-0.8 C
New York
Home Blog Page 14

වෛද්‍ය පාලිත රාජපක්ෂට විනය පරීක්ෂණයක්

0

බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහි විනය පරීක්ෂණයක් සඳහා හෙතෙම රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

ඖෂධ හිඟය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් අද (08) මෙම විනය පරීක්ෂණය පැවැත්වෙන බව වාර්තා වේ.

ඇල්ල වැල්ලවාය මාර්ගයේ දී පසුගිය දා බස්රථයක් පෙරැළී ගිය අවස්ථාවේ හෙතම තම ජීවිත අවධානම ද නොතකා විපතට පත් ජනතාව බේරාගැනීමට එම ස්ථානයට ගොස් ප්‍රපාතයට ද බැස රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට කටයුතු කර තිබිණි.

-Advertisement-

පූර්ණ චන්ද්‍රග්‍රහණය අද රාත්‍රී

0
Untitled design - 1

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට අද (07) රාත්‍රී පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව උදාවෙයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල්වලට මෙන් ම යුරෝපයේ සහ අප්‍රිකාවේ රටවල් කිහිපයකට සහ ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයටත් මෙම චන්ද්‍රග්‍රහණය දැකගත හැකියි.

තාරකා විද්‍යාඥයන් පවසන්නේ නැවත මෙවැනි චන්ද්‍රග්‍රහණයක් ශ්‍රී ලංකාවට දිස්වන්නේ 2028 දෙසැම්බර් 31 වැනි දා බවයි.  නමුත් එය අද ඇතිවන පූර්ණ චන්ද්‍රග්‍රහණය තරම් දීර්ඝ වේලාවක් පවතින්නක් නොවේ. අද ඇතිවන පූර්ණ චන්ද්‍රග්‍රහණය විනාඩි 81ක කාලයක් පවතින අතර එවැනි චන්ද්‍රග්‍රහණයක් යළි ඇතිවන්නේ 2040 නොවැම්බර් 18 වැනි දා ය.

පෘථිවියේ ඡායාව චන්ද්‍රයා මත පතිතවීමෙන් චන්ද්‍රග්‍රහණය සිදුවීම ආරම්භ වන්නේ අද රාත්‍රී 8.58 පමණ වන අතර ක්‍රමයෙන් සඳෙහි දීප්තිය අඩු වී රාත්‍රී 9.57ත් 11.01ත් අතර දී අර්ධ චන්ද්‍රග්‍රහණය දැකගත හැකිවනු ඇත. පසුව පෘථිවි ඡායාවෙන් චන්ද්‍රයා සම්පූර්ණයෙන් ම වැසී යාම සිදුවන අතර එහි උපරිම අවස්ථාව රාත්‍රී 11.42ට දැකගත හැකිවනු ඇත. ඒ අවස්ථාවේ දී චන්ද්‍රයා තද රතු පැහැයෙන් දිස්වේ. එම පූර්ණ චන්ද්‍රග්‍රහණ අවස්ථාව හෙට (08) අලුයම 12.22 දක්වා පවතින අතර ක්‍රමයෙන් නැවත අර්ධ චන්ද්‍රග්‍රහණයක් බවට පත්ව අළුයම 2.25ට පමණ පෘථිවියේ උප ඡායාවත් චන්ද්‍රයා මතින් ඉවත්වීම සිදුවෙයි.

පෘථිවි වායුගෝලයේ පවතින දූෂ්‍යකාරක සහ දුහුවිලි අංශු හේතුවෙන් චන්ද්‍රග්‍රහණය පවතින අවස්ථාවේ දී සඳ රතු පැහැයෙන් දිස්වේ. එලෙස රතු පැහැ ගන්නා සඳ blood moon හෙවත් ‘රුහිරු සඳ’ ලෙස ද හඳුන්වයි.

-Advertisement-

චෙම්මනී සමූහ මිනී වළ සම්බන්ධයෙන් මානව හිමිකම් නිර්දේශ මෙන්න

0

අපරාධයක් සිදු වූ ස්ථානයක් ලෙස අධිකරණය විසින් නම්කර ඇති චෙම්මිනී සමූහ මිනීවළ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් සිදුකළ යුතු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම තීරණය කර ඇත.

එම ස්ථානයේ කැණීම් කළ නිලධාරීන් පවසන්නේ එතැන තිබී ළමයින් ඇතුළු පුද්ගල ඇට සැකිළි 222ක් පමණ සොයාගෙන ඇති බවයි.

යාපනයේ නීතිඥ සංගමයේ සාමාජිකයන් විසින් අධිකරණයට පවසා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිසන් එම ස්ථානයේ කැණීම්වල නිරත වූ කාර්ය මණ්ඩලයට,  අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුලවල සාමාජිකයන්ට බලපෑම් කරන බවයි. මේ පිළිබඳ විස්තරයක් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත්කර ඇති වාර්තාවේ ද දක්වා ඇත.

ඒ පිළිබඳ අවධානය යොමුකර එලෙස වින්දිතයන්ට සහ රාජකාරියේ නිරත කාර්ය මණ්ඩලයට හිරිහැර සහ බලපෑම් කිරීමෙන් වළකින්න යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන්න යැයි ද මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

මානව හිමිකම් කොමිෂන් සභාව චෙම්මනී සමූහ මිනීවළ සම්බන්ධ පළමු වාර්ථාව සැකසීමේ දී, අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) කාර්ය මණ්ඩලය, නීතිඥයින්, සිවිල් සමාජ ක්‍රියාධාරින් සහ අතුරුදහන් වූ අයගේ ඥාතීන් සමග සාකච්ඡා කර ඇත. එමෙන් ම කැණීම් කටයුතු අධීක්ෂණය කරන පුරාවිද්‍යාඥ ජ්‍යෙෂ්ට මහාචාර්ය රාජ් සෝමදේව, යාපනය මහේස්ත්‍රාත් අමලවන් ආනන්දරාජා, අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා පරනවන්, සහ මුලික විමර්ශන භාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මුණ ගැසී ඇත.

එමෙන් ම ගොඩගත් අස්ථි කොටස් යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ගබඩා කර ඇති ආකාරය ද මානව හිමිකම් කොමිෂම විසින් නිරීක්ෂණය කර ඇත.

මෙහි දී මානව හිමිකම් කොමිෂමට අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් ඇඳුම් නොමැතිව නිරුවත්ව වළ දමා ඇති බවයි එබැවින් එහි අවමංගල චාරිත්‍ර සිදුකර නැති බව පෙනී යයි. එමෙන්ම එම සිරුරු එකිනෙක ඉතා සමීපව නොගැඹුරු ලෙස වළ දමා ඇති බැවින් ඒවා නීති විරෝධී ඝාතනවලින් පසු වළ දමා ඇතැයි සාධාරණ සැකයක් ඇති බව මානව හිමිකම් කොමිෂම පෙන්වා දී ඇත.

එබැවින් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.

චෙම්මනී කැණීම් කටයුතු අඛණ්ඩව වාර්තා කරන කුමනන් කනපතිපිල්ලෙයි නමැති මාධ්‍යවේදියා පොලිසියේ ත්‍රස්ත මර්ධන හා විමර්ශන දෙපාර්තමේන්තුව විසින් කැඳවා ප්‍රශ්න කිරීම මාධ්‍යවේදීන් බිය වැද්දීමේ ක්‍රියාවක් බව ද මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් කර ඇත.

කැණීම් කටයුතුවල යෙදී සටින නිලධාරීන්ට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපෑම් එල්ලවන බැවින්, ශ්‍රී ලංකා පොලිසිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව චෙම්මනී සමූහ මිනීවළ සමඟ සෘජු සම්බන්ධයක් ඇතැයි සැකයක් පවතින බැවින්, පොලිස් නිලධාරීන් විමර්ශනයට සම්බන්ධ වී සිටීම මෙහි පරීක්ෂණවලට හානිකර වේ යැයි ද සඳහන් කර ඇත. එවැනි අගතියක් සිදුවීම වළක්වාගැනීමට නම් රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකරන බරපතළ අපරාධ විමර්ශනය සඳහා කාර්යාලයක් ස්ථාපිත කළ යුතු බවට ද මානව හිමිකම් කොමිෂම පෙන්වා දී ඇත.

මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ලබා දී ඇති නිර්දේශ

1. නීතිඥවරුන් සහ සිවිල් සමාජ නියෝජිතයින් ඇතුළු අදාළ සියලුම විශේෂඥයින් සමඟ සමීප සාකච්ඡා පවත්වමින්, සමූහ මිනී වළවල් ඇති ස්ථාන සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටියක් ගොඩනැගීම

2. චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ විමර්ශනයට සම්බන්ධ අතුරුදන් වූවන් පිලිබඳ කාර්යාලය සහ සියලුම රාජ්‍ය නිලධාරීන් සමග සමීපව කටයුතු කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ කේන්ද්‍රීය නිලධාරියෙක් පත් කරන්න.

3. අදාළ ප්‍රදේශයේ තවත් මිනිස් අවශේෂ ඇත්දැයි වඩාත් පුළුල් ලෙස ඇගයීම සඳහා සමූහ මිනී වළ ඇති ස්ථානයේ මෙන් ම ඒ අවට ද පුළුල් ප්‍රදේශයක් පරීක්ෂා කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පොළව විනිවිද යන රේඩාර් (GPR) උපකරණ භාවිතය සඳහා අවශ්‍ය සම්පත් ලබා දීමට කඩිනම් පියවර ගන්න.

4. පුරාවිද්‍යා පර්යේෂණ කණ්ඩායම් වැනි ප්‍රමුඛ මානව සම්පත් ලබාගැනීමේදී සහ එවැනි සම්පත් වෙන් කිරීමේදී චෙම්මනි හි විමර්ශනය සම්පූර්ණ කිරීමට ප්‍රමුඛතාවය ලබා දීමට පියවර ගන්න.

5. සමූහ මිනී වළවල් කිහිපයක් ආශ්‍රිතව කැණීම් කටයුතු කිරීමට සහ (වළදමා ඇති දෑ) ගොඩගැනීමට අවශ්‍ය විටක සහාය වීමට හැකි පුරාවිද්‍යා විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් ගොඩනගන්න.

6. මෙම මිනිස් අවශේෂවලින් ලබා ගත් DNA සාම්පල විශ්වසනීයව සහ ස්වාධීනව විශ්ලේෂණය කිරීම සඳහා අදාළ විශේෂඥ්‍යතාව සහ තාක්ෂණික පහසුකම් විදේශයන්ගෙන් ද ඇතුළුව ලබාගන්න.

7. අතුරුදන් වූ පුද්ගලයින්ගේ පවුලේ සාමාජිකයින්ගේ DNA සාම්පල ස්වේච්ඡාවෙන් ලබාගෙන අනාගත සංසන්දනය කිරීමේ කටයුතු සඳහා ආරක්ෂිතව ගබඩා කළ හැකි ‘DNA බැංකුවක්’ ඇති කිරීමට පියවර ගන්න.

8. චෙම්මනි හි සමූහ මිනීවළෙන් සොයාගත් මිනිස් අවශේෂ විශ්වසනීයව සහ ස්වාධීනව කාල නිර්ණය කිරීමේ කටයුතු සඳහා, විශේෂයෙන්ම 14C කාබන් කාලනිර්ණ ක්‍රමය භාවිතා කිරීමට, විදේශයන්ගෙන් අදාළ විශේෂඥතාව සහ තාක්ෂණික පහසුකම් ලබාගන්න.

9. සමූහ මිනී වළවල් පිළිබඳව ශ්‍රී ලංකාවේ සිදුවන අනෙකුත් සියලු ම විමර්ශන සම්බන්ධයෙන් ද ඉහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න.

10. ආරක්ෂක හමුදා සාමාජිකයින් හෝ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් සිදු කළා යැයි චෝදනා එල්ල වී ඇති බලහත්කාරයෙන් සිදුකළ අතුරුදහන් කිරීම් සහ නීති විරෝධී ඝාතන ඇතුළු සිදුවීම් විමර්ශනය කිරීමට සහ වැරදිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පුළුල් බලතල සහිත ස්ථිර, ස්වාධීන “රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකර ඇති බරපතල අපරාධ විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සඳහා වන කාර්යාලයක්” පිහිටුවීමට පියවර ගන්න.

11. දැනට ක්‍රියාත්මක ඕනෑම විමර්ශනයක් අතරතුර දී අදාළ නොවන සහ එදිරිවාදී ප්‍රශ්න කිරීම් නොකිරීම ද ඇතුළුව, ඕනෑම රාජ්‍ය නිලධාරියකු හෝ අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුලේ සාමාජිකයන් බිය ගැන්වීමෙන් වළකින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් නිකුත් කරන්න.

12. විමර්ශනයක් පවත්වන විටක දී, ප්‍රකාශයක් ලබා දීමට පුද්ගලයෙකු කැඳවන හේතුව එම පුද්ගලයාට පැහැදිලිව දැනුම් දීම සඳහා 2025 ජූලි මස 02 දිනැති පොලිස්පති විසින් නිකුත් කළ RTM 101/CRTM 61 චක්‍රලේඛයට අනුවම කටයුුතු කරන්න.

13. නිශ්චිත වරදක් සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින පැහැදිලි අවස්ථාවන්හි දී හැර, චෙම්මනි හි සමූහ මිනීවළ පිළිබඳ විමර්ශනය ආවරණය කරන මාධ්‍යවේදීන් කැඳවීමට විමර්ශන බලතල අනිසි ලෙස භාවිතා කිරීමෙන් වළකින ලෙසත් ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ටාසය වෙත උපදෙස් නිකුත් කරන්න.

14. ඕනෑම රාජ්‍ය නිලධාරියෙකු, සිවිල් සමාජ නියෝජිතයකු, හෝ අතුරුදන් වූ පුද්ගලයකුගේ පවුලේ සාමාජිකයකු සම්බන්ධ කර ගැනීම ද ඇතුළුව, චෙම්මනි හි සමූහ මිනීවළ සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට ඕනෑම ආකාරයකින් සම්බන්ධ වීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන්ට පැහැදිලි නියෝග නිකුත් කරන්න.

15. වෝහාරික මානව විද්‍යාව පිළිබඳ විශේෂඥතාවක් ලබා ගන්නා වෛද්‍ය සිසුන්ට අදාළ වර්තමාන පුහුණු අවශ්‍යතා සමාලෝචනය කිරීමට පියවර ගන්න. එසේම මෙම විෂයට අදාළ විදේශ පුහුණු කාලය රාජ්‍ය අරමුදල් සහිතව වසරකට පමණක් සීමා කිරීම සම්බන්ධයෙන් සලකා බලන්න.

15. විශ්වවිද්‍යාල පද්ධතිය හරහා වෝහාරික පුරාවිද්‍යාව පිළිබඳ දේශීය විශේෂඥතාව දිරිගැන්වීම සහ වර්ධනය කිරීම සඳහා සැලැස්මක් සකස් කරන්න

16. සායනික ජාන විද්‍යා ඒකකයක් ඇති කිරීම සඳහා යාපනය විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කර ඇති අත්‍යවශ්‍ය රසායනාගාර උපකරණ නිදහස් කිරීම සඳහා වැට් බද්දෙන් නිදහස් කිරීමේ නිවේදනයක් ශ්‍රී ලංකා රේගුවට නිකුත් කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම සලකා බැලීම.

-Advertisement-

බැංකුවෙන් තෑගි දෙන කතාව බොරුවක්

0

බැංකු මගින් ත්‍යාග ලබා දෙන පවසමින් සංසරණය වන පණිවිඩ සඳහා තම පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

පුද්ගලික තොරතුරු සොරා ගැනීමේ අරමුණින් නිර්මාණය කර ඇති එම පණිවිඩ වංචනික සහ ඉතා භයානක ස්කෑම් පණිවිඩ බව ද පොලිසියේ පරිගනක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ජංගම දුරකථන මගින් බැංකු කටයුතු සිදු කරන පුද්ගලයින් මෙවැනි ව්‍යාජ පණිවිඩ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

-Advertisement-

සමාජ මාධ්‍යයට නේපාලය කළ දේ, ශ්‍රී ලංකාවේත් කළ හැකියි

0

නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් අනුව සැප්තැම්බර් 04 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නේපාල රජය විසින් ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම්, වට්ස්ඇප්, සිග්නල් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා සහ සන්නිවේදන යෙදුම් 26ක් අවහිර කර තිබේ.  

නිවේදනයක් නිකුත් කරමින් නේපාල සංනිවේදන සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය සදහන් කරන්නේ එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග සහ ඊට අදාළ නිර්දේශ අනුව යමින් රජය විසින් මෙම සමාජ මාධ්‍ය සහ සංනිවේදක ජාලා 26 තහනම් කිරීමට පියවර ගත් බවයි.

ඒ අනුව Facebook, Instagram, Messenger, YouTube, X, Reddit, LinkedIn, WhatsApp, Discord, Pinterest, Signal, Threads, WeChat, Quora, Tumblr, Clubhouse, Rumble, Line, Imo, Jalo, Sol, Hamro, Patro, Mi Video, Mi Vike3 යන නේපාලය තුළ ක්‍රියාත්මක වූ සමාජ සහ පණිවිඩ හුවමාරු ජාලා තහනම් කර අවහිර කරනු ලැබ ඇත.

මෙම කරුණ සම්බන්ධයෙන් නීතිඥ ආචාර්ය විරංජන හේරත් සිය ෆේස්බුක් පිටුවේ මෙලෙස විස්තර කර තිබිණි.

මෙම අවහිර කිරීම සිදුවූයේ අද දිනයේ වුවත් ඊට අදාළ මූලික පියවරයන්ගේ ඉතිහාසය 2020 තරම් ඈතට දිවයනවා. 2020 දෙසැම්බර් මාසයේ දී නේපාලයේ නීතිඥවරුන් දෙදෙනෙකු වන බී පී ගෞතම් සහ අනිතා බජ්ජෙයින් රිට් පෙත්සමක් ගොනු කරමින් නියාමනයට යටත් නොවන සියලුම විකාශන මාධ්‍ය තහනම් කරන ලෙසත් ඊට නේපාලය තුළ ක්‍රියාත්මක විදේශ රටවල ලියාපදිංචි සමාජ මාධ්‍ය ජාලා ද ඇතුළත් විය කරන ලෙසත් ඉල්ලා සිටියා. මෙම පෙත්සමෙන් අනතුරුව තවත් සංවිධාන හා පුද්ගලයන් ගණනාවක් එම තේමාව යටතේම ඒ හා සමාන ඉල්ලීම් සදහන් කරමින් තවත් රිට් පෙත්සම් ගණනාවක් ගොනු කරනු ලැබුවා.

එම පෙත්සම්වලට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළ ප්‍රසාද් දුන්ග්ගානා සහ ශාන්ති සිං තාපා යන නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල එරට ආණ්ඩුව වෙත නියෝග කළේ අන්තර්ගතයන් සහ දැන්වීම් පළ කිරීමට ඉඩකඩ සපයන , නේපාලය තුළ ක්‍රියාත්මක සියලුම දේශිය හ විදේශිය සමාජ ජාලා එරට තුළ වහාම ලියාපදිංචි කළ යුතු බවයි. එහිදී පැමිණිලි භාර ගැනීමට ආයතනයක් ස්ථාපිත කිරීම, දේශියව වගකිය යුතු නිලධාරියෙකු පත් කිරීම අවශ්‍යතා ඉටුවිය යුතු බව ද අධිකරණය සදහන් කරනු ලැබුවා.

නේපාල ශ්‍රේෂ්ඨාධිකරණයේ එම නියෝගය අනුව යමින් නේපාල රජය විසින් සමාජ ජාලා සමාගම් වෙත දැනුම් දුන්නේ, සතියක් ඇතුළත ලියාපදිංචිය සහ සෙසු ක්‍රියාමාර්ගවලට අදාළ පියවර ගන්නා ලෙසයි. එහිදී TokTok, Viber, Wetalk, Nimbuzz, යන සමාජ ජාලා මූලික එකගතාවය පළ කර අදාළ පියවර ගත් අතර Telegram, Global Diary, යන වේදිකා ද ඊට එකගතාවය පළ කළා. එහෙත් මුලින් සදහන් කළ වේදිකා 26 සිදුකළේ එය ප්‍රතික්ෂේප කිරීම හෝ නොසළකා හැරීමයි.

එහි ප්‍රතිඵලයක් ලෙස නේපාල රජය සැප්තැම්බර් 04 මධ්‍යම රාත්‍රියේ සිට අදාළ වේදිකා 26 තහනම් කර අවහිර කරනු ලැබුවා. ඒ අනුව වීපීඑන් ඔස්සේ මිස පිළිගත් සෙවුම් යෙදවුම් හරහා අදාළ වේදිකා 26 වෙත පිවිසීම කළ නොහැකි බව සදහන්.

කෙසේවෙතත් , මේ සම්බන්ධයෙන් මේ වන විට නේපාලය තුළ බලවත් කැලඹීමක් හටගෙන තිබෙනවා. මෙය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සීමා කිරීමක් ලෙසට දැනටම චෝදනා නැගෙනවා. මෙම තහනම සමග සමාජ ජාල වේදිකා ඔස්සේ සිදුකළ ව්‍යාපාරික කටයුතු බිද වැටෙනු ඇති බවටත්, විදේශගත නේපාල වැසියන්, රට තුළ සිටින ඔවුන්ගේ ඥාතීන් සමග පණිවිඩ හුවමාරු කරගැනීම බිද වැටෙනු ඇති බවටත් බිය පලව තිබෙනවා.

කෙසේවෙතත් නේපාල රජය සදහන් කරන්නේ අන්තර්ජාල වේදිකා වෙනුවෙන් තම රට තුළ නිපදවන මෙන්ම රට තුළ බෙදාහරින අන්තර්ගතයන් සම්බන්ධයෙන් නියාමන ක්‍රමවේදයක් පැවතීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.අදාළ සමාගම් ලියාපදිංචි කොන්දේසි සපුරනු ලැබූ වහාම මෙම තහනම අහෝසි කිරීමටත් අවහිරතා ඉවත් කිරීමටත් කටයුතු කරන බව නේපාල රජය අවධාරණය කරනවා.

මෙම තහනමේ සාර්ථකත්වය, ප්‍රතිඵල සහ අනාගතය කුමක් වුවත් නේපාලයේ මෙම පියවර සමාජ ජාලා සමාගම් පවත්වාගෙන යන දැවැන්ත විදේශ තාක්ෂණ සමාගම් සමග හැප්පී බැලීමේ ලිට්මස් පරීක්ෂාවක් ලෙස හැදින්වීමෙි වරදක් නැහැ.

මෙම තාක්ෂණ සමාගම් දේශියව ලියාපදිංචි විය යුතුය යන්න ලෝකයේ රටවල් රැසක් විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසියක්.එහිදී අදාළ සමාගම් ගෝලීය උතුරේ බලවත් රටවලට එක හැන්දකිනුත් ගෝලීය දකුණේ දුබල රටවලට එක හැන්දකිනුත් බෙදන බව ප්‍රචලිත කරුණක්.ඒ අනුව යුරෝපය ඇතුළු රටවල් රැසක කාර්යාල පිහිටුවමින් , පැමිණිලි යාන්ත්‍රණ ඇති කරමින්, අදාළ රටවල දේශිය නීතියට අනුගත වීමට මෙම සමාගම් පියවර ගෙන තිබෙනවා.

දකුණු ආසියාවේ රටවල් අතරින් අදාළ සමාගම් වෙත මෙම කොන්දේසිය මුලින්ම ඉදිරිපත් කළේ ඉන්දියාවයි.ඒ 2000 වර්ෂයේ දී ඉදිරිපත් කළ තොරතුරු තාක්ෂණ පනත යටතේයි. මෙම සමාගම්වලට ඉන්දියාව තුළ ඇති දැවැන්ත වෙලෙදපල හේතුවෙන් ඔවුන් එම කොන්දේසියට වහාම අවනත වූ අතර ඒ අනුව මෙම සියලු සමාජ ජාලා ඉන්දියාව තුළ ලියාපදිංචි වී, කාර්යාල පිහිටුවා, පැමිණිලි යාන්ත්‍රණද ස්ථාපිත කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම සමාගම් ඉන්දියාවට බෙදූ හැන්දෙන් දකණු ආසියාවේ අනෙක් රටවලට සැලකුවේ නැහැ. පකිස්තානය 2016 ඉලෙක්ට්‍රොනික් අපරාධ වැළැක්වීමේ පනත යටතේත්, ශුී ලංකාව 2024 මාර්ගගත ආරක්ෂණ පනත යටතේත් අදාළ සමාගම්වල දේශිය ලියාපදිංචිය නෛතික අවශ්‍යතාවයක් බවට පත් කළත් මෙම සමාගම් ඊට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වුයේ නැහැ.

එම පසුබිම යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මත, නේපාලය ගත් මෙම පියවර ආන්දෝලනාත්මක වනවා පමණක් නොව ගෝලීය දකුණේ කුඩා රටවල් දැවැන්ත සමාජ ජාල සමාගම් හරහා හැප්පී බැලීමේ ලිට්මස් පරීක්ෂාවක් බව ද සදහන් කළ යුතුයි. එහි ප්‍රතිඵලය සමාජ ජාලා සමාගම්වලට , ගෝලීය දකුණේ දුබල රටවලට සහ ඒවායේ වැසියන්ට ද තීරණාත්මක වනු ඇති.

-Advertisement-

මාරක අනතුරට මොහොතකට පෙර රියදුරා කී කතාව

0

ඇල්ල වැල්ලවාය මාර්ගයේ දී ඊයේ (04) රාත්‍රී 15 දෙනකුට මරු කැඳවිමින් අනතුරට පත්වූ බස් රථයේ රියදුරා අවසන් මොහොතේ බස් රථයේ තිරිංග ක්‍රියා නොකරන බව කීවේ යැයි තුවාල ලැබූවෙකු පවසයි.

බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අයකු පවසන්නේ මෙවැනි කතාවකි.

“මම හිටියේ බස් එකේ ඉස්සරහා බොනට් එක ළඟ. රියදුරා පැත්තට පැත්තට බස් එක අරගෙන එක පාරටම කිව්වා බ්‍රේක් නෑ කියලා. එතකොට මමත්, කොන්දොස්තරත් අනෙක් අයත් එයාට හිනා වුණා. රියදුරා එතකොට කිව්වා බොරුවක් නෙවෙයි ඇත්තටම බ්‍රේක් නෑ කියලා. මේ කතාව කියලා පොඩි වෙලාවකින් බස් එක පල්ලමට ගියා. මට සිහිය නැති වෙලා සිහිය එනකොට පොඩි ළමයෙක් කෑ ගහනවා ඇහුණා. මම එතැනට බඩ ගාගෙන ගිහින් උදව් ඉල්ලුවා”

-Advertisement-

ඇල්ලේ අනතුරින් මියගිය අය මෙන්න

0

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 කණුව අසළ දී ඊයේ (04) රාත්‍රී 8.45ට පමණ සිදු වූ බස් අනතුරින් මියගිය පිරිිස අතර තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ.රූපසේන ඇතුළු සේවකයන් 12 දෙනකු, බස් රථයේ රියදුරු  සහ දරුවන් දෙදෙනකු ද සිටින බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

බස් රථය අඩි 500ක් පමණ ප්‍රපාතයේ රැඳී ඇති අතර එහි සුන්බුන් ගොඩට ගැනීමට මේ වනවිට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටියි.

-Advertisement-

ඇල්ලේ අනතුරින් මියගිය ගණන 15ක්

0

ඇල්ල වැල්ලවාය මාර්ගයේ දී ඊයේ (04) රාත්‍රී සිදු වූ අනතුරින් 15 දෙනකු මියගොස් 18 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අනතුරට පත්වූයේ විනෝද චාරිකාවක ගොස් ආපසු යමින් සිටි තංගල්ල නගර සභා සේවකයන් පිරිසක් රැගත් බස් රථයකි. එම බසය රාවණ ඇල්ල ආසන්න 24 වැනි සැතපුම් කණුව ආසන්නයේ දී මාර්ගයේ ගමන් ගත් ජීප් රථයක ද ගැටී ප්‍රපාතයට පෙරැළී ඇත.

මියගිය පුද්ගලයන් අතර කාන්තාවන් 09 දෙනකු සහ පිරිමි පුද්ගලයන් 06 දෙනකු සිටින අතර, කාන්තාවන් 07 දෙනකු සහ පිරිමි පුද්ගලයන් 11 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. රෝහල්ගත කර ඇති අය අතර ළමුන් 05 දෙනකු ද සිටින බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

අනතුරට පත් වූ පුද්ගලයින් මුදාගැනීම සඳහා පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව, ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසින් දැඩි උත්සාහයක් ගෙන තිබිණි.

-Advertisement-

ඇල්ලේ දී බසයක් අඩි 500ක් පෙරැළේ. තංගල්ල නගර සභා කාර්ය මණ්ඩලය අනතුරේ

0

ඇල්ල වැල්ලවාය පාරේ රාවණ ඇල්ල ආසන්නයේ කිලෝ මීටර 24 කණුව අසළ දී බසයක් අඩි 500ක පමණ ප්‍රපාතයට පෙරැළී කිහිප දෙනකු මියගොස් ඇත.

ප්‍රදේශවාසීන් පවසන්නේ ඇල්ලේ විනෝද චාරිකාවක පැමිණි තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩලයේ පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

ප්‍රදේශවාසීන් පවසන්නේ බස් රථය කිරිඳිඔය දක්වාම පෙරැළී ඇති අතර බසයෙන් විසිවී ගිය පුද්ගලයන් සොයමින් ඔවුන් ඉහළ මාර්ගයට රැගෙන එන බවයි. බරපතල තුවාල ලැබූ 10 දෙනකු මේ වනවිට බදුල්ල මහ රෝහල වෙත ගෙන යමින් සිටින බවත් මියගිය පුද්ගල සිරුරු දෙකක් හමු වී ඇති බවත් එම ස්ථානයේ සිටිි අයකු කීවේ ය.

අනතුරට පත්වූ පිරිස අතර කුඩා ළමුන් කිහිප දෙනකු ද සිටින බව පැවසේ.

-Advertisement-

ආණ්ඩුවේ දෙබිඩි කතා, චීන සමුළුවෙන් එළියට පනී

0

චීනයේ ආරම්භ වූ ෂැංහයි සහයෝගීතා සමුළුවට ශ්‍රී ලංකාවෙන් කිසිවෙකුත් සහභාගී නොවීම සම්බන්ධයෙන් මෙරට රජය අවස්ථා දෙකක දී මත දෙකක් ඉදිරිපත් කර තිබේ.

මෙවර 25 වැනි වතාවට සැප්තැම්බර් 01 වැනි දා ආරම්භ මෙම සමුළුවට ශ්‍රී ලංකාවේ නියෝජනයක් නොතිබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයන් මත ප්‍රකාශ කළ අතර ඒ පිළිබඳ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් ද මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.

එම අවස්ථාවේ දී අමාත්‍යවරයා සඳහන් කළේ ෂැංහයි සමුළුවට සහභාගීවන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා ලැබුණ ද කාර්ය බහුලත්වය නිසා ඊට සහභාගී වීමට නොහැකි වූ බවයි. ඉතාමත් ආසන්නදිනවල දී වෙනත් විදේශ සංචාර කිහිපයක් ද ජනාධිපතිවරයාට ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම කරුණ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය විදේශ කටයුතු අමාත්‍යාශයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රුද්‍රිගුගෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කර ඇත්තේ එම සමුළුවට ශ්‍රී ලංකාවට ආරාධනාවක් නොලැබුණු බවයි. ඔහු වැඩිදුරටත් මෙසේ ද කියා ඇත.

“අපිට ආරාධනා නොලැබුණු නිසා කිසිවෙකුත් එම සමුළුවට සහභාගී වුණේ නෑ. චීනය ආරාධනා කළේ නැත්තේ අපිත් එක්ක පවත්වන සම්බන්ධතා පළුදුවීමක් නිසා නොවෙයි. අපේ රටත් චීනයත් අතර හොඳ සම්බන්ධතාවක් පවතිනවා. ජනාධිපතිතුමාත් චීනයට ගියා. දැන් ලබන මාසේ අගමැතිතුමියත් චීනයේ සංචාරයක නිරත වෙන්න නියමිත යි. චීනය කාලෙන් කාලෙට ඔවුන්ගේ උපාය මාර්ගික සබඳතා අලුත් කර ගන්නවා විවිධ රටවල් එක්ක. අපි එක්ක කොහොමත් හොඳ සබඳතා පවත්වන නිසා ඔවුන් මේ සමුළුවට වෙනත් රටවලට ආරාධනා කරන්න ඇති.”

විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක පැවසූ ආරාධනා නොලැබුණු කතාව බීබීසී මාධ්‍යවේදිනියක් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසූ විට ඔහු පැවසුවේ ඒ ගැන තමන් දැනුම්වත් නැති බවයි.

ෂැංහයි ෆයිව් ලෙස මෙම සමුළුව මුළින්ම ආරම්භ වී ඇත්තේ 1996 වර්ෂයේ දී ය. ඒ වනවිට එම සමුළුවට චීනය, රුසියාව, කසකස්තානය, කරිගිස්තානය සහ තජිකිස්තානය සම්බන්ධ වී තිබිණි. 2001 වර්ෂයේ දී එය සහයෝගීතා සංවිධානයක් බවට පත්වූ අතර උස්බෙකිස්තානය ද ඊට එකතුවිය. පසුව ඉන්දියාව, පකිස්තානය, ඉරානය සහ බෙලරූස් ද මේ සංවිධානයට ඇතුළත් වූ බැවින් මේ වනවිට සාමාජික රටවල් සංඛ්‍යාව 10කි.

මෙම සහයෝගීතාවය තුළ මොංගෝලියාව සහ ඇෆ්ගනිස්තානය නිරීක්ෂණ රාජ්‍යයන් දෙකක් ලෙස අක්‍රිය තත්වයේ කටයුතු කරන අතර සංවාද හවුල්කාර රටවල් 14ක් ද වෙයි.

එම රටවල් 14 අතර ශ්‍රී ලංකාව ද සිටින අතර, තුර්කිය, කාම්බෝජය, අසර්බයිජානය, නේපාලය, ආර්මේනියාව, ඊජිප්තුව, කටාර්, සෞදි අරාබිය, බහරේන්, කුවේට්, මියන්මාරය, මාලදිවයින සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අනෙකුත් සංවාද හවුල්කරුවන් වෙයි.

භූගෝලය අනුව මෙන්ම ජනගහනය අනුව ද ෂැංහයි සහයෝගීතාව ලොව විිශාලතම කලාපීය සංවිධානය වන්නේ යුරේසියානු භූමියෙන් 80%ක් ම මෙම රටවලට අයත් බැවිනි. එමෙන් ම ලෝක ජනගහනයෙන් 40%ක් පමණ එම රටවල ජීවත් වන බැවින් මෙය ජනගහනය අනුව ද ලොව විශාලතම සහයෝගීතාව බවට පත්ව ඇත.

-Advertisement-