spot_img
spot_imgspot_img

ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියන 100 ඉක්මවයි

පුවත්

විදෙස්

ලොවපුරා මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව මිලියන 100 ඉක්මවා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ලෝක ජනගහනයෙන් 1.3%කට ආසන්න ප්‍රමාණයකට මේ වනවිට කොවිඩ් – 19 රෝගය ආසාදනය වී තිබේ.

කෙසේවුවද මෙතෙක් වාර්තා වී ඇති 100,881,388ක් පමණ වූ රෝගීන්ගෙන් 72,926,260ක් සුවය ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට ලොවපුරා රෝගීන් මිලියන 2.1කට වැඩි පිරිසක් කොරෝනා රෝගයෙන් මියගොස් ඇත.

ලෝකයේ කොරෝනා රෝගීන් මුල් මිලියන 50 වාර්තා කිරීමට මාස 11ක් ගතවී ඇති අතර එය මිලියන 100 දක්වා දෙගුණ වීමට ගතවී ඇත්තේ මාස තුනකි.

රොයිටර් පුවත් සේවය පවසන්නේ සෑම තත්පර 7.7කට වරක් ලෝකයේ එක් පුද්ගලයෙක් කොරෝනා ආසාදිතයෙකු බවට පත්වන බවයි.

ලෝකයේ දිනකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 668,250ක පමණ අගයක් ගන්නා අතර ගෝලීය මරණ අනුපාතය 2.15%කි.

ලෝකයේ මෙතෙක් ලෝකයේ වාර්තා වී ඇති රෝගීන්ගෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය, රුසියාව හා බ්‍රිතාන්‍යය යන රටවලින් වාර්තා වී ඇත. කෙසේ වුවද රොයිටර් විශ්ලේණය පවසන්නේ මෙම රටවල් නියෝජනය කරන්නේ ලෝක ජනගහනයෙන් 28%ක් පමණක් බවයි.

ලොවපුරා රටවල් 56ක් මේවනවිට කොරෝනා සඳහා එන්නත් කිරීම ආරම්භ කර තිබේ. අවම වශයෙන් මේවනවිට ලෝකයේ එන්නත් මාත්‍රා මිලියන 64ක් ලබා දී ඇත.එන්නත්කරණයේදී ඊශ්‍රායලය ලොව ඉදිරියෙන්ම සිටින අතර එහි ජනගහනයෙන් 29%ට අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාදී තිබේ.

ලොව වැඩිම රෝගීන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව වාර්තා කර ඇති ඇමරිකාවේ මේ වනවිට තහවුරු කර ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 25ක් පමණ වේ. ලෝකයේ මේවනවිට වාර්තා වන සෑම මරණ පහකින් එකක්ම ඇමරිකාවෙන් වාර්තා වෙයි. ඇමරිකාවේ සිදුවී ඇති මරණ සංඛ්‍යාව 425,452කි. එය දෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා කරන බ්‍රසීලයේ අගය මෙන් දෙගුණයක් බවද රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි. 

ලෝකයේ දරුණු ලෙස බලපෑමට ලක්වූ කළාපය වන යුරෝපයේ මේ වනවිට සෑම දින හතරකට වරක් නව ආසාදන මිලියනයක් වාර්තා කරයි. යුරෝපයේ මේ වනවිට වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 30කට ආසන්න වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!