spot_img
spot_imgspot_img

පාළුවට ගිය ගාලු කොටුවේ ව්‍යාපාරිකයෝ අමාරුවේ

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ සජීවී ලෝක උරුමයක් වන ගාල්ල කොටුව සංචාරකයන්ගෙන් පිරී ඉතිරී තිබීම සාමාන්‍ය දෙයකි. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ගාල්ලේ තරඟවදින දිනවල දී ගාල්ලේ සංචාරක සේවා සපයන කිසිදු ආයතනයක කාමර සොයාගත නොහැකිවන තරමට සංචාරකයෝ කොටුවට පැමිණෙති.

කොටුවේ නවාතැන් පහසුකම් සපයන පුද්ගලයන් පවසන‍්නේ එවැනි දිනවල දී සංචාරකයන් පැමිණ කාමර නැතිනම් නිදාගැනිමට සෝෆා එකක් ‍හෝ දෙන්න යැයි ඉල්ලන බවයි. නමුත් මේ වනවිට ගාල්ල සම්පූර්ණයෙන් ම හිස් වී තිබේ.

එංගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරඟ දෙකක් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවතිය ද ගාලු කොටුවේ සියලු වීදි පාළුවට ගොසිනි. මෙරට සීගිරිය හැරුණු විට වැඩිම ආකර්ශයනක් දිනාගත් ස්ථානය ලෙස සැළකෙන ගාල්ල කොටුවේ සංචාරකයන් කිසිවෙකුත් දක්නට නැත. ඉඳ හිට දැකිය හැකි විදේශිකයෝ ද මෙරට පදිංචිව ව්‍යාපාර පවතවාගෙන යන පුද්ගයෝය.

මේ පිළිබඳ ගාල්ල කොටුවේ සංචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන යන නාමන් ගුණවර්ධන මෙසේ කීවේය.

“සුද්දෙක් දැකපු කාලයක් මතක නැහැ. ඉස්සේලාම පාස්කු ප්‍රහාරය නිසා විදේශිකයන් ශ්‍රී ලංකාවට පැමිණීම  නැවතුනා. යන්තම් නැවත හිස ඔසවාගෙන ඇවිත් ආපහු සංචාරක කර්මාන්තය ආරම්භ වුණා විතරයි කොරෝනා වසංගතය නිසා ආපහු නැවතුනා. සමහර සති අන්තවල ශ්‍රී ලංංකාවේ අය කිහිප දෙනෙක් එනවා. ඒත් ඉතින් ඒකෙන් රටට ආදායමක් එන්නේ නැහැ. මේ සංචාරකයන් ශ්‍රී ලකාවට වැඩියෙන්ම එන කාලය. අපිට කිසිම ආදායමක් නැතිවෙලා තියෙන්නේ. සේවකයන් පවා අඩු කරන්න වුණා. ඒ අයට ජීවත් වෙන්නත් විදියක් නැහැ. මේ ප්‍රශ්නය අපිට විතරක් නෙවෙයි තැඹිලි විකුණන කෙනාට, ත්‍රී රෝද රථ රියදුරාට ඇතුළු හැමෝටම තියෙන ප්‍රශ්නයක්. මේ ගැටලු කවදා විස‍ඳෙයි ද කියලා හිතාගන්න බැහැ. සංචාරක ව්‍යාපාරය කියන්නේ අපි ඉගෙන ගත්තු රස්සාව. ඒක කරනවා ආරෙන්න අපිට වෙනත් රස්සාවක් කරන්න හැකියාවක් නැහැ. දැන් කර්මාන්තය සම්පූර්ණයෙන් ම විනාශ වෙලා තියෙන්නේ.

නාමන් ගුණවර්ධන

ගාල්ල කොටුවේ පැරණිතම ව්‍යාපාරික ස්ථානය දැන් පවත්වාගෙන යන්නේ චිරත් ද සිල්වා විසිනි. ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රකට සන්නිවේදන සමාගමක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙක් ලෙස සේවය කරමින් සිටිය දී ඉන් ඉවත්ව සංචාරක කර්මාන්තයට පිවිසියේ විශාල සැළසුමක් සහිතවය. එසේ වුව ද ඔහු දැන් සියල්ල අහිමි වූ පුද්ගලයකු බවට පත්ව සිටියි.

“මම විදේශීය සංචාරකයන් සහ දේශීය සංචාරකයන් සඳහා ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන යනවාට අමතරව සංචාරක මඟ පෙන්වන්නෙක් හැටියට කටයුතු කරනවා. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් පළමු අවුරුද්දේ සහරාන් ගැහුවා. දෙවැනි අවුරුද්දේ කොරෝනා ආවා. දැන් අතේ සතයක්වත් නැහැ. උගස් තියන්න පුළුවන් හැමදේම උගස් තියලා තියෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් සංචාරකයන් නැති වුණත් අපිට දේශීය සංචාරකයන් හිටියා. ඒත් කොරෝන නිසා දේශීය සංචාරකයන් පවා අපිට නැති වෙලා. පළමු කොරෝන රැල්ල අවසන් වුණාම මාර්තු අප්‍රේල් මාසවල අපිට සංචාරක ඇණවුම් කිහිපයක් තිබුණා. මේ වනවිට ඒවත් අවලංගු වෙලා. මට ඊළඟට සංචාරකයන් කණ්ඩායමක් එන්න නියමිත නොවැම්බර් 21 වැනි දා ඒත් ඇත්තටම ඔවුන් ඒවිද කියලා දන්නේ නැහැ.”

චිරත් ද සිල්වා

ව්‍යාපාරිකයන් පවසන්නේ කොටුවේ සංචාරක කර්මාන්තය මේ වනවිට බිඳ වැටී ඇති බැවින් එය වර්ධනය කිරීමට බව පවසමින් නගර සභාවෙන් කොටුවේ හිස් භූමි බද්දට ගෙන ෆුඩ් ෆෙස්ටිවල් පවත්වන බවයි. කොළඹින් විවිධ සමාගම් එම දිනවල ගාල්ලට පැමිණි මත්ද්‍රව්‍ය අළෙවි ස්ථානයේ සිට සියලුම ද්‍රව්‍ය අළෙවි කරන බවත් එයින් ගාල්ල කොටුවේ ව්‍යාපාරිකයන්ට නම් කිසිදු වාසියක් අත් නොවන බවත් ඔවුහු පෙන්වා දෙති. කොළඹින් එන ව්‍යාපාරිකයන් එහි සියලු ආදායම් උපයාගෙන කුණු පමණක් කොටුවේ ඉතිරිකර යන බව ඔවුහු පවසති.

ගාල්ල කොටුව ව්‍යාපාරික සංගමයේ සභාපති තිළිණ දමයන්ත මෙසේ කීවේය.

“ගාල්ල කොටුවේ සෑම නිවසකම පුංචි හෝ ව්‍යාපාරයක් කරනවා. නැත්නම් අඩුම ගණනේ කාට හෝ කොටසක් බදු දීලා තියෙනවා. සංචාරකයන් එන්නේ නැහැ කියන්නේ කොටුවේ සියලු දොනට ආදායම් අහිමිවීමක්. දැන් ව්‍යාපාර නැති නිසා කොටුවේ නිවාස බදු අරගෙන ව්‍යාපාර කරපු අය ඒවායෙන් ඉවත් වී යමින් තිබෙනවා. ඒ නිසා විශාල පිරිසකට මාසිකව තමන් ජීවත් වූ මදල් අහිමි වෙලා. රජයෙන් ව්‍යාපාරිකයන්ට පොළී රහිත ණයක් දුන්නා. ඒක ගත්තු අය කොරෝනා ඉවර වුණාම සංචාරක ව්‍යාපාරය හරි යාවි කියා හිතාගෙන් විවිධ ආයෝජන කළා. නමුත් කොරෝනා තවත් දිගට ඇදිලා යනවා. දැන් අර මාස ගණනක් දීපු සහන කාලය ඉවර වෙලා. ණය ගත්තු අය අවුරුදු දෙකකින් මේක ගෙවන්න ඕනෑ. දැන් කොරෝනාවලට අවුරුද්දක්ම වෙනවා. ව්‍යාපාරිකයන්ට ඒ ණයවත් ගෙවාගන්න ආදායමක් නැහැ.”

ගාල්ල කොටුව ව්‍යාපාරික සංගමයේ සභාපති තිළිණ දමයන්ත

ගාල්ලේ සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම පිළිබඳ සාකච්ඡා කිරීමට පසුගිය දා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්විණි. මේ රැස්විම සඳහා කොළඹ සිට පවා විවිධ පුද්ගලයන් සහ දේශපාලකයන් පවා පැමිණ සිටිය ද ගාල්ල කොටුවේ සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යන කිසිවෙකුට ආරාධනා කර නොතිබූ බව කොටුවේ ව්‍යාපාරිකයෝ චෝදනා කරති.

“ ගාල්ල කොටුවේ සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යන අපේ අදහස් සහ යෝජනා ගන්නේ නැතිව රජය සංචාරක ව්‍යාපාරය වර්ධනය කරන්නේන කොහොමද කියලා අපිට තේරුම් ගන්න බැහැ.” යැයි ඔවුහු කියති.

ඔවුන් පවසන්නේ ගාල්ලට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රධාන ඉලක්කය වන්නේ කොටුව නැරඹීම වුව ද සංචාරක තොරතුරු මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ නගර සභාව අසළ ධර්මපාල උද්‍යානයේ බවයි. තොරතුරු මධ්‍යස්ථානය කොටුවේ ස්ථාපිත කරන ලසෙ දිගින් දිගටම ඉල්ලා ඇතත් එය තවමත් ඉටු නොවූ බවත් ඔවුහු කියති. ඔවුන් පවසන්නේ තොරතුරු මධ්‍යස්ථාන‍ය ධර්මපාල උද්‍යානයේ පිහිටා තිබීමෙන් සංචාරකයන්ගේ අවධානය එතැනට යොමු නොවන බවයි.

ගාල්ල කොටුවේ සංචාරක නවාතැන් ස්ථානයක් පවත්වාගෙන යන රූපා රත්නායක මෙසේ කීවාය.

“මම කොටුවේ කෙනෙක් නෙවෙයි. නමුත් කොටුවේ නිවසක් කුලියට අරගෙන අපි නවතැන් ස්ථානයක් කරගෙන යනවා. වෙනදා එංගලන්ත කණ්ඩායම ආවම අපේ ස්ථානය සම්පූර්ණයෙන් ම පිරෙනවා. නමුත් අද මේවා පාළුවෙලා ගිහින්. කොරෝනා ආපු දවසේ ඉදලා කිසිම සංචාරකයෙක් ආවේ නැහැ. ඒ නිසා මම මාස ගණනක් වහලා දැම්මා. ක්‍රිකට් තරඟ තියෙන නිසා කවුරු හරි ඒවි කියලා විවෘත කළා. ඒත් කිසිම කෙනෙක් නැහැ.”

රූපා රත්නායක

ඇය එතැනම සැකසූ ආහාර අළෙවි සැළක් ද පවත්වාගෙන යයි. ඇය පවසන්නේ කොරෝනා ඇතිවීමට පෙර විදේශිකයන් සහ දේශීය සංචාරකයන් පමණක් නොව කොටුවේ පදිංචිකරුවෝ ද තම ආහාර ලබාගන්නා බවයි. නමුත් දැන් මාස ගණනකින් කිිසදු ආහාරයක් ඇය පිළියෙල කර නැත. රත්නායක මහත්මිය පවසන්නේ දැන් කිසිවෙකු කෑමට නොඑන බවයි. තමන්ට නිවසේ කුලිය හෝ ගෙවාගත නොහැකිව අසරණ වී සිටින බවත් වසර 20ක් පුරා පවත්වාගෙන ආ ව්‍යාපාරය බිඳ වැටී ඇති වත් ඇය පවසයි.

මේ අතර ව්‍යාපාරිකයන් කිහිප දෙනකු එකතු වී එකිනෙකා අතට මුදල් සංසරණය වීමටත්, තම වෙළෙද සැල් ක්‍රියාත්මක තත්ත්වයේ පවත්වාගැනීමත් අවශ්‍ය බැවින් ඔවුන් එක් එක් දිනවල දී එකිනෙකාගේ ව්‍යාපාරික ස්ථානවලට ගොස් තමන්ට හැකි පමණින් ආහාර ගැනීම් සහ මිලදී ගැනීම් සිදුකිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇත.

කොටුවේ මාර්ග පාළු වී ඇති අයුරු

“ඒකෙන් අපිට ලොකු ලාභයක් නෑ. නමුත් අපි ව්‍යාපාරයේ යෙදිලා ඉන්න ඕනෑ. නැතිනම් අපිට ඇත්තටම පිස්සු හැදෙයි. ඒ නිසා අපි කණ්ඩායම් හැදිලා අපේම දන්න අඳුනන අනෙක් ව්‍යාපාරිකයන්ගේ ස්ථානවලට ගිහින් මොනවා හරි ගන්නවා. නැත්නම් කෑම කනවා. මේකෙන් ලාභයක් නෑ. නමුත් හැමෝම දිරිමත් වෙනවා.” යැයි නාමන් ගුණවර්ධන මහතා කීවේය.

කොටුවේ සෑම වීදියක් ම පාලුවට ගොසිනි. වෙළෙඳ සැල් කිහිපයක් තැන තැන විවෘතව තිබුණ ද ඒවායේ ගනුදෙනු කරුවෝ නැත. ව්‍යාපාරිකයෝ කවදා හෝ තමන්ට යළි සංචාරක කර්මාන්ත‍යේ යෙදිය හැකි වනු ඇතැයි බලාපොරොත්තු සහගතව බලා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!