2021 ආරම්භයේ දී ම කල්පිටියේ ධීවරයන් පිරිසක් විසින් අල්ලාගෙ තිබූ අලි මඩුවකු පිළිබඳ බොහෝ මාධ්‍ය මගින් අනාවරණය කරමින් දර්ශන පෙන්වූවත් ඒ මඩුවන් පිළිබඳ නිවැරදි පැහැදිලිකිරීමක් කර තිබුණේ නැහැ.
අලි මඩුවන් සහ යක් මඩුවන් (Manra Ray) යනු අවදානමට ලක්වූ ත්ත්ව විශේෂයක්. ඔවුන් ලෝකයේ විශාලතම වඩුවන් අයත්වන මොබියුලිඩේ කුලයේ (Family – Mobulidae) කුලයට අයත්වනවා. මේ විශාල මඩුවන් පොදුවේ හඳුන්වන්නේ මහ මඩුවන් ලෙස. අලි මඩුවෙක් මීටර 7-8ක් පමණ හෙවත් අඩි 23ක් දක්වා පළලකට වැඩෙන අතර බර කිලෝ ග්‍රෑම් 1400 පමණ දක්වා වන බව පර්යේෂකයන් පවසනවා.
මෙම දත්ත අනුව කල්පිටියේ ධීවරයන්ට හමුවූ අලි මඩුවා එම විශේෂයෙන් හොඳින් වැඩුණු සත්ත්වයකු විය යුතුයි.
අලි මඩුවා වෙනත් බොහෝ මඩුවන් මෙන් දළ වශයෙන් රවුම් භාගයක හැඩයක් ගන්නවා. සිරුර දෙපසින් ත්‍රිකෝණාකාර වරල් යුගලත් තිබෙන අතර සිරුරේ පිටුපස ද උල් වී වලිගය සිහින් සහ දිගු කූරක් මෙන් පිහිටයා. අලි මඩුවාට විශාල මුඛයක් සහ කුඩා ඇස් දෙකකුත් මුඛය දෙපස ඉදිරියට යොමු වූ විශේෂිත පැතලි හැඩැති ව්‍යුහයන් දෙකකුත් පිහිටනවා. මේ ව්‍යුහයන් හඳුන්වන්නේ ශීර්ෂ වරල් (cephalic fins) ලෙසින්.

අලි මඩුවා ස්වසනය කරන්නේ ජලයේ ඉදිරියට ඇදෙන විට මුඛය තුලින් ඇතුල්වන ජලය තම ජලක්ලෝම (කරමල් නැතිනම් gills) හරහා යාම නිසා බැවින් සැම විටම එහාමෙහා පීනමින් කල්ගත කරන්නෙකි.
අලි මඩුවා මුලුමනින්ම කුඩා ප්ලවාංග මත යැපෙන්නෙකි.භෝජනයේදී මුඛය විශාල ලෙස විවෘත කරගෙන ඉදිරියට ඇදෙන විට මුඛය තුලට ඇතුල්වන ජලයේ තිබෙන ප්ලවාංග මඩුවාගේ ජලක්ලෝම ආවාරයේ ඉදිරි කොටසෙන් පැනනගින ජලක්ලෝම පෝරු හෙවත් කරමල් පෝරු (gill rakers) නම් ව්‍යුහයන් එක්වී තැනී ඇති පෙරහනෙන් පෙරී මුඛයේ ඉතිරි වේ.මේ ප්ලවාංග වරින් වර ගිලදැමීම මත්ස්‍යයා විසින් සිදු කරයි.

අලි මඩුවාගේ මස් මිනිස් ආහාරයක් ලෙස එතරම් ජනප්‍රිය නොවන බැවින් ඇත්තේ අඩු ඉල්ලුමකි. නමුත්, මේ මත්ස්‍යයාගේ මෙන්ම අනෙකුත් මහ මඩුවන්ට තිබෙන මෙම කරමල් පෝරු කාලයක සිට චීනයේත්, පසුකාලීනව ලොව පුරා පැතිරගිය චීන ආහාර වෙලඳාමේත් විශාල ඉල්ලුමක් ඇති ද්‍රව්‍යයක් බවට පත්ව තිබනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස මහ මඩුවන් විශාල ලෙස දඩයමට ලක්වෙනවා. මෙහිදී වඩාත් විශාල මෙන්ම වඩාත් දුලබ අලි මඩුවා විශේශයෙන් දඩයක්කරුවන් අතින් විනාශයට ලක්වුණා .බොහෝවිට මෙසේ මරා දමන මඩුවන් කරමල් පෝරු කපා ගෙන ඉතිරි සිරුරම ඉවතට විසිකර දමන අවස්ථාවන් පිලිබඳවත් වාර්තා වී තිබෙනවා.
ලොව පුරා මහා පරිමානයෙන් සිදුවන මහ මඩුවන් සහ අලි මඩුවන් ඝාතනයන් නිසා ඔවුන් වඳවීමේ තර්ජනයට ලක්වූ (Vulnerable)(Vu) සතුන් ලෙස නම් කරන්නට ලෝක සංරක්ෂණ සංගමය(World Conservation Union)(IUCN) විසින් 2011 වසරේදී කටයුතු කළා.
එම වසරේදීම (2011) සංක්‍රමණික සතුන් පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තිය(Convention on Migratory Species)(CMS) හෙවත් බොන් ප්‍රඥප්තිය (Bonn Convention) මගින් මේ සත්වයා ආරක්ෂාව ලැබිය යුතු සතෙකු ලෙස නම් කළා.
මීට අමතරව වඳවීයාමේ තර්ජනයට ලක්වූ ජීවීන්ගේ අන්තර්ජාතික වෙලඳාම පිළිබඳ සම්මුතිය(Convention on the International Trade in Endangered Species)(CITES) හෙවත් CITES-සම්මුතිය මගින් 2013 වසරේදී අලි මඩුවා එහි දෙවන උප ලේඛනයට (Appendix-ii) ඇතුලත් කළා. ඒ නිසා රටවල් අතර සීමාසහිතව අලි මඩුවාගේ කරමල් පෝරු වෙළඳාම කිරීමට තවමත් ඉඩකඩ හිමිව තිබෙනවා. එය අලි මඩුවන් තව දුරටත් නිකරුනේ සමූලඝාතනයට ඉඩකඩ සැලැස්වීමක්.
මාල දිවයින අලි මඩුවන් ඇල්ලීම තහනම් කලේ 1995 තරම් ඈත කාලයකදී. එනම්, මේ අන්තර්ජාතික තත්ත්වයන්ටත් බොහෝ කාලයකට පෙර. මීට අමතරව මාල දිවයින 2009 දී අලි මඩුවන් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂිත ප්‍රදේශ දෙකක් පවා ප්‍රකාශයට පත්කර තිබෙන්නේ මේ අලි මඩුවන් සංරක්ෂණ ක්‍රියාවලියේ දී බොහෝ ඉදිරියට යමින්.
එසේ වුවත්, ශ්‍රී ලංකාව අලි මඩුවන් ඇතුළු මහ මඩුවන් කරමල් පෝරු වෙළෙඳාම වෙනුවෙන් විශාල ලෙස ඝාතනය කරන රටක් ලෙස අපකීර්තියට පත්ව සිටීම ඉතාමත් අවාසනාවන්ත තත්වයක්.
එමන්ම මෙතෙක් කිසිඳු මහ මඩු විශේෂයක් ශ්‍රී ලංකාවේ ආරක්ශිත විශේෂ බවට ප්‍රකාශ කර නැහැ. නමුත්,මුලු මොබියුලිඩේ කුලයටම ආරක්ෂාව ලබාදිය යුතු බවට පරිසරවේදීන් විසින් ශ්‍රී ලංකාවේ අදාල බලධාරීන් වෙත යෝජනා කරන්නේ මීට දශකයකටත් පෙර සිටයි.
මේ නාස්තිකාර වෙළෙඳාමෙන් මෙම මසුන් විශාල ලෙස මරා දැමීම, ඒ නිසාම අප රටට හිමිව තිබෙන අන්තර්ජාතික අපකීර්තිය, සජීවී අලි මඩුවන් ශ්‍රී ලංකාවට අයත් මුහුදේ සිටීම විශාල සංචාරක ආකර්ශනයක් වීම, 2011 සිට සංක්‍රමණික සතුන් පිලිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තිය හෙවත් බොන් ප්‍රඥප්තිය යටතේ මෙම වෙළෙඳාමට සීමා පැනවීම හේතුවෙන් ඔවුන් ආරක්ෂා කිරීම රටක් ලෙස අප විසින් ඉටුකළ යුතු යුතුකමක් හා වගකීමකුත් වශයෙන් සළකා මේ යෝධ මඩුවන් ආරක්ෂා කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපදාන සකසන ලෙස ඉල්ලීම් කෙරුණා.
අලි මඩුවන් ඇතුලු මොබියුලිඩේ කුලයේ සියල්ලන් නීතියෙන් ආරක්ෂාකිරීම සඳහා පනත් දෙකක ප්‍රතිපාදන උපයෝගී කරගත හැකි වනවා. වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ (Fauna and Flora Protection Ordinance) 31අ වගන්තිය යටතේ ආරක්ෂාව ලබාදීම මින් එක් ක්‍රමයක්. මේ සඳහා එම පනතේ ආරක්ෂිත මත්ස්‍යයන් අඩංගු වන උප ලේඛනයට මොබුයුලිඩේ කුලය ඇතුලත් කිරීමෙන් මෙය සිදු කල හැකියි. .ඒ සඳහා අවශ්‍ය වන්නේ වන සත්ව හා වෘක්ෂ ලතා ආරක්ෂක ආඥා පනතේ 34 වන වගන්තිය යටතේ විෂය භාර අමාත්‍යවරයා විසින් පනවන නියෝගයක් ගැසට් පත්‍රයේ පළ කිරීම පමණයි.
මෙසේ පනතේ 31අ වගන්තිය මගින් රට තුල ආරක්ෂා කළ විට කරමල්පෝරු ඇතුලු කිසිදු කොටසක් මෙරටින් අපනයනය කිරීමත් පනතේ 40 වන වගන්තිය ක්‍රියාත්මක වීම නිසා නිතැතින්ම නතර වනවා.

එමෙන්ම ධීවර හා ජලජ සම්පත් පනතේ (Fisheries and Aquatic Resources Act) 29 වන වගන්තිය යටතේ පනවනු ලබන නියෝගයක් මගින් මොබියුලිඩේ කුලයේ සියලු සාමාජිකයන් ආරක්ෂිත මත්ස්‍යයන් බවට ප්‍රකාශ කල හැකියි. එම පනතේ 30 වන වගන්තිය යටතේ පනවනු ලබන නියෝගයක් මගින් මොබියුලිඩේ කුලයේ කිසිඳු මත්ස්‍යයෙකුගේ කරමල් පෝරු හෝ සෙසු ශරීර කොටස් අපනයනයත් තහනම් කල හැකි වනවා. අවශ්‍යනම් මේ නියෝග දෙකම එක්කර එකම නියෝග මලාවක් ලෙස එකම ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කල හැකියි.

නමුත්,අලි මඩුවන් සහ මහ මඩුවන් ශ්‍රී ලංකාව තුල තව දුරටත් අනාරක්ෂිතව සිටීම නිසා සෑම වසරක් පාසාම මෙලෙසින් අවාසනාවන්ත ලෙස විනාශයට ලක්වෙමින් සිටීම ඉතාමත් කණගාටුදායක කරුණක්.
(සටහන – පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන)
2021 වර්ෂයේ ආරම්භයත් සමඟම කල්පිටියේ ධීවරයන් විසින් අල්ලාගත් හොඳින් වැඩුණු අලි මඩුවා පිළිබඳ මෙරට ජනමාධ්‍ය විසින් ප්‍රචාරය කරද්දි අලි මඩුවන් ගැන හෝ ඔවුන් වඳවීයාමේ තර්ජනයට ලක්වූ සත්ත්ව විශේෂයක් බව හෝ ඔවුන් රැකගත යුතු බව හෝ නොපැවසීම සැබැවින්ම රටේ ජනතාවගේ අවාසනාවක් බව කිව යුතුයි.
මේ මඩුවාගේ ජෛව විද්‍යාත්මක වටිනාකම දන්නා බැවින් rata.lk අප ඒ මඩුවා අල්ලාගැනීම පිළිබඳ එදා පාඨක ඔබ හමුවට තොරතුරු වාර්තා කිරීමෙන් වැළකී සිටියෙමු. මේ අද අප එය වාර්තා කරන ආකාරයයි. යම් සිදුවීමක් මාධ්‍ය මගින් අපූර්වත්වයෙන් යුතුව වාර්තා කිරීම එහි වරද සැඟවීමක් බවත් මෙවැනි මඩුවන් තවදුරටත් ඝාතන වීම පුරවැසියා පුදුමයට පත්කරන හා ඔවුන්ට සාමාන්‍ය සිදුවිමක් වන හුදු වාර්තාවක් පමණක් ලෙස ඔබ වෙත ගෙන ඒම අපගේ ප්‍රතිපත්තිය නොවේ. එබැවින් මේ ලිපිය අපි rata.lk පාඨක ඔබ වෙනුනේ පළ කරන්නෙමු.
