“මම ගොඩක් රත්තරන් බඩු හැදුවා. ලංකාවේ වටිනා නිල් මැණික්. ටැන්සානියාවෙන් හමුවන ටැන්සනයිට් මැණික් එකතු කරලා ලස්සන ලස්සන බඩු හැදුවා. ඊට පස්සේ කෙන්යාවේ නයිරෝබි නුවරදීත් රත්තරන් බඩු හැදුවා. මේ ආයතනයේ හිමිකරුවන් ඇතැම් ඒවා එක් එක් රටවල රාජ්‍ය නායකයන්ට දුන්නා. කාලෙකට පස්සේ තමයි දන්නේ මම හදපු මුද්දක් තමයි චාර්ල්ස් ඩයනා විවාහ උත්සවයේ දී චාර්ල්ස් කුමාරයා ඩයනාට පළන්දලා තියෙන්නේ. මම ඒක දැක්කේ ඒ කාලේ එංගලන්තයේ පළ වූ සඟරාවකින්. ඒ සඟරාවේ බ්‍රිතාන්‍ය රජ පවුලට අයිති රත්තරන් බඩු ගණනාවක තොරතුරු තිබුණා. ඉන් කිහිපයක් ම මම හදපු ඒවා.” යැයි ගාල්ල එලියට්පාරේ පදිංචි කොස්වත්ත ඊවඩුගේ සුමනදාස පවසයි.
දැනට 92 වැනි වියේ පසුවන කොස්වත්ත ගාල්ලේ නම් දැරූ රන් භාණ්ඩ නිපැයුම් ශිල්පියෙකි. දැනට වසර 12 පමණ කාලයක සිට ඔහු රන් කර්මාන්තයෙන් ඈත්ව සිටියි. බද්දේගම මීවැඩුමේ පාරම්පරික රන් කැටයම් ශිල්පියකු වූ කොස්වත්ත ඊවඩුගේ රානිස්හාමිට දාව උපත ලැබූ සුමනදාස කුඩා කළ පටන් සිය පියා සමඟ කැටයම් ශිල්පය හැදෑරීමේ අවස්ථාව උදාකර ගත්තේය.
තරුණ වියේ දී කැටයම් කලාවටත් විවිධ නිර්මාණ කිරීමටත් හිත යොමු කළ සුමනදාස මහතා වෙසක් දිනවල දී බද්දේගම ගිං ගඟේ සෑදූ බුද්ධ උත්පත්තිය දැක්වෙන නෙළුම් මල් නිර්මාණය අදට ද පැරැන්නන්ගේ මතකයේ පවතී.
රන්කර්මාන්තෙයේ ඉතා අසිරු කාර්යයක් වන අතින් ම රන් කැටයම් නිර්මාණය කිරීම හා ගල් බැඳීම මනාව ප්‍රගුණ කළ සුමනදාස ට අනගි අවස්ථාවක් ලැබිණි. ඒ රන්කර්මාන්තයට මහත් ප්‍රසිද්ධියක් ඉසිලු ටැන්සානියාවේ රැකියාවක් ලැබීමයි.
එය ලැබුණේ ද අහම්බයකින් නොවේ.
“රන්භාණ්ඩ නිර්මාණ තරඟයක් තිබුණා. මමත් ඒකට මගේ රන් භාණ්ඩ සැළසුම් කිහිපයක් ඉදිරිපත් කළා. මම ඒ තරඟයෙන් ජයග්‍රහණය කළ නිසා තමයි මේ අවස්ථාව මට ලැබුණේ. ටැන්සානියාව කියන්නේ රන් කර්මාන්තය ඉතා හොඳින් තිඛෙන රටක්. එයින් මම උපරිම ප්‍රයෝජන ගත්තා.” සුමනදාස එසේ කිවේය.
ටැන්සානියාවේ දස්සලාම් අගනුවර හාජි බ්‍රදර්ස් නමැති ආයතනයේ රන්කැටයම් ශිල්පියකු හා ගල් බඳින්නකු ලෙස සේවය ආරම්භ කළ සුමනදාස එහි වසර හතක් සේවය කිරීමෙන් පසු යළි ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ පැමිණියේ තම විවාහ උත්සවය වෙනුවෙනි.
භද්‍රා සුභාෂිනී මුතුනායක සමග විවාහ වූ සුමනදාස යළි විදේශගත වූයේ බිරිඳ ද එහි ගෙන්වා ගැනීමේ අපේක්ෂාවෙනි. ඒ උත්සාහය ද සාර්ථක විය.
භද්‍රා සැමියා රැකියාව කරන ටැන්සානියාවට ගියාය. ඇය ඒ ගැන මෙසේ කියයි.
“ටැන්සානියාව හරිහ හොඳ රටක්. අපේ රටේ දේශගුණය වගේමයි ඒ රටේ දේශගුණයත්. හැම අතින් ම අපිට එය පහසුවක් වුණා. කිසිම කරදරයක් නැතිව සන්තෝෂ්යෙන් අපි ටැන්සානියාවේ සිටි කාලය හරිම සුන්දර මතකයක්.”
ඔවුන්ගේ දරුවන් උපත ලබන්නේ ටැන්සානියාවේදී ය. ප්‍රදීප් ප්‍රසන්න කොස්වත්ත, අරුණි සුභාෂිනී කොස්වත්ත, උපුල ප්‍රියන්ත කොස්වත්ත යන දරුවන් තිදෙනාම ලැබුණේ ටැන්සානියාවේ දී ය.
“ටැන්සානියාවේ දී මම වැඩකරපු ආයතනයේ හිමිකරුවන්ට කිව්වේ කෝජාකරුවන් කියලා. ඒ අය සුද්දන් වගේ වුණත් අදහන්නේ මුස්ලිම් ආගම. සුද්දන් වගේ ජීවත් වනවා. ටැන්සානියාවේ රැකියාවකට ගිය මුල්ම ශ්‍රී ලාංකිකයන් දෙතුන් දෙනාගෙන් එක්කෙනක් මම. ඒ නිසා අපේ තානාපති කාර්යාල පවා මාව හොඳට දන්නවා. ඒ නිසා කවුරු හරි ශ්‍රී ලංකාවේ ප්‍රභූ වරයෙක් ආවොත් මට පණිවිඩය ලැඛෙනවා. ගොඩක් අය මා සමග කතා බහ කරලා තමයි යන්නේ. අපේ ආයතනයේ ප්‍රධානියාගේ සිරිතක් තිබුණා වෙනත් රටක රාජ්‍ය නායකයෙක් ආවොත් එයා රත්තරන් මුද්දක් තෑගි කරනවා.”
සුමනාදසගේත් භද්‍රාගේත් ජීවිතයේ තවත් වෙනස්කමක් සිදුවූයේ එවකට ගාල්ල නගරාධිපතිවරයාව සිටි ඩබ්ලිව්.ටී.විජේකුලසූරිය මහතා ටැන්සානියාවට පැමිණීමෙනි. නගරාධිපතිවරයා භද්‍රාගේ පියාගේ හිතවතෙකි. නගරාධිපතිවරයා ටැන්සානියාවට පැමිණි බව දැනගත් මේ යුවල ඔහු හමුවීමට ගියහ. නගරාධිපතිවරයා කියා සිටියේ කෙන්යාවේ රන්කර්මාන්තයට ටැන්සානියාවටත් වඩා සුදුසු බවයි. ඒ නිසා තමන් කෙන්යාවේ වෙනත් ආයතනයක රැකියාවක් ලබාදෙන බව පොරොන්දු වී නගරාධිපති විජේකුලසූරිය මහතා යන්නට ගියේය.
ටික දිනක් ගත විය. කෙන්යාවේ පිහිටි ඇමෙරිකාවේ සමාගමක් ටැන්සානියාවේ සිටි සුමනදාස සහ පවුලේ අය එහි ගෙන්වා ගත්තේය.
“ඒ සමාගමේ සිටියේ ඔක්කොම කාන්තාවන් පමණයි. එකම පිරිමියා මම. මේ සමාගම ටික කාලයකින් වැහුවා. ඊට පස්සේ ‘රතන්සිබුරා’ කියන ඉන්දීය සමාගමකට එක්වුණා. ඒ සමාගමේ ගොඩක් ඉන්දියන් අය හිටියා. නමුත් මම සිංහල කියලා කිසිදු වෙනසක් තිබුණේ නැහැ. අපි හැමෝම එක ම සහෝදරයෝ වගේ හිටියේ.”
සුමනදාස පවසන්නේ වරක් බ්‍රිතාන්‍ය රජ පවුලේ කිහිප දෙනකු තම ආයනයට පැමිණි අවස්ථාවක එලෙස මුදු පරිත්‍යාග කළ බවයි. ඉන් ටික දිනකට පසු නිල් මැණිකක් මැදි කරමින් වටේට දියමන්ති අල්ලා අලංකාර මුද්දක් තමන් සෑදූ බව ද ඔහු පවසයි.
“ඒ නිල් මැණික ශ්‍රී ලංකාවෙන් ගෙන ගිය එකක්. රත්නපුරේ පැත්තෙන් තමයි ලැබිලා තිබුණේ. අපි මේ මුද්ද හැදුවේ චාර්ල්ස් හා ඩයනා විවාහ උත්සවය වෙනුවෙන්. ඒ මුද්ද තමයි චාර්ල්ස් කුමාරයා ඩයනා කුමාරිට විවාහ දිනයේ පළඳලා තියෙන්නේ.”
වසර ගණනාවකට පසු චාර්ල්ස් ඩයනා මංගල මුදුව සම්බන්ධයෙන් පුවත්පතක පළ වූ ලිපියක් දුටු බව ද එහි රජ පවුල සතුව ඇති අවස්ථාවේ එය තමන් විසින් සාදනු ලැබූ මුද්දක් බව හඳුනාගැනිමට ඔහුට අපහසුවක් තිබුණේ නැත.
ඒ ලිපිය දැක්කම පුදුම සතුටක් ඇති වුණා. රජපවුල සතුව තිඛෙන මුදු එකතුව අතරින් කිහිපයක් ම නිර්මාණය කැර ඇත්තේ සුමනදාස විසිනි.
සුමනදාස රන්කැටයම් හා ගල් බැඳීමට දැක්වූ දක්ෂතාවය මෙන් ම රන් ආභරණ මෝස්තර නිර්මාණයට ද සුශේෂී හැකියාවක් දැක්වූයේය ය. ඔහුගේ අතින් අඳින ලද මෝස්තර ගණනාවක් වෙනත් රන් කරුවන් අතින් ද රන්භාණ්ඩ බවට පත්ව ඇත.
සමුනදාසගේ බිරිඳ පවසන්නේ කෙන්යාවේ ජීවිතය ටැන්සානියාවට වඩා තරමක් දුෂ්කර බවයි. කෙන්යාව ටැන්සානියාවට වඩා තරමක් ශීත දේශගුණයක් සහිතය. කෙන්යාවේ නයිරෝබි නුවර ඔහු සේවය කළ ආයතනය පිහිටා තිබිණි.
සුමනදාස කෙන්යාවේ සිටිය දී එක් දිනක් හදිසියේ ම අගමැති ප්‍රේමදාස මහතා සහ බිරිඳ පැමිණ සිටි බව ඔහුට දැනගන්නට ලැබිණි. ඔහු අගමැතිවරයා හමුවීමට ගියේය. අගමැති බිරිඳ හේමා ප්‍රේමදාස මැතිණිය සුමනදාසගෙන් අපූරු ඉල්ලීමක් කළේය. ඒ පසුව දා තමන් සමඟ සාප්පු සවාරියේ යෙදෙන ලෙසිනි.
“හේමා ප්‍රේමදාස මැතිනිය එක්ක මම එදා සාප්පු සවාරි ගියා. කෙන්යාවේ නයෝබි නුවර සුප්‍රසිද්ධ වෙළඳ සැල් ගණනාවකට ඇය ගියා. පස්සේ රත්තරන් බඩු තිඛෙන තැන් වලටත් ගියා. එක්තරා මුද්දක් දැකලා එතුමිය ඒකට ගොඩක් ආස වුණා. ඒ මුද්දත් මම හැදූ එකක්. ඒත් අළෙවි කරන්න තිබුණේ වෙනත් සාප්පුවක. ඒ නිසා මට කරන්න දෙයක් නැහැ. එදා වරුවෙන් බැංකු වහන දවසක්. ප්‍රේමදාස මැතිනියට මේ මුද්ද ගන්න හොඳට වුවමනාව තිබුණත් හවස බැංකු වහළා නිසා සල්ලි ගන්න බැරි වුණා. ඒ ගැන එතුමිය ගොඩක් කණගාටුවෙන් හිටියා මට මතකයි.”
සුමනාද මහතාගේ බිරිඳ භද්‍රා කෙන්යාවේ දී තවත් දියණියන් දෙදෙනකු බිහි කළාය. ඔවුන් රාජනී සුභාෂනී හා ලක්මිණි සුභාෂිනී නම් වූහ.
ටැන්සානියාවේ සහ කෙන්යාවේ සිටිය දී අප්‍රිකාවේ භාවිතා කරන සොහයිලි භාෂාව හොඳින් හැසිරවීමට උගත් සුමනදාස හා භද්‍රා යුවළ ඇතැම් විට නිවසේ දී කතා කරන්නේ පවා ඒ බසිනි. ඊට අමතරව සුමනදාස හින්දි හා ඉංග්‍රීසි ද හොඳින් දැන සිටියේය.
එහෙත් ඔවුන් දෙදෙනාට තවත් ගැටළුවක් තිබිණි. ඒ තම දරුවන්ට ඉගැන්වීමයි. ඒ සඳහා යළි ශ්‍රී ලංකාවට යා යුතුබව වටහාගෙන සිටි මේ දෙදෙනා කෙන්යාවට සමුදී 1983 දී යළි ශ්‍රී ලංකාවට පැමිණියහ.
මේ යුවළගේ අපේක්ෂාව වූයේ තම දරුවන්ට හොඳින් ඉගැන්වීමයි. පස් දෙනා ම ගාල්ලේ පාසල්වලට ඇතුල් කළ සුමනදාස යළි විදේශගත වූයේ නැත. ඒ 1983 වර්ෂයේ ය.
දිගටම ශ්‍රී ලංකාවේ සිටිමින් රන් කරුවන් අතර කීර්ති නාමයක් දිනාගත් සුමනදාස දැන් ඒ රැකියාවේ යෙදෙන්නේ නැත.
“දැන් අපි වයසයි. ඉස්සර වගේ මේ රස්සාව කරන්න බැහැ. සියුම් වැඩ කරන්න අමාරුයි නේ. ඒ නිසා අවුරුදු 12කින් විතර කිසිම රන්භාණ්ඩයක් හදලා නැහැ”
සුමනදාසගේ දරුවෝ දැන් වෙනත් රැකියාවල නිරත වෙති. රන් කර්මාන්තයට ඔවුන්ගේ දරුවන් පැමිණියේ නැත. ඒ ගැන නම් සුමනාදාසට ඇත්තේ යම් පමණක කණගාටුවකි.
Itha Wishita thorathurak. Ape Ramya Nayakayanta Me Ran Karmasthathaya gana AES erewa.