spot_img
spot_imgspot_img

මුස්ලිම් දේහය ආදාහනය කරමින් වැලිගම ඥාතීන් දුන් ආදර්ශය

පුවත්

විදෙස්

වැලිගම හෙට්ටිවීදියේ පදිංචිව සිටිය දී කොරෝනා ආසාදනය වී මියගිය 54 හැවිරිදි කාන්තාවගේ සිරුර අද (18) සවස  පවුලේ ඥාතීන්ගේ ද සහභාගීත්වයෙන් ගාල්ල දඩල්ල ආදාහනාගාරයේ දී ආදාහනය කළ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

මියගොස් සිටියේ මුස්ලිම් ජාතික කාන්තාවකි. ඇය රෝහලට ඇතුළත් කිරීමට පෙර මියගොස් සිටි අතර සිරුරෙන් ගත් ජෛව සාම්පල පරීක්ෂා කිරීමේ දී අනාවරණය වූයේ කොරෝනා ආසාදිත බවයි. කොරෝනා ආසාදිත බැවින් දේහය ආදාහනය කළ යුතු බව පැමිණ සිටි ඥාතීන්නට දැනුම් දුන් අවස්ථාවේ ඔවුන් සිරුර බැලීමට අවශ්‍ය බවත් ආගමික චාරිත්‍රයක් ඉටුකිරීමට අවශ්‍ය බවත් පවසා තිබිණි.

ඒ අනුව පැමිණ සිටි ඥාතීන් 10 දෙනකුට මියගිය කාන්තාව බැලීමට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතා කරමින් අවස්ථාව ලබාදීමට අධිකරණ ඒකකය කටයුතු කර තිබිණි. ඉන් අනතුරුව ඔවුහු දේහය ඉදිරියේ සිටිමින් ආගමික වතාවත් පැවැත්වූ අතර ගාල්ල දඩල්ලේ පිහිටි ආදාහනාගාරය වෙතට ද ගොස් අවසන් කටයුතු සිදුකරන තුරු එහිි රැඳී සිටියහ.

මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් සිදුකළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරී එන්.ඒ.බී.ඩයස්ගේ නිර්දේශ සහ ඉදිරිපත් වූ සාක්ෂි සැළිකල්ලට ගත් හදිසි මරණ පරීක්ෂකවරයා කොරෝනා ආසාදනය වීමෙන් ඇතිවූ නිව්මෝනියා තත්ත්වයෙන් මරණය සිදුව ඇති බව නිගමනය කළේය.

මෙම මරණය සම්බන්ධයෙන් මියගිය තැනැත්තියගේ ඥාතීන් ක්‍රියාකල ආකාරය කරා‍පිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ පැසසුමට ද ලක්ව තිබිණි. මීට ඉහත දී මුස්ලිම් ජාතික පුද්ගලයන් මියගිය අවස්ථාවල දී දේශපාලන බලපෑම් විශාල ලෙස එල්ලවන බවත් දේශපාලනඥයන් විසින් ම ‍මළ සිරුරු ආදාහනය කිරීමට විරුද්ධවන ලෙස ඥාතීන්ට බලපෑම් කර ගැටලු ඇතිකරන බවත් වෛද්‍යවරු කියති. ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ‍කිසිදු දේශපාලන මැදිහත්වීමක් මෙම මරණය සම්බන්ධයෙන් සිදු නොවූ බැවින් ඥාතීන් ආගමික චාරිත්‍ර කිහිපයක් ඉටුකිරීමෙන් අනතුරුව දේහය ආදාහනය කිරීමේ කටයුතු සඳහා ද සහභාගී වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!