ධම්මික පැණිය පානය කළ රාජ්‍ය ඇමතිවරයකුටත් කෑගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුටත් කොරෝනා ආසාදනය වී තිබේ.
පාර්ලිමේන්තුවේ කතානායක ඇතුළු මහජන නියෝජිතයන් පිරිසකට ධම්මික පැණිය ලබාදෙන ආකාරය පසුගිය දිනක මාධ්‍ය මගින් පුළුල් ලෙස ප්‍රචාරය කෙරුණු අතර එලෙස පැණිය පානය කළ පිරිස අතර කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට, ඔහුගේ බිරිඳට සහ දරුවාට ද කොරෝනා ආසාදනය වී ඇති බව අද (18) තහවුරු විය.
එමෙන් ම කෑගල්ල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී ශිලන්ත විජේපාල ද කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු පවසන්නේ කෑගල්ලේ ධම්මික පැණිය තමන්, තම බිරිඳ හා සිව් නිවුන් දරුවන් පානය කළ බවයි. එසේ වුව ද කොරෝනා වයිරසය තම පවුලේ සියලු දෙනාට ආසාදනය වී ඇති බව හෙතෙම පවසයි.
මන්ත්‍රීවරයා ඇතුළු පවුලේ සියලු සාමාජිකයන් මේ වනවිට ඇඹිලිපිටියේ පිහිටි යොවුන් සේනාංක ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර සඳහා යොමුකර සිටිති. මන්ත්‍රීවරයා පවසන්නේ ධම්මික පැණිය පානය කළ තම සහෝදරයන් ඇතුළු තමන් දන්නා හඳුනන විශාල පිරිසකට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බවයි.
මන්ත්‍රීවරයා මෙසේ පවසයි.
“මට වයස අවුරුදු 08ක් වූ සිව් නිවුන් දරුවන් ඉන්නවා. වැඩි පරෙස්සමට තමයි මේ පැණිය පානය කළේ. එය නියමිත මාත්‍රාවට පානය කළා. මස් මාළු බිත්තර වැනි පිලී ජාති කෑමෙන් වැළකුණා. කියූ පිළිවෙත් සියල්ල රැක්කා. මම පැණි බෝතලය ගත්තේ ධම්මික අතින්මයි. දරුවන් හතර දෙනාත් මමත් බිරිඳත් එය පානය කළා. ලොකු දුවට උණ හැදුණා. ඇන්ටිජන් පරීක්ෂණයක් කළාම කොරෝනා. අපිත් පරීක්ෂණයට ලක්වුණාම අපිටත් කොරෝනා බව දැනගත්තා. ඔය පැණිය හදපු වෙද මහත්තයෙක් කියන පුද්ගලයා ඉන්නේ මගේ හෙට්ටිමුල්ලේ නිවසට කිලෝ මීටර දෙකක් පමණ නුදුරින්. ඒ නිසා පැපණිය සාර්ථක වෙන්න කියා Facebook සටහනක් පවා තැබුවා. එය කොරෝනාවලට ප්‍රතිකාරයක් නොවන බව දැන් පැහැදිලියි. මේ පැණිය ගන්න විශාල පිරිසක් අපේ ප්‍රදේශයට ආවා. දැන් ප්‍රදේශය පුරාම කොරෝනා පැතිරිලා. එසේ කොරෝනා පැතිරෙන්න මේ ධම්මික පැණියම හේතුවක් වෙන්න ඇති කියා හිතනවා.”
ඔහු පවසන්නේ තවදුරටත් මෙවැනි පැණි වර්ග ගැන විශ්වාසය නොතබන ලෙසයි.