spot_img
spot_imgspot_img

ධම්මික පැණිය ගැන රජරට විශ්වවිද්‍යාලය කරුණු කියයි

පුවත්

විදෙස්

කොරෝනා සඳහා ඖෂධයක් ලෙස ඇතැම් මාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලබන ධම්මික පැණියට ආචාරධර්ම කමිටුවේ අනුමැතිය ලැබී ඇතියි මාධ්‍ය මගින් කෙටි පණිවිඩ පවා නිකුත් කෙරිණි.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරිමක් කරන රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති විශේෂඥ වෛද්‍ය සේනක පිලපිටිය මහතා පවසන්නේ ආචාරධර්ම කමිටුවේ අනුමැතිය යනු ඒ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකිරීමට ලබාදෙන අනුමැතියක් පමණක් බවයි. එය ධම්මික පැණිය සඳහා අනුමැතිය දීමක් ලෙස ඇතැම් මාධ්‍යය විසින් අර්ථකථනය කිරීම වරදක් වන බැවින් ද එයින් ජනතාව නොමග යා හැකි බැවින් ද ඒ සම්බන්ධයෙන් රජරට විශ්විවදයාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා විසින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර ඇත.

එම මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

මාධ්‍ය නිවේදනයයි

****************

ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කරන ලද දේශීය ඖෂධය පරීක්ෂා කිරීම සඳහා, 2020 දෙසැම්බර් 2 වන දින ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය සහ රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු එක්ව පැවැත්වූ රැස්වීමකින් අනතුරුව, COVID-19 රෝගය සඳහා ශ්‍රී ලංකාවේ භාවිතා කරන ආයුර්වේද සහ සාම්ප්‍රදායික ඖෂධ පිළිබඳ විධිමත් විද්‍යාත්මක අධ්‍යයනයක් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රජයේ වෛද්‍ය පීඨ 6 ක මහාචාර්යවරුන්, දේශීය සහ ආයුර්වේද වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කෙරිණි.

අදාළ ඖෂධය පරීක්ෂා කිරීමට උතුරු මැද පළාතේ රෝහල් දෙකක් තෝරා ගත් බැවින් පළාතේ පිහිටි එකම වෛද්‍ය පර්යේෂණ ආචාරධර්ම කමිටුව වන ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයීය වෛද්‍යපීඨ පර්යේෂණ ආචාර ධර්ම සමාලෝචන කමිටුව වෙත එම සායනික පර්යේෂණය සඳහා වන ආචාරධර්ම අනුමැතිය ලබාගැනීමේ අයදුම්පත එම විශේෂඥ කමිටුව විසින් ඉදිරිපත් කරන ලදී. මෙම ආචාරධර්ම සමාලෝචන කමිටුව ශ්‍රී ලංකාවේ සහ ආසියානු පැසිෆික් කළාපය තුල වරළත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත, විශ්ව විද්‍යාලයේ හා පීඨ පරිපාලනයෙන් ස්වාධීනව ක්‍රියාත්මක වන ආචාරධර්ම සමාලෝචන කමිටුවකි. එහි සාමාජිකයන් ලෙස විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්, විවිධ වෘත්තීයවේදීන් සහ සාමාන්‍ය ජනතාව නියෝජනය කරන අයවලුන්ද කටයුතු කරයි. ඒ අනුව සංශෝධන ගණනාවක් සහිතව කොන්දේසි කිහිපයකට යටත්ව 2020 දෙසැම්බර් 30 දින මෙම ඖෂධය සඳහා සායනික පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය ආචාර ධර්ම අනුමැතිය ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයීය වෛද්‍යපීඨ පර්යේෂණ ආචාර ධර්ම සමාලෝචන කමිටුව විසින්, ගරු සෞඛ්‍ය අමාත්‍ය තුමිය පත්කළ විශේෂඥ කමිටුවට පිරිනමන ලදී. මෙම ආචාර ධර්ම අනුමැතිය හිමිවූයේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ දේශීය ඖෂධය සායනික පරීක්ෂාවකට භාජනය කිරීම සඳහා පමණක් බවත් එය සායනිකව භාවිතා කිරීමට නොවන බවත් අවධාරණය කළ යුතුය.

එම අදාළ පර්යේෂණය සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි ඉහත විශේෂඥ කමිටුව විසින් සිදුකරන පර්යේෂණයක් බවත්, එය රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සිදුකරන පර්යේෂණයක් නොවන බවත් අවධාරණය කළ යුතුය.

විශේෂඥ වෛද්‍ය සේනක පිලපිටිය

පීඨාධිපති

වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨය

ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය

2020 දෙසැම්බර් 31

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!