spot_img
spot_imgspot_img

මළ සිරුරු ගැටලුවට විසඳුම් නෑ

පුවත්

විදෙස්

කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතියන්ගේ මෘත දේහ භූමදානය කිරීමට අවසර දෙනවාද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට කමිටු දෙකක් පත්කර තිබීමත් එම කමිටු දෙකේ තීරණ එකිනෙකට පරස්පර විරෝධීවීමත් හේතුවෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි විසින් පත්කරන ලද අතර ඉන් පසු කොරෝනා විෂය භාර රාජ්‍ය ඇමතිනිය වූ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ විසින් තවත් කමිටුවක් පත්කර තිබිණි. එහි සභාපතිත්වය මහාචාර්ය ජෙනිෆර් පෙරේරා විසින් දරනු ලබන අතර ප්‍රජා වෛද්‍ය විද්‍යා විශේෂඥයන් කිහිප දෙනකු එම කමිටුවේ සාමාජිකත්වය දරයි.

මළ සිරුරු සම්බන්ධ විෂයට සෘජුව සම්බන්ධවන අධිකරණ වෛද්‍යවරුන්ගේ ද නියෝජනය සහිතව සෞඛ්‍ය ඇමතිනිය කමිටුවක් පත්කර තිබිය දී මෙලෙස දෙවැනි කමිටුවක් පත්කර ඇත්තේ අමාත්‍යවරයකුගේ දේශපාලන වුවමනාවකට බව අධිකරණ වෛද්‍යවරු චෝදනා කරති. එම දෙවැනි කමිටුවේ සිටින සාමාජිකයන් වෛද්‍ය ක්ෂුද්‍රජීව විද්‍යාව විෂයක් ලෙස හදාරා නොමැති බවත්, ශ්‍රී ලංකාවේ වෛරසවේදීන් වෛරසවල හැසිරීම දීර්ඝ ලෙස අධ්‍යයනය කර නොමැති බවත් ඔවුහු පවසති. මෙම කමිටුවේ සිටින්නේ ප්‍රතිශක්තිවේදය හා අණුක විද්‍යාව හදාරා ඇති පිරිසක් බවත් ඔවුන්ට නැගෙන චෝදනාවකි.

විදේශීය රටක සිට මළ සිරුරු සම්බන්ධයෙන් අදහස් දක්වන ඇතැම් ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥයන් ද ශ්‍රී ලංකාවේ පර්යේෂණ සිදුකර නැති බව ද ඔවුහු පෙන්වා දෙති.

ක්ෂුද්‍රජීව විද්‍යාඥයන් කියා සිටියේ මියගිය සිරුරක කොරෝනා වයිරසය සජීවී තත්ත්වයෙන් පවතින්නේ දින තුනක් වැනි කාලයක් බවයි. නමුත් කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තිබී ආදාහනය කරන ලද සිරුරකින් මියගොස් දින 05කට පසු ගන්නා ලද සාම්පලයකින් ද සක්‍රියව පවතින කොරෝනා වයිරස හමුවී ඇති බැවින් එම තර්කය බිඳවැටෙන බව අධිකරණ වෛද්‍යවරු කියති.

කෙසේ වෙතත් මෙම කමිටු දෙක පසුගිය බ්‍රහස්පතින්දා (31) සෞඛ්‍ය ඇමතිනියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වී තිබිණි.

එහි දී දෙවැනි කමිටුවේ එනම් ප්‍රජා විද්‍යා විශේෂඥයන්ගේ කමිටුවේ අදහස වී ඇත්තේ මෘතදේහ භූමදානය කිීම හානිකර නොවන බවයි. අධිකරණ වෛද්‍යවරුන්ගේ කමිටුවේ මතය වී ඇත්තේ සිරුරු භූමදාන කිරීමෙන් අවදානමක් ඇතිවන බවයි. ඔවුන් පවසන්නේ වසංගත අවස්ථාවක දී සුළු හෝ අවදානමක් ගත නොහැකි බැවින් සිරුරු ආදාහනය කිරීම වඩාත් සුදුසු බවයි.

මෙම මත ගැටුම හේතුවෙන් කොරෝනා වසංගතයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදාන කරනවා ද ? ආදාහනය කරනවා ද ? යන්න පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නොහැකිව ප්‍රශ්නය තවදුරටත් ඉදිරියට ඇදී යන තත්ත්වයක් උදාවී ඇත.

කමිටු දෙකෙහි සාමාජික සාමාජිකාවන් එක් මතයකට නොපැමිණීම හේතුවෙන් අමාත්‍යවරියට ද මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නොහැකි වී ඇත.

මේ අතර සෞඛ්‍ය ‍සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් වෙත ලිපියක් යවමින් මුස්ලිම් මෘත දේහ තැන්පත් කිරීම සඳහා ශීතාගාර පහසුකම් ඉල්ලී‍මේ ලිපිය පිළිබඳ අදහස් දැක්වූ අධිකරණ වෛද්‍යවරු ඊට තරයේම සිය විරෝධය පළ කරති. ඔවුන් පවසන්නේ කොරෝනා ආසාදිත සිරුරු මෘත ශරීරගාරවල හෝ අධි ශීතකරණතුළ හෝ තබා ගැනීම කොරෝනා වයිරසය ගබඩා කර තබාගැනීමක් හා සමාන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!