එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගෙන සිටින ගාල්ල ලයිට්හවුස් හෝටලයේ සේවකයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මොවුන් දෙදෙනා එහි මුළුතැන්ගේ සේවකයන් වන අතර වැලිගම හා රත්ගම පදිංචිකරුවන් දෙදෙනෙකි.
මෙරටට පැමිණි එංගලන්ත ක්‍රීඩක මොයින් අලිට ආසාදනය වී තිබුණේ කොරෝනා වයිරසයේ වඩාත් වේගයෙන් පැතිරෙන බවට හඳුනාගත් එංගලන්ත නව ප්‍රබේදය බව ද පසුගිය 13 වැනි දා සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර තිබිණි. මෙම සේවකයන් දෙදෙනාට ද ආසාදනය වී ඇත්තේ එම වයිරස ප්‍රබේදය ද යන්න පිළිබඳ සෞඛ්‍ය අංශවල අවධානය මේ වනවිටත් යොමු වී තිබේ.
එංගලන්ත ක්‍රීඩකයන්ගේ අවශ්‍යතා හේතුවෙන් ක්‍රීඩා පිටියේ සේවය සඳහා දෛනිකව පිටත්ව යන හෝටල් සේවකයන් 10 දෙනකුට තරඟ ආරම්භයට පෙර පීසීආර් පරීක්ෂණ සිදුකළ අතර ඔවුන්ට කොරෝනා ආසාදනය වී තිබුණේ නැත.
මෙම සේවකයන් දෙදෙනා රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ඔවුන්ගේ ජෛව සාම්පල යුද හමුදා වෛද්‍ය කණ්ඩායමක් විසින් ලබාගෙන කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔවුන් දෙදෙනා ආසාදිත බව හඳුනාගෙන තිබේ. හෝටල් පරිපාලනය සඳහන් කරන්නේ මෙලෙස වයිරසය ආසාදනය වී ඇති සේවකයන් දෙදෙනා කිසිම අවස්ථාවක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා සෘජුව සම්බන්ධ නොවූ බවයි.