spot_img
spot_imgspot_img

ගාල්ල ආසිරි රෝහලේ ආසාදිතයකු හමුවීමෙන් පසු සිදුවූ දේ

පුවත්

විදෙස්

ගාල්ල ආසිරි රෝහලේ දී ඊයේ (12) සවස ආසාදිත බව තහවුරු කරගත් පුද්ගලයකු ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විදයා අංශයට දැනුම් දී රජයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යැවීමට කටයුතු කළ බව ආසිරි රෝහ‍ලේ සාමාන්‍යාධිකාරී වෛද්‍ය මහේෂ් කණ්ඩම්බි පවසයි.

රෝහලට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණ සිටි එම පුද්ගලයා ආසාදිත බව තහවුරු කරගෙන ඇත්තේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකිනි. ඔහු ආසාදිත බව හඳුනාගත් වහාම රෝහලේ නිරෝධායන කාමරයට යොමුකර ඒ පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග අංශය සහ ගාල්ල නාගරික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා දැනුම්වත් කිරීමට කටයුතු කළ බව ද වෛද්‍ය කණ්ඩම්බි පවසයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“කොරෝනා වසංගතය ආරම්භ වූ දිනයේ පටන් අපි ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සකසා තිබෙනවා. රෝහලට පැමිණෙන සියලු දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා අපි වගකිව යුතුයි. මෙම තැනැත්තා රෝහලට එන්නේ තමන් ආසාදිතයකු හෝ ආසාදිත අයකුගේ ආශ්‍රිතයකු හෝ බව නොදැන. රෝහලේ ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව ඔහු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු කිරීමෙන් ආසාදිත බව හඳුනාගත් වහාම කාමර අංක 14ට යොමු කළා. එම කාමරය නිරෝධායන ඒකකයක් ලෙස වෙන්කර තිබෙන ස්ථානයක්. රෝගියාට අපි සියලු කරුණු පැහැදිලි කරලා ඔහුගේ මානසිකත්වය ගොඩනැගීමට කටයුතු කළා. අපි සියල්ල බලාගන්නා බවත් අවශ්‍යතා සියල්ල ඉටුකරන බවත් කීවා. මේ අතරම රජයේ සෞඛ්‍ය අංශ දැනුම්වත් කළා අප රෝහලේ දී ආසාදිත පුද්ගලයකු හමුවූ බව. සාමාන්‍ය නීතිය අනුව ආසාදිත පුද්ගලයකු අපිට අපේ ගිලන් රථයකින් කොරොනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යැවිය නොහැකියි. වසංගත රෝග විද්‍යා අංශයත් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයත් සම්බන්ධීකරණයෙන් ගිලන් රථයක් පැමිණ එම ආසාදිතයා රැගෙන යාමට පැය කිහිපයක් ගත වුණා. ඒ සම්පූර්ණ කාලයම ආසාදිත පුද්ගලයා හිටියේ හුදකලා කාමරයේ. ඔහුට අවශ්‍ය සියලු පහසුකම් අපි සපපයා දුන්නා. ඒ වගේම ඔහුගේ ආශ්‍රිතයන් වූ සියලු දෙනාට අපි උපදෙස් ලබාදුන්නා විතරක් නෙවෙයි එම ආසාදිතයාගෙන් සෞඛ්‍ය ආරක්ෂිතව තොරතුරු ලබාගනිමින් ඒ පිළිබඳ සම්පූර්ණ විස්තර වාර්තාවක් සෞඛ්‍ය බලධාරීන් වෙත ලබා දුන්නා.”

ආසාදිතයාගෙන් තොරතුරු ලබාගැනීම ඉතා අපහසු කාර්යයක් බවත් ඔහු වරින් වර පරස්පර විරෝධී කරුණු පැවසූ බවත් රෝහල් බලධාරීන් පවසයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා එම රෝගියාගේ දුරකථනයට ඇමතුම් ගෙන විමසන අවස්ථාවල දී දුරකථනය ක්‍රියාවිරහිත කරන බවත් වරින් වර වෙනත් දුරකථන අංක ලබාදෙන බවත් ඔවුහු කියති.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ ම එම ආසාදිතයා රෝහල්ගත කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.

ආසිරි රෝහලේ බලධාරීන් පවසන්නේ ආසාදිත පුද්ගලයා වාර්තා වූ අවස්ථාවේ දී ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් හා ජාත්‍යන්තර පිළිගත් ක්‍රමවේදයන්ට අනුව එම පුද්ගලයා සිටි ප්‍රදේශ විෂබීජහරණය කිරීමට ද කටයුතු කළ බවයි.

ආසාදිතයකු වාර්තාවීමෙන් පසු රජයේ සෞඛ්‍ය අංශ දැනුම්වත් කර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරන බවත් අවදානම් තක්සේරුවකින් පසු අවශ්‍ය කටයුතු සිදුකරන බවත් පවසන සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටියේ සෞඛ්‍ය අංශයෙන් ලැබුණු උපදෙස් මත රෝගී සත්කාරක සේවා නොනවත්වා අඛණ්ඩව පවත්වාගෙන යා හැකි බවයි.

“අපි රෝහල පවත්වාගෙන යන්නේ සම්පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායන් අනුගමනය කරමින්. ගාල්ල නගරය හා ඒ අවට කොරෝනා වයිරසය පැතිර තිබෙනවා. ඇතැම් අවස්ථාවල දී ආසාදිත පුද්ගලයන් තමන් ආසාදිත බව නොදැන රෝහලට පැමිණිය හැකි බැවින් රෝගී සත්කාරක සේවා ලබාගැනීමට පැමිණෙන සියලු දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ අපි වාඩාත් සැළකිල්ලක් දක්වනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා කිසිදු බියක් ඇතිකරගන්නේ නැතිව රෝගී සත්කාරක සේවා ලබාගැනීම සඳහා රෝහලට පැමිණිය හැකි බව. සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙන් අනුව අපේ රෝහල සුරක්ෂිත පරිශ්‍රයක් බවට පත්කර තිබෙනවා.”

සාමාන්‍යාධිකරී වෛද්‍ය මහේෂ් කණ්ඩම්බි වැඩිදුරටත් කීවේය.

සෞඛ්‍ය අංශ පවසන්නේ පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමේ දී පුද්ගල ජෛව සාම්පල ලබාගන්නා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂිත ඇඳුම් සහ මුහුණු ආවරණ පැළඳ අත්ආවරණ ද භාවිතා කළ යුතු බවයි. සෑම සාම්පලයක් ගැනීමේ දී ම අත් ආවරණ මරු කළ යුතුය. ඔවුන් විසින් සාම්පල ලබාගන්නා පුද්ගලයකු ආසාදිතයකු බවට තහවුරු වුව ද ආරක්ෂිතව කටයුතු කරන බැවින් එම සේවකයන් නිරෝදායනයට යොමු කිරීම අනවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වෙයි.

ආසිරි රෝහලේ බලධාරීන් පවසන්නේ ඊයේ ආසාදිත වූ පුද්ගලයාගේ සාම්පල ලබාගත් තැනැත්තා එම ආරක්ෂිත ක්‍රමේාපායයයන් අනුගමනය කළ බැවින් රෝධායනයට යොමු කිරීමේ අවශ්‍යතාවක් නොවූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!