කලමැටිය ධීවර වරායෙන් මෙරටට ගොඩබාන ලද කහ කිලෝ 25,000ක් අත්අඩංගුවට ගෙන ඇතැය හුංගම පොලිසිය පවසයි. එහි වටිනාකම රුපියල් කෝටි 12ක් පමණ වන බව ද වාර්තා වේ.
කඩවත ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරක නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මද අද (27) අළුයම මෙම මෙහෙයුම කර ඇති අතර එහි දී සැකකරුන් 06 දෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කහ තොගය ඉන්දියාවේ සිට ගෙන එන්නට ඇතැයි විශ්වාස කරයි.
අත්අඩංගුවට ගත් පිරිස කලමැටිය, කුඩාවැල්ල, කෝට්ටගොඩ සහ බේරුවල පදිංචිකරුවන් බව ද පොලිසිය පවසයි. බේරුවල ධීවර වරායේ සිට බහුදින යාත්රාවකින් කලමැටියට පැමිණ මෙම කහ තොගය ගොඩබාමින් සිටි බව ද පොලිසිය පවසයි.
විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් සහ කහ තොගය හුංගම පොලිස් භාරයට පත්කර ඇති අතර ඔවුන් අද (27) අඟුණුකොළපැලැස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලිසිය පවසයි.