තිලකරත්න මහතා නිවසට පැමිණියේ මාරාවේශ වූ අයකු විලසිනි. පැමිණි විගසින් ඔහු ඉස්තෝප්පුවේ තිබූ ටීපෝවට පයින් ගැසුවේය. ඒ මත තිබූ වීදුරු මල්පෝච්චිය පෙරලී බිඳී ගියේ නිවසේ සිටි තිලකරත්න මහත්මිය පුදුමයට පත්කරමිනි.
ඔහු කෙලින්ම ගියේ තම දියණිය නිදා සිටින කාමරය වෙතය.
‘‘ මෙහෙ වරෙන් පරට්ටි…… උඹ මගේ මූණෙ දැලි ගාන්න ද හදන්නේ. අද මම තෝව ඉතුරු කරන්නෙ නෑ….’’ තම දියණියගේ දිගැති කෙස් වැටියෙන් අල්ලා ඔහු ඇයට පහර කිහිපයක් ද ගැසුවේය. මේ තිලකරත්න මහතා තම දියණිය ඉපදි ගතවූ අවුරුදු 28 ම පහරදුන් ප‍්‍රථම වතාවයි. මෙය දියණියට පුදුමයකි. එමෙන්ම තිලකරත්න මහත්මියට එය දැඩි වේදනාකාරී දෙයක් ද වූවේය.
මලීෂා තිලකරත්න පවුලේ එකම දියණියයි. කුඩා කල පටන්ම ඉතාමත් කීකරු දැරියක වූ ඇය සිය පියාට මවටත් වඩා සමීප වූවාය. දිසාපති කාර්යාලයේ ඉහළ තනතුරක් හෙබවූ තිලකරත්න මහතාගේ එකම සිහිනය වූයේ දියණියගේ අනාගතයයි. ගුරුවරියක වූ සිය බිරිඳටත් වඩා ඔහු දියණිය ගැන සොයා බැලූවේය.
මලීෂා පාසලේ අධ්‍යාපන කටයුතු වලට ද මහත් දස්කම් දැක්වූවාය. ඒ නිසාම සමස්ථ ලංකා තරඟවලටත් සහභාගී වූ ඇය පසුපසින් නිරන්තරවම පියා සිටියේය. පියා හෝ මව නොමැතිව ඇයට කිසි තැනක යන්නට ලැබුණේ නැත.
එය වෙනස් වූයේ මලීෂා උසස් පෙළ සමත්වී විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ලැබීමත් සමගිනි. එවිට මව් පිය දෙදෙනාට ඇගේ පසුපසින් සිටීමට හැකිවූයේ නැත. කොළඹ විශ්වවිද්‍යාලයේ ඇය ඉගෙනුම ලැබූ කාලය පුරා සෑම සතියකම එහි යාමට හෝ නැතිනම් දියණිය නිවසට ගෙන්වා ගැනීමට ද තිලකරත්න මහතා කටයුතු කළේය. බිරිඳගේ යෝජනාව වූයේ දියණිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කරනතුරු කොළඹ නිවසක් කුලියට රැගෙන පදිංචි වීම සුදුසු බවයි. එය ක්‍රියාත්මක නොවූයේ තිලකරත්න මහතා ගමේ සමාජ සේවා කටයුතු රැසකට නායකත්වය දුන් තැනැත්තෙක් වූ බැවිනි.
මව්පිය රැකවරණය යටතේ ඇය විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාරකර යළි ගමට ආවාය. ටික දිනක් ගතවෙද්දී ඇයට උපාධිධාරී පත්වීමක් ලැබිණි. ඒ පියා සේවය කළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේය. කීර්තිමත් රාජ්‍ය නිලධාරියකු වූ තිලකරත්න මහතා ගැන දන්නා සැමගේ ආදරණය රැකවරණය ඇයට නොඅඩුව ලැබිණි. ටික දිනකින් පළාත් සභාවේ ස්ථිර සේවයට ඇය බඳවා ගත්තාය.
දියණියට රැකියාවක් නොමැති කාලයේ ඇයට රැකියාවක් සඳහා ඉල්ලූම් කරන ලෙස තිලකරත්න මහතා නිතර නිතර කිවේය. ඔහු ඇයට ඒ සම්බන්ධයෙන් උනන්දු කළේ තමා ලෙසින්ම දියණිය ද රාජ්‍ය සේවයේ යෙදෙනු දැකීමේ නොනිත් ආශාවෙනි. එහෙත් ඇය රැකියාව ආරම්භ කිරීමත් සමග තිලකරත්න මහතා වෙනස් වන්නට වූවේය.
මුලදී මෙන් සිය දියණියගේ සමත්කම් හැකියාවන් ඔහු පවසන්නේ නැත. නිතර නිතර ඇගේ ඕනෑ එපාකම් සොයා බැලූ තිලකරත්න මහතා දැන් ඒ පිළිබඳ සොයා බලන්නේ නැත. ඇය ගැන ඇති සැළකිල්ල අඩුවන අතර ඇයගේ ඇවතුම් පැවතුම් ඔහු නොරුස්සන බවක් ද පෙනෙන්නට තිබිණි.
දිනක් තිලකරත්න මහතා හදිසියේම සිය දියණියට කිවේ රැකියාවට යන විට බස් රථයක නොයන ලෙසයි.
‘‘ මම දන්නවා ඔයා බස් කොන්දොස්තරලා ඩ‍්‍රයිවර්ලා එක්ක ඕනවට වඩා යාළුකම් පවත්වනවා. මේක එතරම් හොඳ වැඩක් නෙවෙයි. අපේ මූණේ දැලි ගාන්න ද හදන්නේ. ඔය බස්වල යන්න එපා. ’’
සිය පියාගේ මේ විරෝධය ඇය එතරම් ගණනකට ගත්තේ නැත. එහෙත් එය අඩුවූවේ නැත. ඇතැම් දිනවල සිය දියණිය සමග ඔහු කාර්යාලයට යයි. තවත් විටෙක දියණිය පැමිණීමට ආසන්න වේලාවට කාර්යාලයට ගොස් බලා සිටියි. එවැනි එක් දිනක් තම පියා පැමිණි බව නොදන්නා මලීෂා නිවසට ආවාය. පියා පැමිණියේ බොහෝ රෑ බෝවීමෙන් පසුවය.
‘‘ උඹ අද මගේ ඇස් වහලා කොල්ලෙක් එක්ක රවුම් ගහන්න ගියා. නැත්නම් ගේට්ටුවෙන් එළියට එනකොට මට දැකගන්න පුළුවන්නේ. කොහෙද ගියේ ඔය විදියට යන්න ගියොත් මම හොඳ වැඩක් කරන්නම්. ඔය රස්සාව කරල ඇතිවෙලා ද මගේ හැටි දන්නෙ නැතුව ඔය විදියට වැඩ කරන්නේ. ’’
පියාගෙන් දියණියට මහා දොස්මුරයකි. ඇය සිදුවූයේ කුමක්දැයි වික්ෂිප්තව බලා සිටියාය.
තම දියණිය බසයක නැග්ගත් තිලකරත්න මහතා එහි වරදක් දකියි. කාර්යාලයේ යමකු හා ඇය කතා කළ ද තිලකරත්න මහතා දකින්නේ එය වැරදි දෙයක් ලෙසිනි. ඔහු දියණියගේ වැරදි දිගින් දිගටම සොයන්නට වීම ඇයට ද හිසරදයක් වී තිබේ.
විශ්වවිද්‍යාලයේදී පවා පෙම්වතකු ගැන නොසිතූ මලීෂා හැමදාමත් කීවේ තම මව්පියන් විසින් යෝජනා කරන අයකු හා විවාහවී සාර්ථක යුග දිවියක් ගත කිරීම ඇයගේ එකම ප‍්‍රාර්ථනය බවයි. ඇය ඒ තරමටම සිය පියාටත් මවටත් කිකරුව හැදුණු වැඩුණු තරුණියක වූවාය. එහෙත් දැන් පියා ඇයට චෝදනා කරයි.
තිලකරත්න මහතා ඇයට බැන වැදීමෙන් නොනවතින්නේය. ඔහු තම බිරිඳට ද දියණිය හදා ගන්නට නොහැකි බව පවසමින් දොස් කීම පුරුද්දක් කැරගෙන තිබිණි.
‘‘ මම නෙවෙයිනේ දුව ව හුරතල් කළේ. ඔයාමයි. හැමදාම ඉල්ලන ඉල්ලන දේ අරන් දුන්නා. යන යන තැන පස්සෙන් ගියා. දැන් ඒ දරුවා පොඩි කෙල්ලෙක් නෙවෙයි. කසාද බඳින වයසේ. එයා වැදගත් තැනක රස්සාව කරන්නේ. ඔයාට විතර ද ඒ විදියට රස්සාවක් කරන්න පුළුවන් වුනේ. ඒ කාලේ ඔයාගේ ඔෆිස් එකට ආපු ගෑණු ළමයි පස්සේ ඔයා වගේ තාත්තල ආවද ? ඔයාගේ ඔළුවේ තියෙන මනස්ගාත විලින් මේ දරුවා අමාරුවේ වැටෙනවා. ’’ ඒ මවගේ අදහසයි.
වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම තිලකරත්න මහතා සිය දියණියට විවිධ තරුණයන් ඈදමින් දෝෂාරෝපණ කළේය. අවසානයේ තමන්ට පන සේ ආදරය කළ තමනුත් පෙරළා ඒ ලෙසින්ම ආදරය කළ පියා ඇයට මහත් වදයක් වෙමින් තිබිණි.
‘‘ අනේ නිශා. අපේ තාත්ත දැන් හරිම වෙනස්. මම පාරට බැස්සත් පස්සෙන් එනවා. බස් එකක නැග්ගත් එයාට සැකයි. කවුරුහරි එක්ක කතා කළොත් එයාව මට පාවල දීල හොඳටම බනිනවා. මට වෙලාවකට පිස්සු වගේ. එයාට පුදුම සැකයක් තියෙන්නේ. ’’ ඇය තම කාර්යාලයේ සිටි හොඳම හිතවතිය සමග එසේ කීවාය.
‘‘ තාත්තා ඔයාට ආදරේ වැඩි කමට තමයි එහෙම වෙන්නේ. කවදාවත් තාත්තා ඔයාට වරදක් වෙන්න ඉඩ දෙන එකක් නැහැ. දැන් ඔයාගේ කල වයස හරි නිසා එයාට බය ඇති ඔයා කවුරුහරි කෙනෙක් එක්ක පැටලේවි කියලා. ’’
‘‘ නැහැ අනේ තාත්තා ඉස්සර එහෙම නැහැනේ………… මට මේක හිතාගන්නවත් බැරි දෙයක්. මොනව වෙලාද මන්දා. ’’
මලීෂාගේ පියා හදිසියේම දක්වන මේ වෙනස්කම කිසිවෙකුටත් තේරුම්ගත හැකි තත්ත්වයක් නොවේ. දිනක් හදිසියේම මලීෂා සොයා පැමිණි නිශා පුවත්පතක පළවූ ලිපියක් ඇයට පෙන්වූවාය. ඒ කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා සමග සාකච්ඡා කරමින් ලියන ලද ලිපියකි. එහි දක්වා තිබුණේ සිය පෙම්වතියට අසාමාන්‍ය ලෙස ආදරය කළ පෙම්වතකු ඇය සැකකිරීමට පටන් ගෙන අනතුරුව ඇගෙන් පළිගත් ආකාරයයි. මෙය මානසික රෝගයක් බවත් එය ඖෂධ ප‍්‍රතිකාර වලින් සුව කළ හැකි බවත් එහි දක්වා තිබිණි. නිශාගේ අදහස වූයේ මලීෂාගේ පියා ද කරාපිටිය රෝහලට කැටුව ගොස් වෛද්‍ය රූමි ට පෙන්වීම වඩාත් සුදුසු බවයි.
නමුත් මලීෂා එයට කැමැත්තක් දැක්වූයේ නැත. නිවසට පැමිණ තමන් නිදා සිටියදී හදිසියේම ගෙදරට ආ තාත්තා තමන්ට පහරදීමත් සමගම තාත්තා කැටුව කරාපිටිය රෝහලට යාම සුදුසු යැයි මලීෂා තීරණය කළාය. ඇය පියාට කීවේ තමන්ට යම් මානසික ආතතියක් ඇති බැවින් වෛද්‍යවරයා හමුවිය යුතු බවයි.
තම දියණියට කොතරම් බැන වැදුණ ද ඇයට අසීමිතව ආදරය කළ තිලකරත්න මහතා මලීෂා සහ බිරිඳ සමග කරාපිටි ගියේ ඇයට පිහිටවීමේ අපේක්ෂාවෙනි. විශේෂඥ වෛද්‍ය රූමි මේ තිදෙනා සමග දීර්ඝව සාකච්ඡා කළේය. උගත් බුද්ධිමත් රජයේ සේවකයකු වූ තිලකරත්න මහතා තමන් අසීමිතව ආදරය කළ දියණියට දක්වන ආදරය හේතුවෙන්ම තමන් මෝහයට පත්ව ඇති බව තේරුම් ගත්තේය.
විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් එය මෙසේ විග‍්‍රහ කළේය
‘‘ මෙය බොහෝ විට පෙම්වතුන් සැමියා සහ බිරිඳ අතර දක්නට ලැබෙන දෙයක් නමුත් පියෙක් සහ දියණියක් අතර මේ වගේ තත්ත්වයක් දක්නට ලැබෙන්නේ බොහෝ කලාතුරකින්. තිලකරත්න මහතා තම දියණියට අසීමිතව ආදරය කළා. ඇය වෙනත් තැනකට යනවාට හෝ වෙනත් අය ඇසුරු කරනවාට ඔහු කැමැති වූයේ නැහැ. මේ නිසා තමයි තිලකරත්න මහතා මේ වගේ මානසික රෝගයකට ගොදුරු වුනේ. අපි ඔවුන් තිදෙනා සමග සාකච්ඡා කර තේරුම්කරලා දුන්නා. තිලකරත්න මහතාගේ දැනුම බුද්ධිය අනුව ඔහු ඒ බව හොඳින් තේරුම් ගත්තා. මාස කිහිපයක් ඖෂධ ප‍්‍රතිකාර ලැබීමෙන් තිලකරත්න මහතා දැන් පූර්ණ සුවය ලබා තිබෙනවා. ’’
වෛද්‍යවරයා පවසන ආකාරයටම තිලකරත්න මහතා දැන් දියණිය සැක කරන්නේ නැත. මලීෂා තම කාර්යලයේ විධායක නිලධාරියකුගෙන් ලැබුණු විවාහ යෝජනාවක් අනුව මව් පියන්ගේ ආශිර්වාදයෙන් තවත් මාස තුනකින් විවාහ වීමට අපේක්ෂාවෙන් සිටියි. තිලකරත්න මහතා පවසන්නේ තම දියණියගේ විවාහය ඉතා උත්කර්ශවත් ලෙස පවත්වන බවයි.
කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කරන ලදී