ගාල්ලේ ගිංතොට ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් කොරෝනා මර්ධනය සඳහා අවශ්‍ය සහයෝගය නොලැබෙන්නේ නම් භයානක තත්ත්වයක් ඉදිරියේ දී උදාවනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
මේ වනවිට ගිංතොට ප්‍රදේශයේ වැලිපිටි මෝදර සහ මහහපුගල ගම්මානවලින් කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙකු ම වාර්තා වී ඇති අතර කොරෝනා ආසාදිත පුද්ගලයකුගේ මරණයක් ද සිදුව තිබේ.
එම පුද්ගලයා නිවසේ දී මියගිය අතර ඔහු මීට පෙර කොරෝනා ආශ්‍රිතයකු ලෙස හඳුනාගත් පුද්ගලයකු නොවීම ද විශේෂත්වයකි. එබැවින් වෛද්‍යවරු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් තමන් ආසාදිත බව නොදැන මෙම ප්‍රදේශයේ සිටිය හැකි බවයි. එබැවින් ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් සෑම නිවසකින්ම අවම වශයෙන් එක් පුද්ගලයකු හෝ පීසීආර් පරීක්ෂණ සඳහා හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා හෝ යොමුකිරිමට අත්‍යාවශ්‍ය වුව ද ප්‍රදේශවාසීන්ගෙන් ඒ සඳහා ප්‍රමාණවත් සහයෝගයක් නොලැබෙන බව ද ඔවුහු පෙන්වාදෙති.
කොරෝනා ආසාදිත බව හඳුනාගත් මියගිය තැනැත්තා වයස අවුරුදු 74ක් වූ දෙදරු පියෙකි. ඔහු නිදන්ගත රෝග සඳහා ප්‍රතිකාර ලබාගත් පුද්ගලයකු බැවින් මියගිය අවස්ථාවේ දී එම පුද්ගලයාගේ සිරුර මරණ පරීක්ෂණයක් නොපවත්වා නිදහස් කරන ලෙස දැනුම් දී තිබිණි.
එසේ වුව ද මේ දිනවල නිවෙස්වල සිදුවන සියළුම මරණ හදිසි මරණ පරීක්ෂකවරුන් වෙත යොමුකර ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කරන්න යැයි ග්‍රාම නිලධාරීවරුන්ට උපදෙස් ලබා දී තිබෙන බැවින් එය මරණ පරීක්ෂකවරයාට යොමු කර තිබිණි. මරණ පරීක්ෂකවරයා ද නිවසක දී සිදුවන සෑම මරණයක් සම්බන්ධයෙන් ම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දී එම නිවසේ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් සිටින්නේ ද යන්න පිළිබඳ හෝ අවදානම් සහගත ප්‍රදේශයක් ද යන්න පිළිබඳ වාර්තාවක් ලබාගත යුතුය. මෙම මරණය පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දුන් අවස්ථාවේ දී ඔහු පවසා තිබුණේ මෙම ප්‍රදේශයේ කොරෝනා අවධානමක් පවතින බවයි. ඒ අනුව හදිසි මරණ පරීක්ෂකවරයාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ තීරණය වූයේ සිරුර අනිවාර්යයෙන් ම අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමුකර පීසීආර් පරීක්ෂණයක් පවත්වන්නේ ද නැද්ද යන්න එම වෛද්‍යවරයාට තීරණය කිරීමට දිය යුතු බවයි.
මේ සමඟම ප්‍රදේශවාසීන්ගේ බරපතල විරෝධතාවක් මතුව ආවේය. මීට ඉහත ගාල්ලේ සිදුවූ කොරෝනා මරණයකදී ද එහි මරණ පරීක්ෂණයට බාධා කළ බවට හදිසි මරණ පරීක්ෂකවරයාගේ චෝදනාවට ලක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් දේහය කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන නොගොස් නිදහස් කරන ලෙස දිගින් දිගටම බලපෑම් එල්ල කරන්නට වූහ.
බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ මෙම පිරිස එම ප්‍රදේශයේ පිහිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ කාර්යාලය පවා වටලාගෙන සිටි බවයි. කෙසේ වෙතත් හදිසි මරණ පරීක්ෂක එන්.ජී.බී.කරුණාතිලක මහතාගේ නියෝගය වූයේ වහාම මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය වෙත ගෙන ආ යුතු බවය. එම නියෝගය අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සිරුර රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට රැගෙන ආ පසු වෛද්‍යවරුන් පීසීආර් පරීක්ෂණයක් පැවත්වූ අතර එයින් තහවුරු වූයේ ඔහු කොරෝනා ආසාදිතයකු බවයි.
සිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලද්දේ විශේෂඥ අධිකරණ වෛදය රුවන් නානානයක්කාර විසිනි. ඔහුගේ තීරණ හා සාක්ෂි සළකා බැලූ හදිසි මරණ පරීක්ෂකවරයා මෙම මරණය දීර්ඝකාලීන ක්ෂය රෝගය, පෙනහළු ආබාධ, හෘදයේ සංකූලතා සහ කොරෝනා ආසාදනය හේතුවෙන් සිදුවූ මරණයක් බව නිගමනය කළේය.
මේ අවස්ථාවේ දී එම ස්ථානයේ සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පීසීආර් පරීක්ෂණය පිළිගත නොහැකි බවත් තවත් පීසීආර් පරීක්ෂණයක් කරන ලෙසත් ඉල්ලා සිටිය බව හදිසි මරණ පරීක්ෂක කරුණාතලික පවසයි. පීසීආර් පරීක්ෂණයක් යළි නොපවත්වන්නේ නම් මරණය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල කරන බව ද පැවසූ ඥාතීන් දේහය භූමාදනය කරන්නට නොදෙන්නේ නම් එය භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබිණි.
ඥාතීන් දේහය භාර නොගැනීම හේතුවෙන් ඊයේ (02) සවස එම සිරුර අක්මීමණ කුරුඳුවත්ත ආදාහනාගාරයේ දී රජයේ වියදමින් ආදාහනය කිරීමට හදිසි මරණ පරීක්ෂකවරයා නියෝග කළ අතර බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ අධීක්ෂණයෙන් එය ආදාහනය කරනු ලැබීය.
කොරෝනා ආසාදිතයකුගේ ආශ්‍රිතයකු හෝ නොවූ පුද්ගලයකු කොරෝනා ආසාදනය වී මහ හපුගල නිවසේ දී මියගොස් තිබීම වසංගත තත්ත්වය හමුවේ ඉතාමත් අවදානම් තත්ත්වයක් බැවින් සෞඛ්‍ය අංශ එම ප්‍රදේශයේ පදිංචිකරුවන් පීසීආර් හා ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුකිරීමට උත්සාහ ගත්ත ද ගම්වැසියන්ගෙන් ඊට ප්‍රමාණවත් සහයෝගයක් මෙතෙක් ලැබී නැත.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ ගිංතොට ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන් රැස්වන ස්ථානයේ සහ පල්ලි කිහිපයක පීසීආර් පරීක්ෂණ පැවැත්වීම සඳහා සහයෝගය ලබාදෙන ලෙස ප්‍රදේශයේ මවුලවිතුමන්ලාට, ප්‍රාදේශීය දේශපාලකයන්ට හා ප්‍රජා නායකයන්ට දැනුම් දී ඇති බවයි. ඉදිරි දිනක මේ සඳහා අවශ්‍ය සහයෝගය ලැබෙනු ඇතැය අපේක්ෂාවෙන් සිටින බව ද සෞඛ්‍ය අංශ පවසයි.
එසේ නොවුණහොත් මෙම ප්‍රදේශය සම්පූර්ණයෙන් ම වසා දමා හෝ දැඩි සංචරණ සීමා පනවා කොරෝනා වයිරසයෙ මහ හපුගල හා ගිංතොට ප්‍රදේශයේ සිට වෙනත් ප්‍රදේශවලට ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා පියවර ගැනීමට සිදුවන බව ද වෛද්‍යවරු කියති.
පීසීආර් පරීක්ෂණ පවත්වන්නේ තමන් හිතා මතා අමාරුවේ දැමීමේ අවශ්‍යතාවකට බව ඇතැම් අන්තවාදී පිරිස් විසින් පීසීආර් පරීක්ෂණවලට යොමුවන අයට පවසමින් ඔවුන් වැළැක්වීම උත්සාහ ගැනීමේ තත්ත්වයක් ද දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. මෙය ඉතා බරපතල තත්ත්යක් බැවින් සත්‍ය තේරුම්ගන්නා ලෙස ඔවුහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.