මිරිස්සේ Coconut Tree Hill නමින් ප්‍රසිද්ධියට පත්ව ඇති ඉඩමේ හිමිකරුවන් විසින් ඉදිකර ඇති වැට වහාම ඉවත්කරගන්නා ලෙස අද ඔවුන්ට උපදෙස් දී තිබේ.
ඉඩමේ හිමිකරුවන් සමඟ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (06) පැවැති සාකච්ඡාවක දී එම උපදෙස් දී ඇත. එම සාකච්ඡාව සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, වැලිගම නගර සභාවේ හා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරු සහභාගී වූහ. එහි දී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉඩම් හිමිකරුට දන්වා ඇත්තේ පුද්ගලික ඉඩමක් වුවත් වෙරළ ආසන්නයේ මෙවැනි ඉදිකිරීම් කරන්නේ නම් ඒ සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගත යුතු බවයි.
මෙම ස්ථානය ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ශනීය ස්ථානයක් ලෙස පිළිගෙන ඇති බැවින් එම ස්ථානයේ ඉදිකිරීම් සඳහා අවසර ලබාදීමට නොහැකි ව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසා ඇත. මෙම ස්ථානය සංචාරක ආකර්ශනීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ඉඩමේ අනෙක් හවුල්කරුවන් සමඟ සාකච්ඡා කරන ලෙස ද රජයේ නිලධාරීන් ඉඩම් හිමියාගෙන් ඉල්ලා සිටියේය.
එම සාකච්ඡාව සඳහා පැමිණ සිටි හිමිකරු ප්‍රකාශ කර ඇත්තේ එහි හවුල්කරුවන් සිව් දෙනකු සිටින බවයි. කෙසේ වෙතත් ඔවුන් සමඟ ද සාකච්ඡා කර මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට සතියක කාලයක් හෙතෙම ඉල්ලා සිටියේය. මෙම වැට වහාම ඉවත් කරගැනීමට ඔහු අපොහොසත් වන්නේ නම් එම වැට ඉදිකිරීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද නිලධාරීන් විසින් දැනුම් දී තිබිණි.