5.4 C
New York

ගාල්ලේ රජයේ කාර්යාලයකින් තවත් ආසාදිතයෙක්.

Published:

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ගාල්ල කාර්යාලයේ පිරිසිදු කිරීමේ අංශයේ සේවිකාවක කොරෝනා ආසාදනය වී ඇති බැවින් එම කාර්යාලය විෂබීජහරණය කර ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකර ඇතැයි ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර මහත්මිය පවසයි

අක්මීමණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි එම සේවිකාවගේ ජෛව සාම්පල ලබාගෙන ඇත්තේ පසුගිය බදාදා (30)  දිනයේ දී ය. එම දිනය දක්වාම ඇය කාර්යාලයට පැමිණ සේවය කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ හේතුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ගාල්ල කාර්යාලයේ සේවය කරන පිරිසිදු කිරීමේ සේවිකාවන් 03 දෙනකු හා නිලධාරී නිලධාරිනියන් 10 දෙනකු  නිරෝධායනයට යොමුකර ඇත.

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ බිම් මහළේ මෙම කාර්යාලය පිහිටා ඇති අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නිරත මීට පෙර ආසාදිත වූ නිලධාරියා හා මෙම සේවිකාව ආසාදනය වීම අතර සබඳතාවක් නොමැති බවත් සෞඛ්‍ය අංශ පවසයි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ගාල්ල කාර්යාලයෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව පවත්වාගෙන ගිය අතර කොරෝනා වසංගතය පැතිරයාමේ අවදානම හේතුවෙන් එක් දින සේවාව නවතා දමා තිබිණි. මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාව එම කාර්යාලය වෙත පැමිණෙන්නේ නැත. ප්‍රාදේශීය ලේකම්වරිය පවසන්නේ කාර්යාල පරිශ්‍රය විෂබීජහරණය කර ඇති බැවින් හෙට (04) දෛනික රාජකාරී කටයුතු සාමාන්‍ය පරිදි පවත්වන බවයි.

Related articles

Recent articles

spot_img