“තනතුරුවලට එන කවුරුත් අපිට එපා” – අගමැති

0
30

20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කිසිඳු ගැටලුවක් ඇති නොවන බවට තමන්ට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

එමෙන්ම මේ වන විට රට ආරක්ෂිත බවත් ඒ සම්බන්දයෙන් බොහෝ අවධානය යොමුකර කටයුතු කරන බවත්, අද (29) අරලියගහ මන්දිරයේ දී විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරුන් සහ පුවත්පත් කතුවරුන් අතර පැවති හමුවේ දී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම හමුවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ මතය කුමක්ද ?

අගමැති – ආණ්ඩුවක් වුණාම, ආණ්ඩුව ගන්න මතය තමයි මගේ මතය වෙන්නෙ. 20 වැනි සංශෝධනයට කිසි ගැටලුවක් වෙන්නෙ නැහැ.

මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවට සම්බන්ධව සිටින පක්ෂ විසින් කමිටු පත්කරලා තියෙනවා නේද ?

අගමැති – හැම පක්ෂයකටම ඒ සම්බන්ධයෙන් කමිටු පත්කරන්න අයිතියක් තියෙනවා. නමුත් අවසානයේ අපි එක මතයකට එනවා. විසිවැනි සංශෝධනය ගැන අපි සියලු දෙනා සමඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී කතා කළා. මම දැක්කා විපක්ෂයත් කමිටුවක් පත් කරලා තිබුණා.

මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනයෙන් පසුව අග්‍රාමාත්‍යතුමා නාමික වෙනවා ද ?

අගමැති –  නෑ. නාමික වෙන්නෙ නෑ. අග්‍රාමාත්‍යතුමා අතේ තමයි ඒක තියෙන්නෙ.

මාධ්‍යවේදියා – ඉන්දීය අග්‍රාමාත්‍යතුමා සමඟ පැවැති සාකච්ඡාවේදී 13 වැනි සංශෝධනයට බල කළා කියලා මාධ්‍යයට වාර්තා ඉදිරිපත් වුණා.

අගමැති – දැනට තිබෙන ව්‍යවස්ථාව තමයි ක්‍රියාත්මක වෙන්නෙ. පළාත් සභා මැතිවරණය කල්දැම්මෙ කවුද ? ඡන්ද නොතියා හිටියෙ කවුද කියලා ඔබ දන්නවා. අපි කළේ නියමිත පරිදි ඡන්ද තියපු එක.  

මාධ්‍යවේදියා – අලුත් ව්‍යවස්ථාවක් ගෙන එනවාද ?

අමාත්‍ය උදය ගම්මන්පිල – අමාත්‍ය මණ්ඩලය නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා. ඒ සඳහා ජනමත විචාරණයකට යන්න වෙනවා.

අගමැති – මුළු ව්‍යවස්ථාවම වෙනස් වෙනවා නම් ජනමත විචාරණයකට යන්න අවශ්‍යයයි. හැබැයි අපට ඒ ජනවරම පැහැදිලිව ලැබිලා තියෙනවා.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල – 19 ව්‍යවස්ථාව ඉවත් කළ යුතුයි කියලයි ජනවරම ලැබුණෙ. එය කෙටි කාලින විසඳුම. අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම දිගුකාලීන විසඳුම වෙනවා.

මාධ්‍යවේදියා – අග්‍රාමාත්‍යතුමා දේශපාලනයෙන් විශ්‍රාම යනවා කියලා ප්‍රවෘත්තියක් පළවෙලා තිබුණා ?

අගමැති – දේශපාලඥයො කවුද විශ්‍රාම ගියේ ? මම විශ්‍රාම යන්නෙ නැහැ.

මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනය සම්මත වෙන්න දෙන්නෙ නැහැ කියලා එක පැත්තක් කියද්දි විස්සට විස්සක් ගන්නවා කියලා ආණ්ඩුවෙන් කියනවා.

අගමැති – අපට තුනෙන් දෙකක බලයක් ජනතාව දී තිබෙනවා. පක්ෂවලට, පුද්ගලයන්ට තව තව මතවාද තියෙන්න පුළුවන්. ස්ථිර ලෙසම අපට තුනෙන් දෙක තියෙනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා.

මාධ්‍යවේදියා – කොවිඩ්-19 නිසා ලෝකයේ සෑම රටකම ආර්ථිකයට බලපෑම් එල්ල වී තිබෙනවා. ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කීරීමට ගන්න පියවර මොනවාද ? විදෙස් ණය ගෙවා ගත හැකිද ?

අගමැති – දේශීය ආර්ථිකයට මුල්තැන දීම තමයි රජයේ ප්‍රතිපත්තිය. ඒ වෙනුවෙන් ආණ්ඩුව දේශීය කර්මාන්ත නඟාසිටුවීමට දැනටමත් පියවර ගනිමින් සිටිනවා. අපි මොනදේ තිබුණත් වෙලාවට ණය ගෙවලා තිබෙනවා.

මාධ්‍යවේදියා – පොල් ගැන ලොකු ආන්දෝලනයක් තිබෙනවා.

අගමැති –  කවදත් පොල් සම්බන්ධයෙන් මෙවැනි තත්ත්වයන් තිබුණා. අපට පාරිභෝගිකයා වැදගත්. ඒ නිසා පාලන මිලක් සම්බන්ධයෙන් වන යෝජනාව හොඳයි. එය විධිමත්ව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. 

මාධ්‍යවේදියා – ආණ්ඩුව ගැසට් ගහනවා. ආයෙ හකුළ ගන්නවා කියලා චෝදනාවක් තියෙනවා.

අගමැති –  ඒකෙන් පෙනෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙන මොකුත් නෙමෙයි. පොල් පිළිබඳව ප්‍රශ්නය නිරාකරණය කරන්න විෂය භාර අමාත්‍යවරයාට මම ඒ බව දන්වනවා. 

මාධ්‍යවේදියා –  කහ ප්‍රශ්නය නිරාකරණය වනතුරු රටින් කහ ආනයනය කළ නොහැකිද ?

අගමැති – දේශීය ගොවියා දැන් කහ වගා කරමින් සිටින්නෙ. ඔවුන්ව අධෛර්යමත් කරන්න අපට බැහැ. ඒ නිසා දේශිය කහ ගොවියා ධෛර්යමත් කරන්න නම් මේ තත්ත්වයට මුහුණ දෙමින් අප ඉදිරියට යා යුතුයි. පිටරටින් ආයෙමත් කහ ගෙන්නුවොත් ගොවීන් වගාව අත්හරිනවා.

මාධ්‍යවේදියා – වාහන සහ වාහන අමතර කොටස් ඉතා අධික මිලක් යටතේ අලෙවි වීමෙන් දුෂ්කරතා රැසක් මතුවී තිබෙනවා.

අගමැති –  අමතර කොටස් ගෙන්වන්න කියලා තියෙන්නෙ. අමතර කොටස් ගෙන්වීමේ බාධාවක් නැහැ.

මාධ්‍යවේදියා – ගුවන් තොටුපළ විවෘත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවාද ?

අගමැති – කොවිඩ්-19 තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි එය කළ යුත්තෙ. අපි ඉන්දියාවේ තත්ත්වය යුරෝපයේ තත්ත්වය සැළකිල්ලට ගෙන ඒ ගැන අවධානය යොමු කරලා තියෙනවා.

මාධ්‍යවේදියා – පාසල්වල ළමුන් ඇතුළත් කිරීමේ දී පදිංචියට අදාළව ළමුන් ඇතුළත් නොකර ගැනීමෙන් අසාධාරණයක් වී තිබෙනවා.

අමාත්‍ය විමල් වීරවංශ මහතා – ඡන්ද හිමි නාම ලේඛනයේ නම තිබීම ප්‍රමාණවත් කියලා දැනට කැබිනෙට්ටුවේ මේ ප්‍රශ්නය සාකච්ඡාවට ගෙන තිබෙනවා.

මාධ්‍යවේදියා – අනවසර ඉන්දීය ධීවර ප්‍රශ්නය ගැන විසඳුමක් තිබේ ද ?

අගමැති – අනවසර ඉන්දීය ධීවර ප්‍රශ්නය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කළා. රටක් විදියට ගත යුතු ක්‍රියාමාර්ග අපි නාවික හමුදාවට දැනුම් දී තිබෙනවා.

අමාත්‍ය ඩග්ලස් දේවානන්දා – ඉන්දීය අගමැතිතුමාට මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නාම පැහැදිලි පිළිතුරක් ලැබුණෙ නැහැ. දකුණු ඉන්දියාවේ මහ ඇමැතිතුමා එක්ක කතා කරලා විසඳුමක් දෙන්න කියලා අපි එතුමාගෙන් ඉල්ලා සිටියා.

මාධ්‍යවේදියා – තිලීපන් සැමරීමට ඉල්ලමින් උතුරේ හර්තාල් ක්‍රියාත්මක වෙනවා ආණ්ඩුව මේ තත්ත්වයට මුහුණ දෙන්නෙ කොහොමද ? පසුගිය කාලයේ වගේ තත්ත්වයක් නැවත ඇතිවෙයිද ?

අගමැති – එහෙම එකක් නැවත ඇතිවෙන්නෙ නැහැ. රට ආරක්ෂිතයි. ආරක්ෂාව සම්බන්ධයෙන් අපි බොහෝ අවධානය යොමුකර කටයුතු කරනවා. නැවත උතුරේ එවැනි තත්ත්වයක් ඇතිවෙනවා නම් පසුගිය කාලේ දුන්න උත්තරේම තමයි උත්තරේ.

මාධ්‍යවේදියා – එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ යටින් යන වැඩපිළිවෙළක් තියෙනවාද ?

අගමැති – අපි යටින් වැඩ කරන්නෙ නැහැ. එම්.සී.සී ගැන අපි යටින් සාකච්ඡා කළේ නැහැ. දැනට එහෙම සාකච්ඡාවක් වෙලත් නැතිව එහෙම ප්‍රශ්නයක් ගැන කතා කරන්නෙ මොකටද ?

මාධ්‍යවේදියා – විස්සට අත උස්සන්න ආණ්ඩුවට ගන්න මන්ත්‍රීවරුන්ට තනතුරු දෙනවාද ?

අගමැති –  අපට 150 තියෙනවා. තනතුරුවලට එන මන්ත්‍රීවරුන් දැන් නෑ. මේකත් කියන්න උවමනායි. මම නම් 19 ට ඡන්දෙ දුන්නෙ නෑ. 

අමාත්‍ය විමල් වීරවංශ – 20ට විරෝධය දක්වන්න පාර්ලිමේන්තු විරෝධයට ආපු නැති අය ගැන හෙව්වොත් කවුද අපට සහය දෙන්නෙ කියලා හොයා ගන්න පුළුවන් වෙයි.

මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනයට ඔබතුමා පත්කළ කමිටුවේ වාර්තාව සමාජගත නොකළේ ඇයි ?

අගමැති – ඒක මට බලාගන්න දීපු එකක්. අවශ්‍ය සංශෝධන කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කළ හැකියි.

අමාත්‍ය විමල් වීරවංශ – කමිටුවේ නිර්දේශ ලැබුණා. ඒවා සාකච්ඡා කරලා. අග්‍රාමාත්‍යතුමාගේ සංශෝධන සහ කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කරන සංශෝධන ගැන ජනාධිපතිතුමා සමඟත් සාකච්ඡා කරලා එකඟත්වයකට පැමිණිලයි තිබෙන්නෙ.

මාධ්‍යවේදියා – මත්කුඩු ජවාරම සමාජයට පිළිලයක් වී තිබෙනවා. මේ සඳහා ස්ථීර විසඳුමක් ගෙන එනවාද ?

අගමැති – අපි මේ උවඳුර හැඳිනගෙන වැටලීම් කරන්න පටන්ගෙන තිබෙනවා. දැන් අපට අහුවෙන්නෙ මේ ජාවාරමේ පොඩි අය. ප්‍රධාන අයයි අල්ලගන්න උවමනා වෙන්නෙ. අප ඒ සඳහා අවශ්‍ය කටයුතු කරනවා. ඒ අය අත්අඩංගුවට ගෙන අපට මෙම මත්කුඩු උවඳුර මර්දනය කළ හැකියි.

මාධ්‍යවේදියා – වතු කම්කරුවන්ට රුපියල් දහසේ දීමනාව ලබා දීම ක්‍රියාත්මක කරනවාද ?

අගමැති – අපි ඒ ගැන කතා කළේ. දැනටමත් විෂය භාර අමාත්‍යතුමා එම උපදෙස් දී තිබෙනවා.

මාධ්‍යවේදියා – ජනාධිපතිතුමා ගමින් ගමට යන්නෙ ඇමතිවරුන්ගෙන් වැඩ වෙන්නෙ නැති නිසාද ?

අගමැති –  එහෙම එකක් නැහැ. ජනාධිපතිවරුන් ගමට යන එක අද ඊයේ සිදුවෙච්ච දෙයක් නෙමෙයි. 

අමාත්‍ය විමල් වීරවංශ – ජනාධිපතිතුමා ගමින් ගමට යන එක වැරදිද ? 

මාධ්‍යවේදියා – මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවාද ?

අගමැති – ඒ සම්බන්ධ පරීක්ෂණ අඛණ්වව සිදුවෙනවා. ජාත්‍යන්තර නීතිය අනුවයි ඇතැම් කටයුතු සිදුවන්නෙ.

පාර්ලිමේන්තු මන්ත්‍රී  ප්‍රේමනාත් සී දොලවත්ත – පසුගිය ආණ්ඩුව වගේ අපි අධිකරණ කටයුතු සඳහා පෞද්ගලික මැදිහත්වීම් සිදු කරන්නෙ නැහැ. අධිකරණ කාර්ය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා.

අමාත්‍ය විමල් වීරවංශ – පහුගිය ආණ්ඩුව දූෂණ විරෝධි කමිටුවක් හැදුවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයන්ටත් වෙනමම මුදල් දීලා. රුපියල් කෝටි තුනක් අයතා වියදම් කරලා. ඒ අනුව දූෂණ විරෝධි කමිටුවෙත් දූෂණයක් කරලා. අර්ජුන් මහේන්ද්‍රන් ගැන වගකියන්න උවමනා එතුමාව පත්කරපු අයයි. 

මාධ්‍යවේදියා – අග්‍රාමාත්‍යතුමාගේ පවුලේ සාමාජිකයන් මෙන්ම අද අමාත්‍යවරුන්ව සිටින බොහෝ දෙනා නිකරුනේ සිරභාරයට පත් කළ අවස්ථා පසුගිය කාලේ තිබුණා. ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගන්නවාද ?

අගමැති – පෞද්ගලික ප්‍රශ්න ගැන හිතුවෙ නැහැ. අපි එකට එක කරන්න කැමැති අය නෙමෙයි. අපි ඉතිහාසයේ කවදාවත් පළිගත්තෙ නැහැ. තව දෙයක් අපි ඉදිරියේ දී හැම මැතිවරණ කොට්ඨාශයක්ම නියෝජනය වන පරිදි ගෙවල් 100 යුතු මහල් නිවාස ක්‍රමයක් රටට හඳුන්වා දෙනවා. 

මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහත්වරු සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here