උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වන “දෙනුවර මැණිකේ” දුම්රිය ධාවනය අද (28) දින සිට ධාවනය නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ ආසන වෙන්කර ධාවනය කරනු ලබන මෙම දුම්රියේ ආසන වෙන්කිරීම ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඒ අනුව අද (28) කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන 1001 දරන දෙනුවර මැණිකේ දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා හෙට (29) ධාවනය වන අංක 1002 දරණ දෙනුවර මැණිකේ දුම්රිය නැවත දැනුම් දෙනතුරු නතර කර ඇත.
මෙම දුම්රියේ ගමන් කිරීමට කලින් ආසන වෙන්කරගන්නා ලද මගීන් සඳහා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1005 දරණ පොඩි මැණිකේ දුම්රිය මගින් සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1006 දරණ පොඩි මැණිකේ දුම්රිය මගින් ගමන් පහසුකම් සලසා දීමට සැළසුම් කර ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.