නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද මෝටර් රථ 12ක් ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙන ඇත. ඒවායේ වටිනාකම රුපියල් කෝටි 05ක් ඉක්මවන බව ද වාර්තා වේ.
ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය මගින් කරන ලද සෝදිසි කිරීමකින් පසු මෙම මෝටර් රථ 12 රේගුව භාරයට ගෙන ඇත. ටොයොටා හයිඑස් වෑන් 02ක්, ටොයොටා විට්ස් කාර් රථ 03ක් නිසාන් මිනි වෑන් 01ක්, හයිජෙට් මිනි වූන් 03ක් සහ හස්ට්ල්ර් වැගන් 03ක් මෙලස හමුවී ඇත.
කොළඹ, ඔරුගොඩවත්ත වැලිගම්පිටිය ග්‍රේ ලයින් බහාලුම් අංගනයේ දී මෙම බහාලුම් විවෘත කිරීම සිදු කළ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න කීවේය.
සිංගප්පූරුවේ සිට කොළඹ ප්‍රධාන පෙළේ රටකට අයත් මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරනු ලබනු පුද්ගලයෙකුගේ නමට තානාපති වරප්‍රසාද යටතේ කොළඹ වරායට එවා තිබු අඩි 40ක බහාලුම් තුනක මෙම රථ තිබී ඇත.
මෙම බහාලුම් පිළිබඳව රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන්ට ඇති වූ සැකය මත මේ පිළිබඳව සොයා බැලීමේදී මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීවරයා එවැනි ආනයනයක් සිදු කර නොමැති බව අනාවරණය විය.
රේගු නිලධාරීන් විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර කොළඹ වරායේ සේවය කරන ලිපිකරුවකු පසුගිය ජනවාරි මස 07 වෙනිදා දින සැකපිට අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 20 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.