සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීමට හේතු

0
81

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) අරමුදල් යටතේ ශ්‍රී ලංකාවේ බස්නාහිර කලාපය තුළ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති (LRT) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. එහෙත් පහත සඳහන් හේතූන් මත එම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි වන බව නිරීක්ෂණය වී තිබෙන බව රජය පවසයි.

* ව්‍යාපෘතියේ මූලික සැලසුම් අනුව පෞද්ගලික මෝටර් රථ භාවිත කර කොළඹ නගරයේ රැකියා සහ වෙනත් අවශ්‍යතා සඳහා පැමිණෙන්නන්ට විකල්ප ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් භූමිය මතුපිට දුම්රිය මාර්ග ඔස්සේ ගමන් කරන පහසුකම් සහිත සැහැල්ලු දුම්රිය සේවයක් හඳුන්වා දීමට යෝජනා කර තිබිණි.

* එහෙත්, එම සැලසුම් වෙනස් කර විශාල පරිසර හානියක් සිදු විය හැකි කුළුණු මත ඉදි කෙරෙන දුම්රිය මාර්ගයක් ඔස්සේ යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික පියවරයන් පසුගිය රජය විසින් ගනු ලැබ ඇත.

* එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබුවහොත් නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඇතුළු විශාල ගොඩනැගිලි සංඛ්‍යාවක් කඩා ඉවත් කිරීමටත්, කුළුණු මත දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා ඉතා ඉහළ පිරිවැයක් දැරීමටත් සිදු වන බව පෙනී ගොස් ඇත.

* සිය පෞද්ගලික මෝටර් රථ භාවිත කරමින් කොළඹ නගරයේ රැකියා සහ වෙනත් කාර්යයන් සඳහා පැමිණෙන පුද්ගලයින් ආකර්ශනය කරගත හැකි විකල්ප ප්‍රවාහන මාධ්‍යයක් ලෙස යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත දුම්රිය මඟින් අවශ්‍ය පහසුකම් සලසා දීමට හැකියාවක් නොමැති බව නිරීක්ෂණය වී ඇත.

* එසේම, යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය ක්‍රියාත්මක කරනු ලැබුවහොත් ඒ සඳහා විශාල මෙහෙයුම් පිරිවැයක් දැරීමට සිදු වන බව ද පෙනී ගොස් තිබේ.

ඒ අනුව, මේ වන විට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී ඇති විෂය භාර අමාත්‍ය වශයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙන, බස්නාහිර කලාපය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති (LRT) ව්‍යාපෘතිය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here