මාවනැල්ල හිඟුල හන්දියේ බුදු කුටියක ඉදිරිපස වීදුරුව කැඩීම කිසිදු අන්තවාදී ක්‍රියාවක ප්‍රතිඵලයක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරු හෙට්ටිමුල්ලේ පදිංචි සිංහල ජාතියකු බවත් ඔහු තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටි අයකු බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.
මෙම සිද්ධිය සම්බන්ධයේන මාවනැල්ල පොලිසිය හා කෑගල්ල පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වා ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා කිසියම් හේතුවක් නිසා පේරාදෙණිය රෝහලට ගොස් යළි එමින් සිටිය දී මෙම බුදු කුටියේ ඇති පිං කැටය කැඩීමේ අරමුණෙන් එම ක්‍රියාව සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ එම පුද්ගලයා මීට පෙර අවස්ථා කිහිපයක දී පිං කැට කැඩීම්වලට සම්බන්ධ වූ අයකු බවයි.
නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරන්නේ මෙම සිද්ධිය ආගමික අන්තවාදීන්ගේ ක්‍රියාවක් විය හැකි බවට ඇතැම් මාධ්‍ය හා සමාජ මාධ්‍යවල ප්‍රචාරයක් ගෙන ගිය බවයි. මෙය කිසිදු අන්වාදී ක්‍රියාවක ප්‍රතිඵලයක් නොවන බවත් එය පිං පෙට්ටියේ මුදල් ගැනීමේ අරමුණින් කළ ක්‍රියාවක් බැවින් අනවශ්‍ය ප්‍රචාරයන් නවතන ලෙස ද නියේජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලා සිටියේය.