දෙදෙනාටත් ඇමතිධූර පමණක් නොව මන්ත්‍රීධූර ද අහිමිවිය. ඇමතිධූරයක් දරන්නේ නම් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම කළ නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ම ලබාදුන් තීන්දුව පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම අභියෝගයට ලක්කර තිබුණේ ඒ ආකාරයෙනි.

2025 පළාත් පාලන මැතිවරණයෙන් පසු සිදු වූ දේ

වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂකයාව සිටිය දී ජනතාවට ඉදිරිපත් කළ කරුණු අතර තිබූ ප්‍රධාන කරුණක් වූයේ ජාතික ජන බලවේගය බලයට පත් වූ පසු පිල් මාරු දේශපාලනය අවසන් කරන බවයි. තමන්ට ලැබෙන වරදානවලට, මුදල්වලට ඇමතිකම්වලට ඒ ඒ පැත්තට පනින දේශපාලනය අවසන් කරන බව ඔහු තරයේ ම කියා සිටියේය.

මෙවර 2025 පළාත් පාලන ආයතන මැතිවරණයෙන් පසු පළාත් පාලන ආයතන 178ක එක් තනි පක්ෂයකට හෝ කණ්ඩායමකට 50%කට වැඩි බහුතර නියෝජිත සංඛ්‍යාවක් නොමැති විය. එම අවස්ථාවේ දී ද ජනාධිපතිවරයා කියා සිටියේ තම පක්ෂයට බහුතර බලය අහිමි වූ පළාත් පාලන ආයතනවල නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති සහ සභාපතිවරුන් පත්කිරීමේ දී ප්‍රතික්ෂේප වූ පක්ෂවල සහය කිසිසේත්ම නොගන්නා බවයි. හොරුන් සමඟ තමන් එකතු නොවන බව හෙතෙම කීවේය.

නමුත් සිදු වූයේ කොළඹ, ගාල්ල ඇතුළු මහ නගර සභා සහ පළාත් පාලන ආයතන රැසක බලය අල්ලා ගැනීම සඳහා ජාතික ජන බලවේගය රාජපක්ෂලාගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය, රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය සහ පිල්ලෙයන්ගේ දේශපාලන කණ්ඩායම්වල පමණක් නොව රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂයෙන් තරඟ කර පළාත් පාලන ආයතනවලට පිවිසි සභිකයන්ගේ පවා සහාය ලබා ගැනීමයි.

මේ සම්බන්ධයේ විවිධ විවේචන සමාජය තුළින් එල්ල වුව ද ජාතික ජන බලවේග රජය කීවේ බලය තහවරු කරගැනීම මෙවැනි අවස්ථාවක වැදගත් බැවින් තමන් විවිධ පුද්ගලයන්ගේ සහාය ලබාගත් බවයි.

කිසිම කණ්ඩායමකට 50% ඉක්ම වූ බහුතර මන්ත්‍රීධූරයක් නොතිබූ කොළඹ මහ නගර සභාව, ගාල්ල මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන අතරින් ජාතික ජන බලවේගයේ නගරාධිපතිවරු සහ සභාපතිවරු පත්වූ සෑම පළාත් පාලන ආයතනයක ම සභාපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම පමණක් නොව සභාපතිවරයා තෝරාගත යුත්තේ විවෘත ඡන්දයකින් ද ? රහස් ඡන්දයකින් ද ? යන්න තීරණය කිරීමේ ඡන්දය පවා පැවැත්වූයේ රහස් ඡන්දයක් ආකාරයෙනි. ඒ හේතුවෙන් ජාතික ජන බලවේගය බලය අල්ලාගත් එවැනි පළාත් පාලන ආයතනවල දී ඔවුන්ට සහය දුන්නේ කවර කණ්ඩායමක් හෝ පුද්ගලයන් ද යන්න ස්ථිරව කිව නොහැකි තත්වයට පත්විය. එසේ වුව ද නගරාධිපති හෝ සභාපතිවරයා පත්කරගැනීමෙන් පසු පත්කරන නියෝජ්‍ය නගරැාධිපති හෝ උප සභාපති ධූරය තමන්ට සහාය දුන් කණ්ඩායමට ලබාදීමට සිදුවීම නිසාම ඇතැම් පළාත් පාලන ආයතනවල දී ජාතික ජන බලවේගයට සහාය දුන් කණ්ඩායම් සහ පුද්ගලයන් අනාවරණය විය.

ගාල්ල මහ නගර සභාවේ දී මෙය මනාව ප්‍රදර්ශනය වූයේ සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ සභිකයන් නගරාධිපතිවරයා පත්කිරීමේ ඡන්ද විමසීම රහස් ඡන්දයක් බවටට තීන්දුවීමත් සමඟ සභා ගැබෙන් නැගිට යාම හේතුවෙනි.

ගාල්ල මහ නගර සභාවේ 50%ක බහුතරය කිසිම පක්ෂයකට හිමිව තිබුණේ නැත. ඒ නිසා නගරාධිපතිවරයා තෝරාගැනීම සඳහා ඡන්දයක් පැවැත්වූ අතර එහි දී එම ඡන්දය රහස් ඡන්දයක් විය යුතුයැයි රහසේ කරන ලද ඡන්ද විමසීමකින් තීරණය කෙරිණි.

නගරාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම රහස් ඡන්දයක් බවට තීරණය කිරීමත් සමඟ ජාතික ජන බලවේගයට එරෙහි කණ්ඩායම සභාවෙන් ඉවත්ව ගිය අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභික හිටපු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු සහ ඔහුගේ කණ්ඩායමේ තිදෙනා පමණක් ජාතික ජන බලවේගයේ සභිකයන් සමඟ සභාවේ ඉතුරු වූහ. එම අවස්ථාවේ දී ජාතික ජන බලවේගයට සහාය ලබාදෙන කණ්ඩායම මනාව තහවරු විය.

අවසානයේ නගරාධිපති ධූරයට ජාතික ජන බලවේගයේ සුනිල් ගමගේ පත් වූ අතර නියෝජ්‍ය නගරාධිපති ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රියන්ත සහබන්දු සුදුසු යැයි යෝජනා කරන ලද්දේ ද ජාතික ජන බලවේගය විසිනි.

රාජපක්ෂ කඳවුර ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හොරුන් සහ දූෂිතයන් බවත්, ගාල්ල මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා දූෂිතයකු බවත් දිගින් දිගටම චෝදනා කළ ජාතික ජන බලවේගය ගාල්ල මහ නගර සභාවේ බලය අල්ලාගැනීම සඳහා අවසානයේ ඔවුන් සමඟම එක් වූ අතර හිටපු නගරාධිපතිට ම නියෝජ්‍ය නගරාධිපතිධූරය  ලබාදීම දෛවෝපගත සිද්ධියක් විය.

පක්ෂ මාරු කිරීමට නැවතීමේ තිත තබන බවත් තමන් කිසිදා හොරුන් සමඟ එකතු නොවන බවත් මන්ත්‍රීවරු විවිධ පක්ෂවලට සහාය ලබාදෙන්නේ වරදාන, වරප්‍රසාද සහ මුදල් වෙනුවෙන් යැයි චෝදනා කළ ජනාධිපති අනුර කුමාර දිසානායක දැන් ගාල්ලේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් වචනයක් කියන්නේ නැත.

ආචාර්ය ඉන්දි අකුරුගොඩ මෙසේ ද පවසයි.

“ වර්තමානයේ රටේ රාජ්‍ය බලය හිමි ජාතික ජන බලවේගයේ ප්‍රධාන කණ්ඩායම වන්නේ වාමාංශික නැඹුරුවක් තියෙනවා කියන ජනතා විමුක්ති පෙරමුණ. නමුත්, වාමාංෂික අයටත්  දැන් සිදුවෙලා තියෙන්නේ බලය අල්ලා ගැනීම සඳහා දක්ෂිණාංශක ක්‍රමයට ගමන් කිරීම. එයාලත් අර දියවුණු බෙදීම් රේඛාව අස්සෙන් ධනේෂ්වර පැත්තට පනිනවා. ඒකත් එක්ක ආණ්ඩුකරණය අර්බුදයකට ගිහින් තියෙනවා. මොකද පක්ෂ විපක්ෂ කියන කාරණය ඇතුලේ බෙදීමක් නැති වුණාම අපි පක්ෂ වෙන්නේ මොනවටද වික්ෂ වෙන්නේ මොනවටද කියලත් අදහසක් නැහැ, ඊයේ පක්ෂ වෙලා හිටපු එකට අද විරුද්ධයි, අද විරුද්ධ එකට හෙට පක්ෂයි. කෙටියෙන් කිව්වොත්  ප්‍රතිපත්තිමය දේශපාලනයක් අද දකින්න නැහැ. මෙවර පළාත් පාලන ඡන්දයෙන් පස්සේ 50%ක බහුතර බලයක් එක් කණ්ඩායමකට ගන්න බැරි වුණු පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරු සහ සභාපති තෝරාගැනීමේ දී ඒක හොඳින්ම ප්‍රදර්ශනය වුණා. දැන් වාමාංශික සහ දක්ෂිණාංශික කියා කඳවුරු දෙකක් දක්නට නැහැ.”

ගාල්ලේ ප්‍රියන්ත සහබන්දුට නියෝජ්‍ය නගරාධිපති ධූරය ලබා දී ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ධූරය ජාතික ජන බලවේගයට ලබාගෙන ඇත්තේ එදා ජනාධිපති වීමට පෙර අනුර කුමාර දිසානායක වරදාන වරප්‍රසාද සහ මුදලට ප්‍රතිපත්ති පාවා දෙන්නන් ගැන කියූ කතාව තමනුත් ඒ ආකාරයෙන් ම සිදුකරන බවත්, එය තවදුරටත් පවත්වාගෙන යන බවත් ප්‍රායෝගිකව සනාථ කරමිනි.

පක්ෂ දේශපාලනය ශ්‍රී ලංකාවේ ආරම්භ වූ කාලයේ සිට මේ දක්වාම ක්‍රියාත්මක වූ වරින් වර විවිධ පක්ෂවලට සහාය දක්වමින් පක්ෂ මාරු කිරීමේ ක්‍රමය ඉදිරියටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව මෙව පළාත් පාලන මැතිවරණයෙන් පසුව ද සක් සුදක් සේ පැහැදිළිව පෙනෙන්නට තිබේ.

ජනතාව මෙම ක්‍රමය කොතෙක් පිළිකුල් කළ ද, ඒ නිසාම මෙරට දේශපාලනය වැඩකට නැති ජනතා විශ්වාසය පළු දු වූ ක්‍රමයක් බවට ජන මතය තිබුණ ද නීතියේ කවරක් සඳහන් වුව ද පක්ෂ මාරු කිරීම් එදත්, අදත්, හෙටත් මතු හැමදාමත් දක්නට ලැබෙනු ඇත.

-Advertisement-

රනිල් සංකූල තත්වයකට, හදිසි ප්‍රතිකාර දෙයි

0

රිමාන්ඩ් කිරීමෙන් පසු බන්ධානාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත අද (23) සවස දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි.

එහි සිටින හිටපු ආණ්ඩුකාරවරයකු වන රජිත් කීර්ති තෙන්නකෝන්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඡායාරූපයක් ද සිය facebook ගිනුමේ පළකරමින් සඳහන් කර ඇත්තේ සංකූලතාවක් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට වෛද්‍යවරු ප්‍රතිකාර ආරම්භ කර ඇති බවයි.

-Advertisement-

රනිල් රිමාන්ඩ්

0

අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි කොළඹ මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර අද (22) රාත්‍රී නියෝග කළාය.

පුද්ගලික සංචාරයක් සඳහා එංගලන්තයට යාමට රජයේ මුදල් අවභාවිතා කර ඇතැයි චෝදනා කරමින් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි. එම ප්‍රකාශය ලබාගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සැකකරුට එරෙහිව පොදු දේපොළ පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බව සඳහන් කළේය. විමර්ශන කටයුතු අවසන් නොමැති නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න අධිකරණයේ කරුණු දක්වමින් සැකකරු ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලා සිටියේය. 

මෙම ඉල්ලීම් අතර අධිකරණ කටයුතු මහේස්ත්‍රාත්වරිය විසින් පැය භාගයකට කල් තැබුවාය. නමුත් එලෙස අධිකරණ කටයුතු කල් තැබූ අවස්ථාවේ අධිකරණයේ විදුලිය විසන්ධි වූ අතර පසුව පැය ගණනක් විදුලිය නොමැතිව තීන්දුව ලබාදීම ප්‍රමාද කෙරිණි.

ඉන් අනතුරුව කරුණු සලකා බැලූ කොළඹ මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.

-Advertisement-

රනිල්, පොදු දේපළ අවභාවිතා කළා ද ?

1

ශ්‍රී ලංකා ඉතිහාසයේ හිටපු විධායක ජනාධිපතිවරයකු අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව ලෙස අද (22) රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වාර්තා වෙයි.

ජනාධිපතිවරයකුට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අත්අඩංගුවට පත්ව නොසිටීමේ සහ නඩු පැවරීමේ විනර්මුක්තියක් හිමිව තිබූ අතර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ව සිටි කාලයේ දී සිදුකරන ලද ව්‍යවස්ථා සංශෝධනයකින් එම විනර්මුක්තිය ඉවත් කරන ලදී. ඒ අනුව ඔහු විසින් ගෙන එන ලද සංශෝධනය මේ වනවිට ඔහුට ම පාරා වළල්ලක් වී ඇත.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා 2023 සැප්තැම්බර් 22 සහ 23 එක්සත් ජාතීන්ගේ සම්මේලනයට සහභාගීවීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් වෙත ගොස් එම සංචාරය නිමවා ආපසු එමින් සිටිය දී එංගලන්තයේ ලන්ඩන් නගරයට ගොස් තිබිණි. මෙලෙස ඔහු ලන්ඩන් ගියේ ඔහුගේ බිරිඳවන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසංහට ගෞරව ආචාර්ය උපාධියක් ලැබීමේ අවස්ථාවට සහභාගී වීමට බවත් එය පුද්ගලික සංචාරයක් බැවින් එයට රජයේ මුදල් වැය කර තිබීම පොදු දේපළ අවභාවිතයක් බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව චෝදනා ගොනුකර ඇත.

මේ පිළිබඳ සොයා බැලීමේ දී අනාවරණය වන්නේ බ්‍රිතාන්‍යයේ වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපකුලපති මාහාචාර්ය ජෝන් රැෆ්ට් විසින් මෙම ආරාධනය කර ඇත්තේ ලන්ඩන් නගරයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා නිල වශයෙන් බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම සංචාරයේ දී රජයේ මුදල් අවභාවිතාා කරමින් හිටපු ජනාධිපතිවරයා ඊට සහභාගී වී ඇති බවට පසුගිය දා පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණයක් සිදුකළ බවයි.

එම පැමිණිල්ලට අනුව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් හා හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරාගෙන් ප්‍රකාශ ලබාගෙන තිබිණි.

ඉන්පසු හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අද (22) ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර අද උදෑසන 9.00ට පමණ හෙතෙම එහි ගියේ ය. එහි දී ඔහුගෙන් ප්‍රකාශයක් සටයහන් කරගැනීමෙන් අනතුරුව දහවල් 1.15ට පමණ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැණිනි.

පසුව ඔහුව අද සවස 3.00ට පමණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එම අවස්ථාවේදී විපක්ෂ මන්ත්‍රීයරු ඇතුළු ඔහුගේ ආධාරකරුවෝ විශාල පිරිසක් ද අධිකරණ භූමියට පැමිණ සිටියහ.

ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට ඉදිරිපත් කෙරුණ හිටපු ජනාධිපතිවරයාට අදාළ නීති කෘත්‍ය කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඉදිරියේ කැඳවනු ලැබීය.

සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කරුණු දැක්වූයේ ය.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ, 2025.03.17 වන දින වී.එස් කරුණාරත්න නම් පුද්ගලයෙකු ජනාධිපතිවරයාට සිදුකළ පැමිණිල්ලකට අනුව ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තර විමර්ශනයක් සිදුකර ඉන් අනතුරුව 2025.05.23 වන දින මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි.

අදාළ සිදුවීම නම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරය දරන කාලය තුළදී 2023.09.13වන දින සිට 20වන දින දක්වා කියුබාවේ හා අමෙරිකාවේ නිල සංචාරයක නිරත වී ඉන් අනතුරුව 2023.09.22 හා 23 යන දිනවලදී නිල සංචාරයක් යැයි කියාපාමින් පෞද්ගලික සංචාරයක නිරතවීම තුළ රජයේ මුදල් අවභාවිතයක් සිදුවී ඇති බවයි.

ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් 33න් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙරට 8වන විධායක ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ සැකකරුවකු ලෙස නම්කරමින් අත්අඩංගුවට ගත් බව දිලීප පීරිස් සඳහන් කළේය.

ඔහු අනතුරුව මූලික සිදුවීම සම්බන්ධයෙන් මූලික කරුණු පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවේය.

ස්වාමීනි, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස 2023.09.13 සිට 20 දක්වා කියුබාවේ සහ අමෙරිකාවේ නිල සංචාරයක යෙදී තිබෙනවා. ඉන් අනතුරුව 22වන  දින එංගලන්තයේ වුල්ෆ්හැම්ටන් විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගීවී තිබෙනවා. ඒ වික්‍රමසිංහ මැතිණියට ගෞරව උපාධියක් ලැබීමේ අවස්ථාවකටයි. මෙම ප්‍රශ්නගත සංචාරය සඳහා ජනාධිපති කාර්යාලයේ සහ පොලිසියේ නිලධාරීන් ඇතුළු 10 දෙනෙකුගේ කණ්ඩායමක් සහභාගීවී තිබෙනවා. එහිදී දින දෙකක කාලයක් තුළ වියදම් කර ඇති සමස්ත මුදල රුපියල් ලක්ෂ 166ක්. එහිදී එම මුදල ගෙවීම සිදුකර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රුපියල් ලක්ෂ 133ක් සහ පොලිසිය සහා නාවික හමුදාව එක්ව රුපියල් ලක්ෂ 32කට වැඩි මුදලක් වශයෙන්. මෙහිදී විශේෂයෙන් අවධානය යොමුකළ යුතුයි 2023 අගෝස්තු 16 වනදා තමයි මෙම සංචාරයට අදාළ පළමු ලේඛනය අපට හමුවන්නේ. එහි සඳහන්වන්නේ මෙය පෞද්ගලික සංචාරයක් කියලා. නමුත් සැප්තැම්බර් වන මස 07 වැනිදා වෙද්දි එකී පෞද්ගලික සංචාරය කියන එක නිකම්ම නිකන් විසිට් එකක් බවට පත්වෙනවා. මේ සංචාරය ගිහින් ආවට පස්සේ මෙම ලේඛනවල සඳහන්වෙන්නේ එය නිල සංචාරයක් කියලා. කවුද මේවා සංශෝධනය කළේ කියන එක බරපතළ ප්‍රශ්නයක්. අපි මෙම සැකකරුගේ එවකට පෞද්ගලික ලේකම්වරියව සිටි සැන්ඩ්‍රා පෙරේරාගෙන් ප්‍රශ්න කරපුවම ඇය කිව්වා, පළමුව තමන් සිතාගෙන සිටියේත් මෙය පුද්ගලික සංචාරයක් කියලා නමුත් පසුව ජනාධිපතිවරයා ලෙස සැකකරු කිව්වා එය පෞද්ගලික සංචාරයක් නොවේ කියලා. මේ සම්බන්ධයෙන් එවක ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී ඔහු කිව්වේ ජනාධිපතිවරයා සාමාන්‍යයෙන් දුර ගමන් යද්දි, ඩුබායි, දෝහා වගේ රටවල්වලට යද්දි එක් දිනයක් විවේකීව ගතකරනවා, එම විවේකී දිනය ලෙස ලන්ඩනය තෝරාගෙන ඇති බව සිතා තමන් මුදල් අනුමත කළා කියලා. මෙම ප්‍රශ්නගත සංචාරයට සැකකරුට ආරාධනා ලැබී ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින්, මෙය නිල සංචාරයක් බවට පත්වන්න නම් අනිවාර්යයෙන්ම බ්‍රිතාන්‍ය රජයෙන් මේ සදහා ආරාධනාව ලැබිය යුතුයි. ප්‍රශ්නගත සංචාරය සම්බන්ධයෙන් මෙම සැකකරුගෙන් ප්‍රශ්න කළාම ඔහු කියනවා නිල සහ පෞද්ගලික කියලා දෙවර්ගයක් නැහැ ඕනෑම සංචාරයකට රාජ්‍ය මුදල් භාවිත කරන්න පුළුවන් කියලා.”

අනතුරුව අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා මෙම සංචාරයේදී වියදම් සිදුවී ඇති ආකාරය සම්බන්ධයෙන්ද පැහැදිලි කිරීමක් සිදු කළේය.

ස්වාමිනි මේ කියන වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලය තිබෙන්නේ ලන්ඩනයේ සිට කිලෝමීටර් 206ක වගේ දුරකින් එහෙම තිබෙද්දිත් ස්වාමිනී ඔහු නැවතී ඉඳලා තිබෙන්නේ ලන්ඩනයේ තිබෙන ලෑන්ඩ් මාර්ක් කියන සුඛෝපභෝගී හෝටලයේ ස්විට් එකක එතන ඉඳලා ස්වාමිනී ඔය කියන විශ්වවිද්‍යාලයට යන්නයි එන්නයි කිලෝමීටර් 400ක් පමණ තිබෙනවා. පස්සේ වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලය අසලත් විනාඩි 5ක වගේ දුරකින් කාමර දෙකක් වෙන් කරලා තිබෙනවා. මෙහි දී සිදුකර තිබෙන වියදම් දෙස අවධානය යොමු කළොත් වාහන කුලීවලට ලක්ෂ 45ක්, ආහාරපාන සඳහා ලක්ෂ 03ක් නවාතැන් සඳහා ලක්ෂ 34ක්, අමුතන්ගේ පරිහරණය සඳහා ලක්ෂ 27ක් වගේ වියදම් සිදුකරලා තිබෙනවා. ස්වාමිනී මේ වියදම් සිදුකරලා තිබෙන්නේ මෙරට තුළ ඩොලර් හිඟයක් තිබෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ රට බංකොලොත්වීම සම්බන්ධයෙන් නඩු යන්නාවූ කාලය තුළයි. හරියටම කියනවනම් මේ කාලයේ මට බංග්ලාදේශයේ රාජකාරී ගමනක් යන්න සිදුවෙලා ඩොලර් 75ක් සොයාගන්නත් බොහෝ වෙහෙසුණා. මේ සංචාරයට ජනාධිපතිවරයා සමග එක් වූ පොලිස් නිලධාරියෙකුගෙන් සිදුකරපු ප්‍රශ්න කිරීමකදී ඔහු කියනවා ජනාධිපතිවරයා ලෑන්ඩ්මාර්ක් හෝටලයෙන් උපාධි ප්‍රධානෝත්සවයට යනවා හැරෙන්නට වෙනත් කිසිඳු අවස්ථාවක එලියට ආවේ නැහැ කියලා. ඒ කියන්නේ ඉතාමත් පැහැදිලියි මේ කාලවකවානුව තුළ ජනාධිපතිවරයා කිසිඳු ආකාරයක රාජ්‍ය නායකයෙකු හමුවකටවත් සම්බන්ධවුණේ නැහැ. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම පෞද්ගලික සංචාරයක්. මේක ස්වාමීනි හරියට දරිද්‍රතාවයෙන් පෙළුණු පවුලක් ජීවත්වෙන්න කැටයකට මුදල් එකතු කරලා අනිත් සාමාජිකයන්ට නොදී කැටේ මුදල් අරගෙන තානායම ගිහින් කෑවා බිව්වා වගේ වැඩක්.”

අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම සැකකරුට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනුකර ඇති බැවින් ඇප ලබාදීමට ප්‍රබල ලෙස විරුද්ධවන බව සඳහන් කළේය.

ස්වාමිනි මේ නඩුවේ විමර්ශන තවදුරටත් අවසන් නැහැ. තව සැකකරුවන්  අත්අඩංගුවට ගන්න තිබෙනවා. විශේෂිතම කෙනෙක් තමයි ජනාධිපති ලේකම් ලෙස හිටපු සමන් ඒකනායක. මේ හිටපු ජනාධිපතිවරයාට නඩු පවරා තිබෙන්නේ පොදු දේපළ පනත යටතේයි. ඒ කියන්නේ ඇප ලබාගන්න සුවිශේෂී කරුණු දැක්වීමක් ඉදිරිපත් කරන්න ඕනේ. යුක්තියේ දෙවඟනගේ දෑස් වසා සිටිනවා වගේම කිසිඳු සැකකරුවකුගේ තරා තිරම බලන්නේ නැතුව නඩුවට ඉදිරිපත්වී ඇති සාක්ෂි හා කරුණු මත පමණක් පදනම්ව ඔබතුමියගේ තීරණ ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ”

අනතුරුව හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දැක්වුවේය.

ජනාධිපති ලේකම් කාර්යාලය කරපු අභ්‍යන්තර විගණන වාර්තාවකින් මේ බව තහවුරු කරගත්තා කියලා පැමිණිල්ල කියනවා. නමුත් ස්වාමිනි ඔය සිදුවීමට අදාළව ජාතික විගණකාධිපති ඉදිරිපත් කරපු වාර්තාවක් මම ඔබේ අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒ වාර්තාවෙන් මේ කිසිවක් සනාථ වන්නේ නැහැ. අද මේ නඩුව දාන්න පුළුවන් වෙලා තියෙන්නෙත් සැකකරු ජනාධිපති වෙලා ඉද්දී ජනපති විනිර්මුක්තිය අහෝසි කරපු නිසා. නමුත් නඩු දාන්න වුණත් හේතුවක් තියෙන්න ඕනේ. මේක ද්වේශ සහගත ලෙස දාපු පදනම් විරහිත නඩුවක්. ස්වාමිනි එක එක කාලෙක  එක එක්කෙනාට කඩේ යන යූ ටියුබර් කෙනෙක් කියලා තිබ්බා දවස් දෙකක් ඇතුළත රනිල් මහත්තයාව රිමාන්ඩ් කරනවා කියලා. කොහොමද එහෙම කියන්නේ?”

තවදුරටත් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දැක්වූවේය.

ස්වාමීන් මේ සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මම පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. මොහු වසර 7ක ඉඳලා හෘද රෝගී තත්ත්වයකින් පෙළෙනවා. ඒ වගේම ඔහුට පාලනය කළ නොහැකි දියවැඩියා තත්ත්වයක් තියෙනවා. ඔහුට අධිරුධිර පීඩනයත් තියෙනවා. ඊට අමතරව වෙනත් රෝග කිහිපයකටත් ඔහු ප්‍රතිකාර ලබනවා. මේ අවස්ථාව සුවිශේෂි නිසා ස්වාමීන් මෙතෙක් ශ්‍රී ලංකාවේ කවුරුත් දැනගෙන හිටිය නැති සුවිශේෂි කරුණක් මම අධිකරණයට ඉදිරිපත් කරන්න කැමතියි. ඒක තමයි මොහුගේ භාර්යාව පිළිකා රෝගයකින් සහ ආතරයිටීස් රෝගයකින් පෙළෙනවා කියන දේ. රටම දන්නා කරුණක් තමයි මොවුන්ට දරුවන් නැහැ. ඒ නිසා ඇයව ධෛර්යමත් කරන්න ඉන්නේ මොහු විතරයි. ඔවුන්ට ඉන්නේ ඔවුන් විතරයි. එයත් සුවිශේෂි කරුණක් ලෙස සලකන්න. ඒ වගේම බන්ධනාගාරය කියන්නේ හිටපු ජනාධිපති කෙනෙක්ට විශේෂ ආරක්ෂාව තියෙන තැනක් නෙවෙයි. ඒ වගේම මම සඳහන් කරන්න කැමතියි මොහුට අනිද්දා දිනයේ ඉන්දියාවේ පැවැත්වෙන කොමන් වෙල්ත් යූත් කවුන්සිල් එකට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙන්න තියෙනවා. මේ සියලු කරුණු සලකා බලා පොදු දේපළ පනත යටතේ වන සුවිශේෂි කරුණු සේ සලකා බලා මොහුව ඇප මත මුදා හරින්න කියලා මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

මෙහිදි කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර පැමිණිල්ලේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතාගෙන් විමසා සිටියේ විත්තිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද ජාතික විගණන කාර්යාලයේ වාර්තාව සම්බන්ධයෙන් කුමන අදහසක් දරන්නේද යන්නය.

ඊට පිළිතුරු දෙමින් දිලීප පීරිස් සඳහන් කළේ එම විගණන වාර්තාව පොදුවේ වර්ෂයකට අදාළව සිදු කරන ලද විගණන වාර්තාවක් වන අතර නිශ්චිත කරුණට අදාළව සිදු කරන ලද විගණන වාර්තාවක් නොවන බවය.

තමන් විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ නිශ්චිත කරුණක් සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තරයේ සිදු කරන ලද විගණන වාර්තාවක් බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පවසා සිටියේය.

-Advertisement-

රනිල්ගේ නඩුවට, විදුලිය හරස් වෙයි

0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව නඩුව විභාගයට ගෙන ඇති අධිකරණ ශාලා පරිශ්‍රයේ විදුලිය විසන්ධි වී ඇති බැවින් නඩු විභාගය නතර වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රනිල් වික්‍රමසිංහ කොටුව මහේස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එම නඩුව විභාගයට ගන්නා අතරතුර මහේස්ත්‍රාත්වරිය විසින් අධිකරණ කටයුතු පැය භාගයකට කල් තබන ලදී.

මෙලෙස අධිකරණ කටයුතු කල් තැබූ අවස්ථාවේ දී අධිකරණ ශාලාවේ විදුලිය විසන්ධි වූ අතර විදුලිබල මණ්ඩලයේ නඩත්තු කණ්ඩායම් පවා පැමිණ එය යථාතත්වයට පත්කිරීමට උත්සාහ ගනිමින් සිටියි. මේ දක්වාම නැවත නඩුව විභාගයට ගෙන නොමැත.

-Advertisement-

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට එරෙහිව විමල් අධිකරණයට

0

ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වන ජනාධිපති අනුර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31 දෙනෙකු නම් කර ඇත.

විමල් වීරවංශ සිය පෙත්සම මගින් කියා සිටින්නේ, ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙන බව ය.

මීට අදාළව 2022 වසරේ ශ්‍රී ලංකා රජය ඉන්දියානු රජය සමග අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙන බවත්, එම අවබෝධතා ගිවිසුම සංශෝධනය කිරීම සඳහා මෙම අමාත්‍ය මණ්ඩල තීන්දු දෙක ලබාගෙන ඇති බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි.

උක්ත අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ජීව දත්ත ඇතුළු තොරතුරු ඉන්දියාව අතට පත්වන බවත්, ඒ තුළින් ඉන්දියාවට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට අවකාශ සැලසෙන බවත් පෙත්සම මගින් චෝදනා කර තිබේ.

දේශීය වශයෙන් ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් මෙරට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් සකස් කරමින් පවතිද්දී එම කටයුත්ත රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට රජය විසින් ගනු ලැබ ඇති තීරණය අත්තනෝමතික මෙන් ම නීතියට පටහැනි බව ත් ද පෙත්සම්කරු සඳහන් කරයි.

මේ තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආර්ථිකයට සහ ජාතික ආරක්ෂාවට මෙන් ම ස්වාධීනත්වයට මැදිහත්වීමට විදේශීය රාජ්‍යයකට අවස්ථාව සැලසෙන බවත්, මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බව ත් පෙත්සම මගින් පෙන්වා දී ඇත.

ඒ අනුව, ඉන්දියාව සමග ඇති කර ගෙන තිබෙන මෙම අවබෝධතා ගිවිසුම සහ ඊට අදාළ කැබිනට් තීන්දු බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, මෙම හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ත් පෙත්සකරු වැඩිදුරටත් සිය පෙත්සම මගින් ඉල්ලා තිබේ.

-Advertisement-

රනිල්ගේ ඇප ඉල්ලීම පැය භාගයකට කල් යයි

0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තබන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේය.

මෙම ඇප ඉල්ලීම කොළඹ  කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර ඉදිරියේ සලකා බැලුණි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මෙම සැකකරුට එරෙහිව පොදු දේපොළ පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බවයි.

විමර්ශන කටයුතු අවසන් නොමැති නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූෂ ප්‍රේමරත්න අධිකරණයේ කරුණු දක්වමින් සැකකරු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය. ඉන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තබන බව මහෙස්ත්‍රාත්වරිය නිවේදනය කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රඳවා ගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කරන ලද රිසිට්පතේ සඳහන් වන්නේ, පොදු දේපළ පනතේ 5(1) වගන්තිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ 386 සහ 388 වගන්ති යටතේ වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බවයි.

2023 දී ලන්ඩන් සංචාරයකදී රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත වික්‍රමසිංහ මහතා අද (22) අත්අඩංගුවට ගන්නා ලදී. පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, ඔහුගේ ඇප හෝ රිමාන්ඩ් භාරය පිළිබඳ තීන්දුවක් අපේක්ෂා කෙරේ.

-Advertisement-

රනිල් අද FCIDයට

0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ඇත.

විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මෙලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කරන බව වැඩිදුරටත් සඳහන්ය.

-Advertisement-