ගාල්ලේ ගිංතොට නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ඇය අද (14) මියගොස් ඇති බවත් මරණයට හේතුව කොරෝනා ආසාදනය සමඟ ඇති වූ වකුගඩු සංකූලතාවක් හා ශ්වසන මාර්ගයේ ආසාදනයක් බවත් දැනුම් දී ඇත.
මේ මරණයත් සමඟ කොරෝනා හේතුවෙන් මියගිය ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි කරුවන් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ යන අතර කාන්තාවකගේ මරණයක් වාර්තා වූ පළමු අවස්ථාව ද මෙය වෙයි.
මෙතෙක් මියගිය ගාල්ලේ පදිංචිකරුවන්ගේ මරණ 05න් කිසිදු මරණයක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා නිල වශයෙන් නිවේදනය කර තිබුණේ නැත. මෙය ඔහු විසින් නිල වශයෙන් නිවේදනය කළ පළමු මරණය ද වෙයි.