ශ්‍රී ලංකා ඉතිහාසයේ නොමැකෙන මතකයක් රැන්දූ ස්ථානයක් වන මාවිල්ආරු සොරොව්ව ආසන්න ප්‍රදේශය අදින් වසර 15කට පමණ පෙරාතුව කොටින්ගේ රජ දහනක් විය.
වර්තමාන සෝමාවතිය රක්ෂිතයට අයත්වන මේ සොරොව්ව ප්‍රදේශයේ පිහිටි ”පන්සල් කන්ද” නමින් හැඳින්වෙන තරමක් උසැති ප්‍රදේශයේ පැරණි බෞද්ධ විහාරස්ථානයක නටඹුන් පිහිටි බව ගැමියෝ දැන සිටියහ. ඒ අවට කොටි ත්‍රස්තවාදීන්ගේ කඳවුරු පිහිටි බැවින් ගැමියන් එහි ගියේ නැත. කොටි මේ ප්‍රදේශයේ සිට මාවිල්ආරු සොරොව්ව අල්ලාගෙන එය වසා දැමීමන් පසු යුද්ධය අවසන් වීමේ සටන් ඇරඹිනි. මාවිල්ආරු අල්ලාගෙන සිටි කොටි තොප්පිගලට පැන යද්දී ඔවුන්ගෙ කඳවුරු ද විනාශ කෙරිණි.
ගැමියන් ද යුද්ධය අවසන් වූ පසු තම සුපුරුදු ගොවිතැන් ආරම්භ කර සාමාන්‍ය දිවියට පුරුදු වූව ද වනයේ පිහිටි පන්සල් කන්ද රක්ෂිත ප්‍රදේශයට ගියේ නැත. එහි ඉඳ හිට ගියේ මී කඩන්නට කැලෑ වදින අයකු පමණි. නමුත් මේ පන්සල් කන්දේ ගල් කණු, කොරවක්ගල්, මුරගල් සහ සඳකඩපහන ආදී නටඹුන් රැසක් විසිරී පවතින බව ගැමියෝ දැන සිටියහ.
මේ අතර පසුගිය දා සෝමාවතිය රක්ෂිතයේ ඇති බිම් බෝම්බ ඉවත්කිරීමට අවශ්‍ය බව පවසමින් විදෙස් සංවිධානයක නියෝජිතයන් පිරිසක් වනයට ඇතුළු වූයේ බැකෝ යන්ත්‍ර ද රැගෙනය. ඔවුහු වනයේ තැන තැන රතු පැහැයෙන් සලකුණු කළ කෝටු සිටුවා අනතුරු දායක පෙදෙස් සලකුණු කර වනයේ බැකෝ යන්ත්‍ර යොදා ගස් පෙරළා පාරවල් කපා ඇත්තේ අක්කර ගණන් විශාල ඉඩමක් සංවර්ධනය කර කැබලි කර විකුණන ආකාරය සිහිගන්වමිනි.
ඔවුන් එතැනින් නතර කර නැත. මහ වනය මැද තිබූ පන්සල් කන්දේ නටඹුන් සහිත ස්ථාන ද ඩෝසර් කර ඇත්ත් කොරවක්ගල්, ගල් කණු මෙන්ම තැන තැන විසිරී තිබුණු ගඩොල් හා ගල් කැබලි ද දෙපසට කරමිනි. දැන් එම පුරාවිද්‍යා භූමිය යකුන් නැටූ සොහොන් පිටියක් වැනිය.
මෙහි පුරාවස්තු විනාශ කර ඇතැයි දැනගත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යලයේ නිලධාරීන් පිරිසක් එම හානිය ගැන සේරුනුවර පොලිසියට ද පැමිණිලි කර තිබේ. ඒ අනුව පොලිසිය දැන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
ත්‍රිකුණාමලය මඩකලපුව පාරේ අලිඔලුව හන්දියෙන් හැරී කන්තලේ දෙසට දිවෙන මාර්ගයේ සිට මාවිල්ආරු සොරොව්ව දෙසට යන පාරේ ගොස් සෝමාවතී රක්ෂිතයට ඇතුළු වූ විට සෝමාවතිය රක්ෂිතයේ අතහැර දැමූ පැරණි කුඹුරු යායක් හමුවෙයි. මේ කුඹුරු යාය පසුකර ගිය විට පුරාවස්තු සහිත මෙම පන්සල් කන්ද නමැති භූමිය හමුවෙයි. ඒ දෙසට යනවිට කුඹුරු යායේ යම් කිසි පිරිසක් විසින් පස් බැම්මක් ඉදිකර ඇති ආකාරයත්, ඉන් අනතුරුව මාර්ග පද්ධතියක් මෙන් ගස් පෙරළා ඩෝසර් කර ඇති ආකාරයත් පැහැදිලිව දක්නට ලැබෙයි. ගැමියන් පවසන්නේ ඇතැම් විට බිම් බෝම්බ සොයන බව පවසමින් පැමිණි වෙනත් පිරිසක් විසින් මේ විනාශය කරන්නට ඇති බවයි.
පුරාවිද්‍යා නිලධාරීන්ගේ අදහස වී ඇත්තේ මෙම පුරාවිද්‍යා ස්ථානයට හානි සිදුවන ආකාරයෙන් බිම් බෝම්බ ඉවත්කිරීමට එම කාර්යය කරගෙන යන රාජ්‍ය නොවන ජාත්‍යන්තර ආයතනයට කිසිදු අවශ්‍යතාවක් නැති බවයි. කෙසේ වෙතත් පුරාවස්තු සියල්ල පෙරලා දමා ඒවා තැන තැන විසුරුවා ඇති අතර එම ස්ථානයේ පිහිටි කොරවක්ගල්, සඳකඩපහන, ගල්කණු, පෙති උළු හා පැතලි ගඩොල් ඒ මේ අතට තල්ලුකර දමා තිබේ.
එතැන ඇති විශාල ගසක් යට පෙති උළු කැබලි දෙකක් තබා පහනක් දල්වා ඇති ආකාරය ද අප එහි ගිය බදාදා සවස ද දක්නට ලැබිණි. ගිනි පෙට්ටියක් පවා එහි තිබිණි. මෙය කිසියම් පිරිසක් මෙතැන පූජාවක් පැවැත්වූ බවට සළකුණක් වීමට ද පුළුවන.
කෙසේ වෙතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බෝම්බ ඉවත්කරන කණ්ඩායම විදේශීය නිරීක්ෂකයන් හා දේශීය පුහුණු ශ්‍රමිකයන් යොදාගෙන එම කාර්යය සිදුකළ ද දේශීය සේවකයන් බොහොමයක් බෞද්ධාගමිකයන් නොවන බැවින් ඔවුන්ට මෙවැනි නටඹුන් ස්ථානවල වැදගත් කම ගැන හැඟීමක් නොමැති බවයි. එබැවින් මෙලෙස බැකෝ යන්ත්‍ර එම නටඹුන් මතින් ක්‍රියාකවරන්නට ඇති බව ද ඔවුහු කියති.
සැබැවින් ම මේ කාර්යය සිදුකළේ බිම් බෝම්බ ඉවත්කරන කණ්ඩායම් තම රාජකාරිමය අවශ්‍යතාවක් සඳහා නම් ඩෝසර් භාවිතා කළේ එවැනි දෙයක් සඳහා නම් ඒ බව ඊට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් වැනි නිලධාරීන් දැනුම්වත් කිරීම අත්‍යාවශ්‍ය බව ද පුරාවිද්‍යා නිලධාරීන් පවසයි. නමුත් එවැනි දැනුම් දීමක් සිදුකර නැත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඩොසර් කර පුරාවිද්‍යා ස්ථානයක් විනාශ වී ඇතැයි දැනගත් වහාම තමන් එම ස්ථානයට ගිය ද එතැන සිටි බෝම්බ ඉවත්කරන සේවකයන් පැය හතරක් පුරා කිසිදු නිලධාරියකුට එම ස්ථානයට ඇතුළුවීමට ඉඩ නොදුන් බවයි.
මෙහි දක්නට ඇති පුරාවස්තුවල ඇති කැටයම් සහ ඒවා නිර්මාණ කර ඇති ආකාරය අනුව මෙතැන මධ්‍ය අනුරාධපුර යුගයේ ඉදිවූ යම් ගොඩනැගිල්ලක් තිබෙන්නට ඇතැයි පුරාවිද්‍යාඥයෝ අනුමාන කරති.
අප විසින් කරන ලද සොයා බැලීමේ දී හෙළි වූයේ මැග් නමැති ආයතනයේ සේවකයන් විසින් සෝමාවතී ජාතික වනෝද්‍යාන ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත්කරමින් සිටින බවයි.
මෙම ස්ථානයට සිදුකර ඇති විනාශය පිළිබඳ රයිගම් පස්යොදුන් දෙකෝරළයේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක හා සෝමපුර ශ්‍රී බෝධිරාජරාමයේ විහාරාධිපති ආයුර්වේද වෛද්‍ය ගනේගොඩ ධම්මකිත්ත හිමියෝ මෙසේ පැවසූහ.
”මේ ස්ථානය බලන්න මම ගියා. ලොකු විනාශයක් කරලා. මාවිල්ආරු සොරොව්ව කොටින්ගෙන් මුදවා ගත්තු දවසේ ඉදලා අපේ ගමේ මිනිස්සු ඔය පන්සල් කන්ද කියන ප්‍රදේශයට මී කඩන්න යනවා. හරකා බාන දිගේලි කරන්න යනවා. නමුත් කිසිම දවසක බෝම්බයක් තිබිලා පුපුරලා නම් නැහැ. දැනන් යුද්ධයත් ඉවරවෙලා අවුරුදු 10කටත් වැඩි කාලයකට පස්සේ තමයි මේ අයට බිම්බෝම්බ මතක් වෙලා තියෙන්නේ. අපේ අහිංසක මනුස්සයෙක් කැලේට ගිහින් දර ටිකක් කඩාගෙන ආවම නඩු දාන වනජීවී දෙපාර්තමේන්තුව අද නිහඬ වෙලා. බෝම්බ ඉවත් කරන්න කියලා සෝමාවතී රක්ෂිතයේ අක්කර සිය ගණනක් කැලේ කපලා එළි කරලා. ඒ අතරේ තමයි මේ සිද්ධස්ථානයත් වනසලා තියෙන්නේ. ඔක්කෝම විනාශ කරලා. වටිනා පුරාවිද්‍යාත්මක ස්ථානයක්. මේ තැන විනාශ කරලා තියෙන්නේ බෝම්බ හොයනවා කියන බොරුවකට මුලා වෙලා. මේ පන්සල් කන්ද අපි ආරක්ෂා කරගන්න ඕනෑ මේ විනාශ කරපු අයට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.
සෝමදාස ගමගේ මහතා (75) මෙසේ පැවසීය
පන්සල් කන්දේ පුරාවස්තු සෑහෙන්න තියෙනවා. මේ කරලා තියෙන්නේ නම් බෝම්බ හොයන දෙයක් නෙවෙයි. වෙන දෙයක්. නැතිව මෙච්චර කාලයක් ඔය කැලේ නොතිබුණු බෝම්බ හොයන්න දැන් හදිසියේ ම වුවමනා වුණේ කොහොමද ? මේ ගැන වහාම පරීක්ෂා කරන්න ඕනෑ. අපේ බෞද්ධ උරුමය අනුරාධපුර යුගයේ හිටපු රජවරු හදපු මේ දේවල් අපි අනාගතය වෙනුවෙන් රැකගත යුතුයි. පරීක්ෂණ පවත්වනවා කියලා දැන් කියලා ටික කාලයක් යනවිට මේ පරීක්ෂණ යට යන්න බැහැ.
මේ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ආනන්ද විතානගේ මහතාගෙන් විමසූ විට ඒ මහතා කීවේ මේ සම්බන්ධයෙන් සේරුනුවර පොලිසියට පැමිණිලි කළ බවයි.
” මගේ නිලධාරීන් මේ ගැන දැනගෙන තිබුණේ පසුගිය 17 වැනි සඳුදා. ඔවුන් 18 වැනිදා ම එම ස්ථානයට ගියා. ඒ මොහොතේ පුරාවිද්‍යා නිලධාරීන්ට පැය හතරක් යනතුරු ඇතුළුවෙන්නවත් දුන්නේ නැහැ. ස්ථානයට ගිය විට එතැන විනාශකරලා. වටේම ඩෝසර් කරලා තිබුණා. අපි මේ ගැන පොලිසියට පැමිණිලි කළා. ඩෝසර් කරපු පුද්ගලයන් හා ඩෝසර් පවා මේ කැලයේ සතියකට වැඩි කාලයක් තිබුණා. නමුත් පොලිසිය අත්අඩංගුවට ගත්තෙ නැහැ. බෝම්බ හොයන කණ්ඩායම් නිතර නිතර මේ ප්‍රදේශවල පුරාවස්තුවලට හානි කරනවා. අඩුම ගණනේ ඔවුන් මේ වගේ තැනක බේමේබ සඳහා සොයාබැලීම් කරනවානම් අපිට දැනුම් දිය යුතුයි. මේ ගැන වහාම නීතිය ක්‍රියාත්මක කරන්න කියා අපි පොලිසියෙන් ඉල්ලා සිටිනවා.”
සේරුනුවර පොලිස් ස්ථානයෙන් මේ ගැන විමසූ විට එහි නිලධාරීන් කියා සිටියේ රක්ෂිතයේ ඇතුළත තිබූ සඳකඩපහනක් ඇතුළු පුරාවස්තු කිහිපකට අලාභ කර ඇතැයි පැමිණිල්ලක් තිබෙන බවයි. බෝම්බ ඉවත්කිරීම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන වැඩපිළිවෙලක් බවත් එම සිදුවීම වන අවස්ථාවේ හමුදාවේ අධීක්ෂණය පවා තිබී ඇති බවත් පොලිස් නිලධාරීන් පවසයි. කෙසේ වෙතත් මේ ස්ථානයේ පුරාවස්තු තිබෙන බවට කිසිදු පුවරුවක් හෝ සවිකර නොතිබූ බව ද ඒ නිසා බෝම්බ ඉවත්කරන කණ්ඩායමට එතැන පුරාවිද්‍යා භූමියක් යැයි කියා හඳුනාගත නොහැකිවන්නට ඇතැයි ද පොලිසිය පවසයි. මේ වනාන්තර භූමියේ තිබී බෝම්බ හතක් සොයාගෙන ඇති බව ද පොලිසිය පැවසීය.
කෙසේ වෙතත් මේ ස්ථානය හා ඒ අවට තවදුරටත් ඩෝසර් කිරීම නවත්වන්න යැයි උපදෙස් දුන් බවත් මේ පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් සේරුනුවර පොලිසිය පවසයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ වනාන්තර ඇතුළත ඇති පුරාවිද්‍යා ස්මාරකවල පුවරු සවිකිරීමක් නොකරන බවයි. නමුත් මේ ස්ථානයේ විහාර සංකීර්ණයක නටඹුන් පැහැදිලිව පෙනෙන්නට ඇති බැවින් මේ ගැන නොදැන ඩෝසර් කළා යැයි කිව නොහැකි බව ද ඔවුන්ගේ අදහස වී ඇත.
ප්‍රදේශයේ බෝම්බ ඉවත්කිරීමේ කටයුතු සිදුකර ඇත්තේ මැක් නමැති ආයතනයකි. ඔවුන් ලෝකයේ බෝම්බ ඉවත්කිරීමේ කටයුතු සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කර කොන්ත්‍රාත් ලබාගන්නා අතර එය ලෝකය පුරා ප්‍රචලිත ව්‍යාපාරයකි. මේ සම්බන්ධයෙන් විමසීමට අදාල ආයතනය දුරකථනයෙන් සම්බන්ධකර ගත්ත ද ඔවුන් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.
ගම්වැසියන් පවසන්නේ මොවුන් විසින් ඉවත්කරනු ලබන්නේ කුඩා පීඩන බෝම්බ වන බට්ටයන් නමින් හඳුන්වන බෝම්බ විශේෂය බවයි. ඒවා සොයා ගැනීමට සංවේදී උපකරණ තිබිය දී රක්ෂිත වනාන්තරතුළ විශාල ගස් පවා පෙරළා දමා ඩෝසර් කරන්නේ කවර හේතුවක් නිසාද යන්න සැකයක් පවතින බව ද ගැමියෝ කියති.