ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ සංචාරක ආකර්ශනීය ස්ථානයක් ලෙස සැළකෙන මිරිස්ස Coconut Tree Hill නමැති ස්ථානයේ වැටක් ගසා තිබීමේ සිද්ධිය මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහට ලක්වෙමින් තිබේ.
මුහුදු වෙරළට මුහුණ ලා කුඩා තුඩුවක් සේ පිහිටි මේ උස් භූමියේ ඇති පොල්ගස් සමූහය හේතුවෙන් එය දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ශනීය ස්ථානයක් බවට පත්ව ඇත. විදෙස් රටවල, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්නන් විසින් මේ ස්ථානයේ ඡායාරූප ලෝකය පුරාම ප්‍රචලිත කිරීම්ත දේශීය සංචාරකයන් අතරත් ඒවා හුවමාරුවීමත් හේතුවෙන් දකුණු වෙරළට පැමිණෙන සංචාරකයන් මේ ස්ථාන නැරඹීමට යාම අමතක කරන්නේ නැත.
ප්‍රදේශවාසීන් පවසන්නේ මෙතැන ඉඩම මැදින් දෙකට බෙදෙන ලෙස කණු සිටුවා වැටක් ඉදිකරමින් පවතින බවයි. ඔවුන් කියන්නේ මේ ස්ථානය ආසන්නයේ ඇති විහාරස්ථානයකට හා වෙනත් ව්‍යාපාරිකයකුට අයිති ඉඩමක් බැවින් ඔවුන් විසින් එම වැට ඉදිකර ඇති බවකි. මේ පිළිබඳ සොයා බැලූ විට දැනගන්නට ලැබුණේ ඒ ඉඩම සඳහා සින්නක්කර ඔප්පු ඇති බවයි.
පසුගිය කාලයේ මේ ස්ථානයට ඇතුළුවන අයගෙන් ප්‍රවේශපත්‍රයක් සඳහා මුදල් ලබාගත් බවද පැවසේ. එමෙන්ම මෙතැන දී බීමත් පුද්ගලයන් ගැටලු ඇතිකරගත් අවස්ථා ද වාර්තා වී තිබේ. ගැමියන් පවසන්නේ මේ අවට වෙරළේ සහ ඒ අවට ඉවතලන මත්පැන් බහාලුම් ඇතුළු අපද්‍රව්‍ය විශාල ලෙස ගොඩගැසෙන බවයි.
කෙසේ වෙතත් වැට ඉදිකිරීමෙන් එහි සුන්දරත්වයට හානියක් සිදුව ඇත. සොදුරු දර්ශන තලයට මේ ඉදිකිරීමෙන් බාධා සිදුවෙමින් පවතී. ඒ පිළිබඳ දැනටමත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැඩි විරෝධයක් ඉස්මතුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.
මේ පිළිබඳ අදහස් දක්වන වැලිගම නගරාධිපති රෙහාන් ජයවික්‍රම පවසන්නේ තමන් මේ ගැටලුව පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දැනුම්වත් කර ඇති බවයි. එමෙන් ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රාදේශීය ලේකම්වරයාට ද මේ සම්බන්ධයෙන් සොයාබලන්න යැයි දැනුම් දී ඇති බවත් මෙහි සිදුවන දේ සොයා බලා වහාම සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් නගරාධිපතිවරයා පවසයි.

