කලාකීර්ති එඩ්වින් ආරියදාස සිය දිවි ගමනට අද (22) සමුදුන්නේය.
ගාල්ලේ උණවටුනේ දී වී.කේ.ඒබ්‍රහම් අප්පුහාමිට දාව සිසිලියානා හාමීන්ගේ කුසින් විජේතුංග කරුණාරත්න එඩ්වින් ආරියදාස නමින් 1922 දෙසැම්බර් මස 22 වැනි දින උපත ලැබූ හෙතෙම වැඩිමහල් සහෝදරයන් තිදෙනකු සහ වැඩිමහල් සහෝදරියන් දෙදෙනකු සිටින බවුලේ බලයාය.
වර්තමානයේ උණවටුන මහා විද්‍යාලය ලෙස හැඳින්වෙන එවකට උණවටුන බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් හා බොනවිස්ටා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු එවකට තිබූ ජ්‍යෙෂ්ඨ පාඨශාලා විභාගයක් සමත්ව මහින්ද විද්‍යාලයට ඇතුළුවූවේය.
පාසල් අධ්‍යාපනය උසස් ලෙස අවසන් කරමින් 1945 දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය හෙවත් වර්තමාන කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළු වූ එඩ්වින් ආරියදාස සිංහල හා ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන් ම උපාධි ලබා තිබීම විශේෂත්වයකි. තමන් ඉගෙනුම ලැබූ මහින්ද විද්‍යාලයේම ගුරුවරයකු වශයෙන් රැකියාව ආරම්භ කළ ඔහු පසුව General Insurance Company නමැති සමාගමේ ලේකම්වරයා ලෙස කොළඹ රැකියාවට පිවිසියේ ගුරු වෘත්තිය අතහරිමිනි.
ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයත් මෙරට මාධ්‍ය ක්ෂේත්රයේ අපූරු සන්ධිෂ්ඨානයකුත් සටහන් කරමින් එඩ්වින් ආරියදාන 27 හැවිරිදි වියේ පසුවෙද්දී 1949 මාර්තු මස 03 වැනිදා ලේක් හවුස් ආයතනයට සම්බන්ධ වූයේය. එතැන් සිට ලේක් හවුස් ප්‍රකාශන බොහොමයක කර්තෘ මණ්ඩල සාමාජිකයකු වූ ඔහු දිනමිණ, ඩේලි නිවුස්, සන්ඩේ ඔබ්සවර්, සිළුමිණ, ජනතා වැනි පුවත්පත්හි සේවය කර අනතුරුව නවයුගය සඟරාවේ ඉතා දීර්ඝ කාලයක් ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළේය.
ජන සන්නිවේදන ක්ෂේත්රයේ අප්රමාණික විද්වතකු ලෙස ප්‍රකට එඩ්වින් ආරියදාස මෙරට ජන සමාජයටත්, විශේෂයෙන්ම ජනමාධ්‍ය ක්ෂේත්රයටත් කරන ලද අනූපමේය සේවය හේතුවෙන් 1992 දී කලා කීර්ති ගෞරව සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය අධ්‍යයන කටයුතු වඩාත් විධිමත්ව සිදුකළ යුතු බවට විශාල අරගලයක නිරත වූ එඩ්වින් ආරියදාස පාසල් අධ්‍යාපනයට ද ජනමධ්‍ය අධ්‍යයනය විෂය ඇතුළත් කිරීම සඳහා සුවිශේෂී කැපවීමක් කළේය. එමෙන් ම කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන උපාධි පාඨාමාලා ආරම්භ කිරීමේ දී පළමු විෂ්‍ය නිර්දේශය සකස් කළේ ද ඔහු විසිනි. ඉන් නොනැවතී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යයන පාඨමාලා හඳුන්වාදීමේ දී ද හෙතෙම පුරෝගාමී මෙහෙවරක නිරත වූයේය. කොළඹ විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කිරීමේ දී ද වෙහෙස වී කටයුතු කළ එඩ්වින් ආරියදාස ඉංග්‍රීසි භාෂාවේ වචන සඳහා සුදුසු සිංහල වචන හඳුන්වාදීමේ දීමේ පුරෝගාමියකු ද වූයේයය. “අන්තර්ජලාය” “මාධ්‍යරූප” “සජීවීකරණය” යන වචන හඳුන්වාදුන්නේ ඔහු විසිනි.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් මාධ්‍යවේදීන් පුහුණු කටයුතුවල නිරන්තරව යෙදී සිටි එඩ්වින් ආරියදාස මෙරට ආයතන ගණනාවක උපදේශකයකු ද වූයේය. ඉංග්‍රීස සහ සිංහල භාෂා ඉතා ව්‍යක්ත ලෙස හැසිරවිය හැකි ඔහුගෙන් මාධ්‍ය අධ්‍යාපනය ලැබූ පිරිස අතිවිශාලය.
ඔහු අද (22) දැයෙන් සමුගන්නා විට සිය දිවි ගමනේ වසර 98ක් හා මාසයක කාලයක් ගෙවා අවසන් කර තිබිණි.
ඔහුගේ දිවි ගමනේ දී, මාධ්‍යවේදියකු, පුවත්පත් කතුවරයකු, ලේඛකයකු , පරිවර්ථකයකු, මාධ්‍ය උපදේශකයකු මෙන්ම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු ලෙස ද කරන ලද සේවය අතිමහත්ය.
මිය යනතුරුම ඉඳ හිට හෝ අප කතා කළ විටක ඔහු තමන් උපන් උණවටුන ගම් ප්‍රදේශයත්, සුන්දර රූමස්සල කඳුවැටියේ පිහිටි බොනවිස්ටා පාසලත්, මහින්දය ගැනත් විස්තර අසන්නට ඔහු කිසිදා අමතක කළේ නැත. කුඩාකල එම පරිසරයන්ගෙන් පෝෂණය වූ හෙතෙම හැමදාමත් ගමටත්, ඉගෙනගත් පාසල් දෙකටත් දැඩි සේ ඇළුම් කළේය.
දැයෙන් සමුගන්නා මේ මහා විද්වතාණන්ගේ අඩුව පිරිමසාලීම පහසු කාර්යක් නොවනු ඇත. අපි ඔහුට සුබ ගමන් පතමු
(සජීව විජේවීර)
Great loss to the country and this vacuum cannot be filled