spot_img
spot_imgspot_img

භූමදානයට පක්ෂ වූවා යැයි මහාචාර්ය නීලිකා මලවිගේට මඩ ප්‍රහාරයක්

පුවත්

විදෙස්

ඉස්ලාම් භක්තික කොරෝනා ආසාදිතයින්ගේ සිරුරු භූමදානය කිරීමේ අවස්ථාව මෙතෙක් ලබා නොදීම හමුවේ මුස්ලිම් ප්‍රජාව තුළ විශාල විරෝධතාවයක් මතු වී ඇත. එසේම මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිවේද හා අණුක වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානි, මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ අදහස් දැක්වීම් කෙරෙහි ද පසුගිය දිනවල බොහෝ දෙනා අවධානය යොමු කර තිබුනා. 

මෙවන් පසුබිමක, කොරෝනා වෛරසය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භුමදානය කිරීමට පක්ෂව මහාචාර්ය නීලිකා මලවිගේ අදහස් දැක්වූ බැවින් ලංකාවේ ප්‍රධාන වාණිජ සමාගමක් වන අක්බාර් සමාගම, ඇයට නවීන විද්‍යාගාරයක් ලබාදීමට කටයුතු කර ඇති බවට පුවත් රැසක් හුවමාරු වී තිබෙනු අපට දැකගනන්ට ලැබුණා. නමුත් අපගේ විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ එය නොමඟ යවන සුළු ආකාරයෙන් පළකර තිබු අසත්‍ය පුවතක් බවයි.

සමාජ මාධ්‍ය සටහන්: 

“භුමදානයට පක්ෂව අදහස් දැක්වූ මහාචාර්ය නීලිකා මලවිගේට අක්බාර් සමාගමෙන් නවීන විද්‍යාගාරයක්” සිරස්තලයෙන් එක්තරා වෙබ් අඩවියක් දෙසැම්බර් මස 31 වැනිදා පහත පුවත ඉදිරිපත් කර තිබුණා.

“කොරෝනා වෛරසය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භුමදානය කිරීම සම්බන්ධයෙන් ඊට පක්ෂව අදහස් දැක්වූ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියට නවීන විද්‍යාගාරයක් ලබාදීම සඳහා අක්බාර් සමාගම කටයුතු කරමින් සිටින බව එම සමාගමේ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා. මහාචාර්යවරිය ඒ සඳහා ව්‍යාපෘති වාර්තාවක් සමාගමට ලබා දී ඇති බවත් අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ඊට ලැබුණු බවත් දැනගන්නට ඇත.”

මෙම සටහන් නොයෙක් අයුරින් ඉදිරිපත්ව තිබූ අතර විවිධ ෆේස්බුක් පිටු සහ සමුහ රැසක ද ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණා

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම

මෙම කරුණ සම්බන්ධයෙන් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගෙන් හා අක්බාර් සමාගමෙන් කරුණු විමසීමක් සිදුකිරීමට අප අදහස් කළා.

මහාචාර්ය නීලිකා මලවිගේ:

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විද්‍යුත් තැපෑල මඟින් කරුණු පැහැදිලි කිරීමක් අප වෙත ලබාදී තිබුණා. එහි ප්‍රධාන කරුණු මෙසේය.

“අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය,  සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් නොවන බැවින්, COVID-19 සඳහා PCR පරීක්ෂණ සිදු කිරීමට අප ආයතනය බැඳී නොමැත. කෙසේ වෙතත්එය ජාතික වගකීමක් යැයි අපට හැඟුණු නිසා,  2020 වසරේ වසරේ මාර්තු මාසයේ සිට කිසිඳු මූල්‍යමය වාසියක් නොමැතිව, බොහෝ දුෂ්කරතා මධ්‍යයේ වුවද, COVID-19 PCR පරීක්ෂණ සිදු කිරීම අප කණ්ඩායම විසින් සම්පූර්ණයෙන්ම ස්වේච්ඡාවෙන් ආරම්භ කළා. අපගේ මුළු කණ්ඩායම ම එම කටයුතු ඉතාම කැපවීමකින් සිදුකරනවා.

කෙසේ වෙතත්අපගේ PCR ධාරිතාව ඉහළ නැංවිය හැකිදැයි සලකා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය  අමාත්‍යාංශය පසුගිය දා විමසා සිටියා. ඒ සඳහා තාවකාලික බහාලුම් විද්‍යාගාරයක් (container lab) පිහිටුවීම පිළිබඳව අප හා විශ්ව විද්‍යාල බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සමාගම් කිහිපයක නියෝජිතයින් ද ඔවුන් අප වෙත යොමු කර තිබෙනවා. අක්බාර් සමාගම ද ඉන් එක් ආයතනයක්.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ අනුමැතිය සහ නීතීන්ට යටත්ව රසායනාගාරයක් පරිත්‍යාග කිරීමට අක්බාර් සමාගම හෝ වෙනත් කිසිඳු හෝ සමාගමක් එකඟ වන්නේ නම් එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විශ්ව විද්‍යාල බලධාරීන් අතර ගිවිසුමක් යටතේ රසායනාගාරයක් ලබාදෙනු ඇත.

එවැනි රසායනාගාරයක් අපගේ විශ්ව විද්‍යාලයේ පිහිටුවීම යනු මට සහ සෙසු කාර්ය මණ්ඩලයට කාර්යභාරයන් වැඩිවීමක් පමණි. එමඟින් මට හෝ මාගේ කාර්ය මණ්ඩලයට කිසිඳු මූල්‍යමය හෝ පෞද්ගලික වාසියක් ලැබෙන්නේ නැති අතර එවැනි රසායනාගාරයක් ලැබුණහොත් එමඟින් ප්‍රතිලාභ ලබන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවටයි. 

අප කණ්ඩායම මෙතරම් වෙහෙස මහන්සි වී වැඩ කරන අවස්ථාවක මෙබඳු අසත්‍ය පුවත් හරහා අපව අපකීර්තියට පත් කිරීම ඇත්තෙන්ම කණගාටුදායක තත්වයක්. සමාජ මාධ්‍යයේ මෙවැනි සටහන් සංසරණය වීම ඉතාමත් අවසනාවන්ත සිදුවීමක් වන අතරසාමාන්‍ය ජනතාව මෙවැනි ව්‍යාජ පුවත් විශ්වාස කිරීම ඊටත් වඩා කණගාටුදායක ය.”

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ එම පැහැදිලි කිරීම් අනුව PCR ධාරිතාව ඉහළ නැංවීම සඳහා අක්බාර් සමාගම හෝ වෙනත් සමාගමක් තාවකාලික බහාලුම් විද්‍යාගාරයක් (container lab) ලබාදීමට එකඟ වුවහොත් එය ලැබෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට විනා මහාචාර්ය මලවිගේට නොවන බව පැහැදිලිය.

අක්බාර් සමාගමේ පැහැදිළි කිරීම

ෆේස්බුක් ජාලයේ සැරිසරන මෙම සටහන්හි අන්තර්ගතය පිළිබඳව කරුණු විමසීම සඳහා අක්බාර් සමාගමේ සභාපති අස්ගි අක්බර්අලි මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු. 

විද්‍යාගාරයක් ලබාදීමේ සාකච්ඡාව පැවැත්වූයේ අක්බාර් සමුහය යටතේ පවතින අක්බාර් ෆාමසියුටිකල්ස් පුද්ගලික සමාගම (Akbar Pharmaceuticals (Pvt) Ltdසමඟ වුවද මෑතකදී ඇතිවූ ඒකාබද්ධ වීමත් සමඟ (merger) එහි වැඩි කොටස් හිමිකාරිත්වයක් දැන් දරන්නේ සන්ෂයින් හෝල්ඩිනස් (Sunshine Holdings) සමාගම  බැවින්, අක්බාර් සමාගම සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අතර සාකච්ඡාවක් බව පැවසීම නිවැරදි නොවන බව පැහැදිලි කර සිටියා.

අක්බාර් ෆාමසියුටිකල්ස් පුද්ගලක සමාගමේ ප්‍රධාන කොටස්කරුවා ලෙස සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම (72% ක හිමිකාරිත්වය සමඟ) ට හිමියි

අක්බාර් ෆාමසියුටිකල්ස් පුද්ගලික සමාගම මෙසේ විද්‍යාගාරයක් පරිත්‍යාග කළහොත් එය ලැබෙනුයේ ලංකාවේ රජයට විනා කිසියම් පුද්ගලයකුට නොවන බව ද අක්බාර් සමාගමේ සභාපතිතුමා අවධාරණය කළේය. 

එසේම මෙම විද්‍යාගාරය ලබාදීමේ කටයුතු පිලිබඳ තවම අවසන් එකඟතාවයක් නොමැති බවත්, ඒ පිළිබඳව ව්‍යාපෘති වාර්තාවක් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අක්බාර් සමාගම වෙත ඉදිරිපත් කර නොමැති බවත් පවසා සිටියා. එබැවින් අක්බාර් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය එවැනි වාර්තාවක් අනුමත කර ඇති බවට පළ වන සටහන් සියල්ලම ද සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව සභාපති තුමා වැඩිදුරටත් අවධාරණය කර සිටියා. 

කෝවිඩ්-19 පළමු රැල්ල ඇති වූ අවස්ථාවේදී, අක්බාර් සමාගම රුපියල් මිලියන 50ක් රජයේ කෝවිඩ් මර්දන අරමුදලට පරිත්‍යාග කළ බවද පැවසීය. එම ප්‍රදානය පිළිබඳව 2020 අප්‍රේල් මස පළවූ පුවත් පත් වාර්තා ද පළවී තිබේ

මහාචාර්යවරියගේ ප්‍රකාශ

මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රකාශයක් මුල්කරගනිමින් මෙම පුවත් මුලින්ම නිර්මාණය වී තිබූ බැවින් ඇය විසින් සිදු කර තිබු මෙම පුවත පලවී තිබු දිනට පෙර අදහස් දැක්වීම් පිළිබඳව විමර්ශනයක් ද සිදු කළෙමු.

ඊට දිනකට පෙර, එනම් දෙසැම්බර් මස 30 වැනිදා මහාචාර්ය මලික් පිරිස් මහතා සහ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සහභාගී වූ වෙබිනාර්(webinar) සාකච්ඡාවක් අපට The College of Community Physicians of Sri Lanka ෆේස්බුක් පිටුව හරහා දැකගනන්ට ලැබුණා. 

ඩෙන්මාර්කයේ මින්ක් සතුන් නිසි පරිදි වළ නොදැමීම හේතුවෙන් ඇතිවූ තත්වය පිලිබඳ ව මහාචාර්ය වරුන් දෙදෙනාම එහිදී අදහස් දැක්වූ බවක් දැකගනන්ට ලැබුණා. එමඟින් කොවිඩ් ව්‍යාප්ත වීමේ අවදානමක් පිලිබඳ ලංකාවේ හුවමාරු වන පුවත් පදනම් විරහිත බව ඔවුන් දෙදෙනාම පවසා තිබුණා. එනමුත් මුස්ලිම් සිරුරු භූමිදානය පිළිබඳ සාකච්ඡාවක් එහිදී දැක ගණනට ලැබුනේ නැහැ.

එසේම ජනවාරි මස 02 වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවේදී කොරෝනා ආසාදිත මෘතදේහයන් භූමදානය කිරීම පිළිබඳව විග්‍රහයක් සම්බන්ධයෙන් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගෙන් මාධ්‍යවේදියෙකු විමසා තිබුනා. 

ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ මත රජයේ තීන්දුව ඉදිරියේදී ප්‍රකාශ කරනු ඇති බවත් එහිදී සලකා බලමින් ඇත්තේ විද්‍යාත්මක පැත්තෙන් පමණක් නොවන බවක් ද පෙනී යන බව පවසමින් ඒ සම්බන්ධයෙන් තමා අදහස් දැක්වීමෙන් වැළකී සිටින බව ඇය පවසා තිබුණා.

Conclusion (අවසාන නිගමනය)

අපගේ අනාවරණයෙන් පැහැදිලි වුයේ කොවිඩ්19 සඳහා සිදුකෙරෙන PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා තාවකාලික බහාලුම් විද්‍යාගාරයක් (container lab) ලබාදීම පිලිබඳ අක්බාර් සමාගම ඇතුළු සමාගම් කිහිපයක් සමඟ සකච්ඡා පැවතිය ද මෙතෙක් අවසන් තීරණයක් ලැබී නැති බවයි.

සන්ෂයින් හෝල්ඩිනස් සමාගම ප්‍රධාන කොටස් හිමිකාරිත්වයක් දක්වන අක්බාර් ෆාමසියුටිකල්ස් පුද්ගලක සමාගම විසින් මෙසේ කන්ටේනර් විද්‍යාගාරයක් ලබාදීමට ඉදිරියේ දී එකඟ වුවද එය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විශ්ව විද්‍යාල බලධාරීන් අතර ගිවිසුමක් යටතේ ලබාදෙනුයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මිස මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියට නොවෙයි.

මහාචාර්යවරිය මේ සම්බන්ධයෙන් ව්‍යාපෘති වාර්තාවක් අක්බාර් සමාගමට ලබා දී තිබුනේ ද නැති බැවින් අක්බාර් සමාගමේ අධක්ෂක මණ්ඩලය එවැන්නක් අනුමත කර තිබුනේ ද නැහැ.

(මෙම තොරතුරවල සත්‍ය අසත්‍යතාව සොයා බලා එය වාර්තා කර ඇති වෙබ් අඩවියේ පළමු සබැඳිය පහතින් සඳහන් කර ඇත. )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!