මෙරට ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය මිල දී ගැනීමට තවත් ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී එකඟ වී තිබේ. මේ අනුව අබාන්ස් ෆිනෑන්ස් හි ප්‍රධාන කොටස්කරුවා වන අබාන්ස් පීඑල්සී සතු කොටස් 33,063,877 ක් හෙවත් 49.67% ක හිමිකාරීත්වය කොටසක් රු. 30.10 බැගින් මිල දී ගැනීමට සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී පියවර ගනු ඇත.
මෙම කොටස් අත්පත් කර ගැනීමත් සමඟම අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී හි ඉතිරි කොටස් අත්පත් කර ගැනීම සඳහා අනිවාර්ය අර්පණයක් ඉදිරිපත් කිරීමට සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී විසින් කටයුතු කළ යුතුය. අනතුරුව සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී විසින් අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී හි හිමිකාරීත්වය 49.67% ක් ඉක්මවා යන අවස්ථාවේ දී සහ සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී හි 72.94% ක් ඉක්මවූ කොටස් අයිතියක් තිබෙන අවස්ථාවේ දී අදාළ සමාගම් දෙක ඒකාබද්ධ කිරීමට පියවර ගැනේ.
එම කටයුත්තේ දී අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී හි සෙසු කොටස්කරුවන්හට ඔවුන් විසින් දරනු ලබන සෑම කොටස් 6කටම සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී හි කොටස් 11 ක් පිරිනැමීමට නියමිත වේ.
මේ සියලු කටයුතු අදාළ අධිකාරීන්ගේ අනුමැතියට යටත්වනු ඇත.
සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී යනු සොෆ්ට්ලොජික් සමූහයේ මූල්‍ය හස්තය වන අතර එහි කොටස් හිමිකාරීත්වයෙන් 75% ක් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව පවතී.
මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීම අනාවරණය කිරීමත් සමඟම අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී හි කොටසක මිල අද දිනයේ දී රු. 20.50 සිට රු. 29.00 දක්වා රු. 8.50 කින් හෙවත් 41.46% කින් ඉහළ යන ලදී.