වෙද ගෙදරට ආ රෝගියාගේ අත අල්ලාගත් වෙද මහත්තයා මොහොතක් නිසොල්මන්ව සිටියි. දැහැනකට සම වැදුණාක් මෙන් සිටි වෙද මහත්තයා තම මුඛයේ රැඳි බුලත් කෙල පිඬ පඩික්කමට දමා රැල් බුරුල් ඇරියේය.
“හදවතේ තත්ත්වයනම් ඒ තරම් හොඳ නෑ ආයිබෝං. ඒ වගේම පෙනහලුවල සෙම පිරිලා. මේකට මම හොඳවයින් කසාය වඩි දෙක තුනක් දෙඤ්ඤංකෝ.”
මේ වෙද ගෙදර වෙද මහත්තයාගෙන් ඇසෙන කතාවයි. තමන් හමුවට පැමිණෙන කාගේත් ලෙඩ ගැන ඔහු කියන්නේ අතේ නාඩි බැලීමෙනි. කිසිදා උපකරණයක් භාවිතා කර ලෙඩ රෝග සොයා බැලීමක් නොකරන වෙද මහත්තයාගේ රෝග විනිශ්චය ටක්ටෙටම හරි ගියේය.
මෙය පුදුමයකි. පරම්පරාවෙන් උරුම වූ ශිල්පීය දැනුම තම පියාගෙන් හෝ මුත්තාගෙන් ඉගෙන ගන්නා වෙද මහත්තයා අපූරුවට තවත් පරම්පරාවකට ඒ දැනුම උරුම කරයි. මේ දැනුම නවීන තාක්ෂණික ක්‍රමෝපායයන් ඔස්සේ එක තැනකට රැස්කර එයට වඩාත් කාර්ක්ෂමතාවක් දිය හැකිනම් එහි විශ්වාසනීයත්වය සුරක්ෂිත කළ හැකිනම් මේ දැනුම හා හැකියාව මහඟු සම්පතක් වනු ඇත. ලෝකයේ සියලු රෝගීන්ට වඩාත් පහසුවක් වනු ඇත.
දැන් එය යථාර්ථයක් වී තිබේ.
ඒ අපේ ම පර්යේෂකයන් පිරිසකගේ නොපසුබස්නා උත්සාහයක් හේතුවෙනි.
මොරටුව විශ්වවිද්‍යාලයෙ ඉංජිනෙරු ශිෂ්‍යන්ට පැවරෙන අවසන් වසර ව්‍යාපෘතියක් සඳහා සිසුන් පිරිසක් ඉහත කී පාරම්පරික දැනුම විද්‍යාත්මක ක්‍රමවේදයකට භාවිතා කළ හැකි දැයි සොයා පරීක්ෂණයක් දියත් කළේය. ඔවුන්ට මේ වෙද මහත්වරු කරන කියන දේ පිළිබද ඇසීමෙන් හා දැකීමෙන් අත්දැකීම් තිබුණ ද ඒ සම්බන්ධ වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් තිබුණේ නැත.
මෙම නවෝත්පාදන කණ්ඩායමේ ඉංජිනේරු හේමින්ද ජයවීර මහතා ඒ පිළිබඳ මෙසේ කීවේය.
”අපේ රටේ පරණ මිනිස්සු මේ ලෙඩ හඳුනාගත්ත ආකාරය නවීන විද්‍යාවට උකහාගන්නේ කෙසේ ද කියා අපිට සොයා බැලීම අවශ්‍ය වුණා. පැරණි වෙද මහත්වරු නාඩි අල්ලා බැලීමෙන් සාර්ථකව රෝග හඳුනාගන්නවා. මෙහි යම් විද්‍යාත්මක සත්‍යයක් තිබිය යුතුයි. ඒ අනුව අපි වෛද්‍යවරු කණ්ඩායමක් සමඟ වෛද්‍ය විද්‍යාත්මක කරුණු සාකච්ඡා කළා. එහි දී තේරුම්ගත්තු දෙයක් තමයි රුධිර සංසරණ පද්ධතියේ යම් වෙනසක් වූ විට එය දැනෙන්නේ ධමනි සහ ශිරාවල ඇතුබිත්තියට. ඒවා ඇතුළු බිත්තියේ තුවාල, කොලෙස්ටරෝල් බැඳීම වැනි දේ දක්වා වෙනස් වනවා. මේ වෙනස දැනෙන්නේ රුධිර සංසරණයේ කුඩ වෙනසකින්. එය ඇසට පෙනෙන දෙයක් නෙවෙයි. සියුම්ව දැනෙන දෙයක්. පැරණි වෙද මහත්වරු නාඩි අල්ලා බලා තම පළ පුරුද්දෙන් වටහා ගන්නේ මේ වෙනස. මේක මනින්න විද්‍යාත්මක ක්‍රමයක් තිබුණේ නැහැ. අපේ උත්සාහය වුනේ මේ සඳහා විද්‍යාත්මක ක්‍රමයක් සකස් කිරීම.”
බොහෝ දෙනකු සිතුවේ ඔවුන් මිරිඟුවක් පසුපස යන බවයි. මෙවැනි දෙයක් නිර්මාණය කිරීමේ කිසිම අත්දැකීමක් මෙරට පර්යේෂකයන්ට තිබුණේ නැත. නමුත් කීර්ති කොඩිතුවක්කු ඇතුලු කණ්ඩායම උත්සාහය අතහැරියේ නැත.
ඔවුන්ට අභියෝග රැසක් තිබිණි. ඉන් පළමුවැන්න වූයේ මේ වෙනස ග්‍රහණය කරගන්නේ කවර උපකරණයකින් ද යන්නයි. දෙවැන්න වන්නේ එසේ ග්‍රහණය කරගන්නා රටාවේ කවර ආකාරයේ වෙනස්කම් තිබේ ද ඒ වෙනස්කම් ඇතිවී තිබෙන්නේ කවර හේතූන් නිසාද යන්න තීරණය කිරීමයි. ඉන් පසු එම වෙනස්කම් විශ්ලේෂණය කර රෝගය නිසිපරිදි හඳුනාගැනීමට ක්‍රමවේදයක් ද සකස් කළ යුතුය.
දැන් ඔවුන් සාර්ථක වී තිබේ. ඒ වසර පහකට ආසන්න කාලයක් පුරා කළ පර්යේෂණය මල්ඵල ගන්වමිනි.
උපකරණය නිපදවූ කණ්ඩායමේ සාමාජිකයකු මෙන්ම එම උපකරණය වාණිජමය මට්ටමින් නිපදවීම සඳහා පිහිටවූ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වන ඉංජිනේරු කීර්ති කොඩිතුවක්කු මහතා මෙසේ පැවසීය.
”අපේ ව්‍යාපෘතියේ මූලික කටයුතු සාර්ථක කරගන්න වසර තුනහමාරක කාලයක් තවුණා. අපට මේ සඳහා ප්‍රයෝජනවත් වූයේ පල්ස් ඔක්සිමීටරය යනුවෙන් ඒ වනවිටත් හෘද ස්ඵන්දනය හඳුනාගැනීමට සකසා තිබූ උපකරණය. මේ උපකරණයෙන් හෘද ස්ඵන්දන රටාව සියුම්ව ග්‍රහණය කරගැනීමටත් එලෙස ග්‍රහණය කරගන්නා හෘද ස්ඵන්දනයේ දී පුද්ගලයාගෙන් පුද්ගලයාට ඇති වෙනස් කම් සියුම්ව විශ්ලේෂණය කරගැනීමටත් හැකි අයුරින් පරිගණක වැඩසටහනක් අපි සකස් කළා. මේ සඳහා නිරෝගී පුද්ගලයන්ගේ රුධිර සංසරණ රටාවන් සහ රෝග සහිත පුද්ගලයන්ගේ රුධිර සංසරණ රටාවන් එකිනෙක සංසන්දනය කරලා දත්ත විශ්ලේෂණ පද්ධතියක් සකස් කළා. මේ පද්ධතිය ඇත්තටම අප විසින් නිර්මාණය කළ කෘතිම බුද්ධියක්. එයට දත්ත ඇතුළු කරන්න කරන්න එය ස්වයංක්‍රීයව දැනුමෙන් හා ලෙඩ රෝග හඳුනාගැනීමේ හැකියාවෙන් වර්ධනය වෙනවා. දැනට අපි පද්ධතියට රෝගීන් විශාල පිරිසකගේ දත්ත ඇතුළත් කරලා තියෙනවා. ඒ අනුව අපිට රුධිර පරීක්ෂණයකින් දැනට හඳුනාගන්නා රෝග ගණනාවක් මේ ක්‍රමයෙන් හඳුනාගන්න හැකියාව ලැබී තිබෙනවා. “
ඔවුන්ගේ උපකරණයට රුධිර සාම්පල දීමට අවශ්‍ය වන්නේ නැත. එන්නත් කටුවක් මගින් රෝගියාගේ රුධිරය ලබාගෙන එය රසායනාගාර පරීක්ෂණයකට ලක්නොකර රෝග ගණනාවක් මේ උපකරණය මගින් හඳුනාගත හැකි බව පර්යේෂකයෝ කියති.
ඔවුන් නිපදවා ඇති මේ ක්‍රමයේ දී රෝගියාගේ ඇඟිල්ලට සවිකරන පල්ස් ඔක්සිමීටරයේ දත්ත කුඩා පද්ධතියකට යොමු කර ඉන් ලැබෙන දත්ත කෘතිම බුද්ධිය සහිත පරිගණකයට යොමු කරයි. පරිගණකයේ දී මේ සියල්ල විශ්ලේෂණය කර අවසන් තීරණ ලබාදෙයි.
ඔවුන් අන්තර්ජාල දත්ත ගබඩාවක මේ සියලු තොරතුරු ගබඩා කරන බැවින් එක් පුද්ගලයකුගේ රෝගය නිර්ණය කිරීම සඳහා එම දත්ත ගබඩාවේ තොරතුරු අඩංගුකර ඇති සියලුම රෝගීන්ගේ දත්ත ක්ෂණයකින් විශ්ලේෂණය කර නිවැරදි තොරතුරු ලබාදීමට එම උපකරණයට හැකියාව ඇත.
”අපි දැනට පුද්ගලයන් විශාල පිරිසකගේ තොරතුරු ඇතුලත් කර තිබෙනවා. මේ පුද්ගලයන් ප්‍රමාණය වැඩිවෙන්න වැඩිවෙන්න වුණොත් අපිට අදට වඩා කාර්යක්ෂමව මේ කාර්යය කළ හැකියි. කෘතිම බුද්ධිය දත්ත වැඩි වෙන්න වැඩි වෙන්න වඩාත් කාර්යක්ෂම හා නිවැරදිතාව වැඩි තත්ත්වයට පත්වනවා. ඒ නිසා දත්ත වැඩිවන තරමට මෙය තවත් නිරවද්‍ය වනවා. රෝගියාගෙන් රෝගියාට මෙය වර්ධනය වෙනවා.” කීර්ති කොඩිතුවක්කු මහතා පැවසුවේය.
ඔවුන් පවසන්නේ උපකරණය ඇඟිල්ලට තබා විනාඩි 10-15ක දී එම පුද්ගලයාගේ රුධිර සංසරණ රටාව පිළිබඳ දත්ත ගන්නා බවයි. එය වේගයෙන් විශ්ලේෂණය කරන උපකරණය අදාල වාර්තාව නිකුත් කිරීම සිදුකරයි.
උපකරණය නිපදවූ ඔවුහු ඒ නව නිපැයුම් සඳහා වන පේටන්ට් අයිතිය ද ලබාගත්හ. ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර පේටන්ට් හිමිකම ගත් පසු ඇමෙරිකාවේ, ජපානයේ සහ සිංගප්පූරුවේ ද පේටන්ට් ලබාගැනිමට ඔවුන් කටයුතු කර ඇත. ඒ අනුව මෙම උපකරණයේ හිමිකාරීත්වය පැහැර ගැනීමට හෝ අනුකරණය කිරීමට ලොව වෙනත් කිසිවෙකුට අවසර ලැබෙන්නේ නැත.
වෛද්‍ය උපකරණයක් ලෙස මෙය ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි කිරීමට සායනික පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.
ඔවුන්ට සායනික පරීක්ෂණ සිදුකිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ සහ ආසරි පෞද්ගලික රෝහල් ජාලය සම්පූර්ණ පහසුකම් ලබා දී ඇත. එම රෝහල්වලට පැමිණෙන රෝගීන්ට මේ උපකරණය පිළිබඳ පැහැදිලි කර දී ඔවුන් එමගින් රුධිර පරීක්ෂණයක් සඳහා කැමැත්ත දක්වන්නේ නම් අදාල පරීක්ෂණය සිදුකිරීමට කටයුතු යොදා ඇත. මේ උපකරණයෙන් පරීක්ෂණයට ලක්වන රෝගීන් ඇතුළු නිරෝගී පුද්ගලයන් ද තමන්ගේ රෝග තත්ත්වයන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබාගන්නා අතරම නුදුරු අනාගතයේ දී ම සමස්ථ ලෝක වාසීන්ට මහත් සහනයක් ගෙන දෙන උපකරණයක කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට ද දායක වෙයි.
මෙහි නිර්මාණකරුවන් පවසන්නේ මෙම උපකරණය මගින් දියවැඩියාව, කොලෙස්ටරෝල්, හදවත් රෝග, වකුගඩු දුර්වලතා, රුධිර කැටි හිරවීමේ අවධානම් ඇතුළු රෝග තත්ත්වයන් රැසක් පහසුවෙන් හඳුනාගත හැකි බවයි. රුධිර පරීක්ෂණ කිහිපයකින් හඳුනාගන්නා රෝග විනාඩි 15ක් වැනි සුළු කාලයක දී හඳුනාගත හැකිවීම මෙහි ඇති සුවිශේෂී ප්‍රයෝජනයයි.
මෙය ඉතා පහසුවෙන් ගෙන යා හැකි සහ භාවිතා කළ හැකි උපකරණයකි. එබැවින් ඕනෑම වෛද්‍යවරයකුට තමා සන්තකයේ තබාගෙන රෝගීන් පරීක්ෂා කිරීම සඳහා යොදාගත හැකි අතරම රෝහල්වල භාවිතා කිරීමෙන් ද රෝහලට ඇතුළුවන රෝගියකුගේ සිරුරේ ඇති සියලු දුර්වලතා සහ රෝග හඳුනාගත හැකිවීම වඩාත් වැදගත් වේ.
දැනට මෙවැනි උපකරණ 15ක් ඔවුන් විසින් නිපදවා තිබේ. තවත් මාස හයක පමණ කාලයකින් පසු සායනික පරීක්ෂණ අවසන් කර උපකරණය වාණිජ මට්ටමින් නිෂ්පාදනය කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. ඔවුන්ගේ සැළැස්ම වී ඇත්තේ ඉදිරි අවුරුදු එකහමාරේ දී වෛද්‍ය උපකරණ නිෂ්පාදනය කරන විදෙස් සමාගමක් හා එක්වී මෙම උකරණ නිපදවා ලොව පුරා වෛද්‍ය ක්ෂේත්‍රයට බෙදා හැරීමයි.
” මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න විශාල මුදලක් වැය කරන්න වුණා. මුලින්ම තිබුණේ වෛද්‍ය විද්‍යාත්මක දැනුම නොමැති වීමේ ගැටලුව. ඒ ප්‍රශ්නය වෛද්‍යවරුන් විසින් විසඳා දුන්නා. ඔවුන්ට මේ අවස්ථාවේ අපි ස්තූති කළ යුතුයි. ඉන් පසු මූලික කටයුතු අවසන් වෙලා අපි මේ සඳහා නිෂ්පාදන ආයතනයක් ආරම්භ කරලා ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන ආවා. දැන් සියල්ල සාර්ථක වෙලා තිබෙන්නේ.”
ඔවුන් මේ සඳහා පිහිටුවාගත් ආයනය වන ජෙන්ඩෝ ඉනවේෂන් හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන ඉංජිනේරු කීර්ති කොඩිතුවක්කු, ඉංජිනේරු චරිත් විතානගේ, ඉංජිනේරු හේමින්ද ජයවීර සහ විනෝද් සමරවික්‍රම මහතා මෙහි සම නිර්මාතෘ වරුන් වෙයි.
ඉංජිනේරු ශෂික මුණසිංහ මහතා සහ වෛද්‍ය දනූෂි හෙට්ටිආරච්චි මහත්මිය මෙම කාර්යය සඳහා දායක වී සිටිති.
මහාචාර්ය සරෝජ් ජයසිංහ, මහාචාර්ය ගොඩ්වින් කොන්ස්ටන්ටයින්, ආචාර්ය බන්දුල විජේ, යන මහත්වරු මේ සඳහා අවශ්‍ය වෛද්‍ය විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුම ඔවුන්ට ලබා දී තිබේ.
මෙම උපකරණය නිපදවීමේ ව්‍යාපෘතිය සඳහා ජාතික විද්‍යා පදනමෙන් (NSF) ආධාරයක් අයිසීටීඒ (ICTA) ආයතනය ද මූල්‍යමය අනුග්‍රහයක් ලැබී තිබේ.
ඔවුන් පවසන්නේ නිර්මාණය කළ මෙම නව උපකරණය හේතුවෙන් රෝග කල්වේලා ඇතිව හඳුනාගැනීමේ හැකියාව ලැබෙන අතරම ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය තත්ත්වය දක්වා යම් රෝගයක් වර්ධනය වීමට පෙර ජීවන රටාව වෙනස් කර රෝගයෙන් ගැලවී සිටීමට හැකියාව මෙමගින් ලැබෙන බවයි.
”අපි බොහෝ විට රෝගයක් හැදුනාම ඊට අදාල රුධිර පරික්ෂණය කරලා. රෝගය හඳුනාගන්නවා. නමුත් මේ උපකරණයෙන් තමන්ගේ රෝග පරීක්ෂාකරගන්න කැමති ඕනෑම කෙනෙකුට විනාඩි 15ක පමණ කාලයක දී රුධිර බිංදුවක්වත් එළියට නොගෙන තමන්ට වැළඳී ඇති හෝ වැළඳීමට අවධානම ඇති රෝග සහ ආබාධ ගණනාවක් හඳුනාගත හැකියි. “
මේ පර්යේෂකයන් පවසන්නේ වසරකට විශ්වවිද්‍යාල සිසු සිසුවියන් 20,000ක් පමණ තමන්ගේ අවසන් වසර ව්‍යාපෘති සිදුකළ ද ඒවා මගින් මිනිසුන් අතරට ගෙන යා හැකි ව්‍යාපෘති නිපදවෙන්නේ අතලොස්සක් පමණක් බවයි. එබැවින් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පර්යේෂණාගාරයෙන් ඔබ්බර ගොස් මිනිසුන්ට ඵලදායී නවෝත්පාදන සිදුකරන පරිසරයක් නිර්මාණය කළ යුතු බව ද ඔවුහු පෙන්වා දෙති.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම විෂය දැනුම භාවිතාකරමින් නවෝත්පාදන නිෂ්පාදන කළ හැකි බවට මෙය හොඳ උදාහරණයකි. මෙම නවෝත්පාදන නිෂ්පාදනය ලෝක ජනගණයෙන් අති විශාල බහුතරයකට ප්‍රයෝජනවත් වන ඔවුන්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උරුම කරදීමට හේතවෙයි. එවැනි නිෂ්පාදනයක් සිදුකර එය ලෝක වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට හැකිවීම තුළින් ආර්ථික වශයේන අප රට දියුණුවනු ඇත. අප කළ යුත්තේ එයයි. රජය කළ යුතු වන්නේ ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කළ යුත්තේ ද මෙවැනි තරුණයන්ට අවශ්‍ය දිරිය හා ශක්තිය සැපයීමයි. මෙය සැළසුම් සහගතව විය යුතු දෙයකි.
පැරණි වෙද ගෙදර වෙද මහතා නාඩි බලා ලෙඩ කියූ අයුරින්ම ඇඟිල්කට සවිකරන මේ උපකරණයෙන් ලෙඩ කීමට හැකිවීම ලෝකයේ විශ්මිත නිර්මාණයක් වනු ඇත. මෙය පැරණි වෙද මහතාගේ රෝග හඳුනාගැනීමේ හැකියාව ඩිජිටල්කරණය කිරීමක් නොවන්නේ ද ?