දකුණු අප්‍රිකාවේ සෙන්චුරියන්හි සුපර් ස්පෝට් පාර්ක් ක්‍රීඩාංගණයේ සෙනසුරාදා (26) ආරම්භ වු ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දිනේෂ් චන්දිමාල් (85) සහ ධනංජය ද සිල්වා (79) අර්ධ ශතක රැස්කරමින් සිව්වන කඩුල්ලට පැවැත්වු ලකුණු 131ක සබදතාව මත ප්‍රථම දින තරගය නිමවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයකට ලකුණු 340ක් ලබා ප්‍රබල ස්ථානයක පසුවිය.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 3ම ලකුණු 54කට බිඳ වැටී අසීරු තත්ත්වයක පසුවද්දී පිටියට එක්වූ දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා පන්දුවාර 45ක් වන විට ලකුණු තත්ත්වය කඩුලු තුනකට ලකුණු 185 දක්වා ඉහළ නංවමින් කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට ගෙන ඒමට ක්‍රියා කළහ.
ධනංජය ද සිල්වා මේ අවස්ථාවේ ආබාධ මත පිටියෙන් ඉවත්වීමෙන් පසු චන්දිමාල්ට එක්වු නිරෝෂන් දික්වැල්ල මුළු ලකුණු සංඛ්‍යාව 284 දක්වාම ඉහළ නැංවූයේ පළමු දිනය තුළ තරගයේ සියළු ගෞරව සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාවට අත්කර දෙමිනි.
ශ්‍රී ලංකාව මෙදින පන්දු වාරයකට සාමාන්‍ය ලකුණු හතරක් වනසේ ඉහළ මට්ටමක ලකුණු වේගයක් දිනය පුරාම තබා ගැනීමට සමත්වීම ද විශේෂත්වයකි. ශ්‍රී ලංකාව දිනය නිමවන විට කඩුලු හයකට ලබාසිටි ලකුණු 340 (පන්දුවාර 85යි) දකුණු අප්‍රිකාවේදී ලංකා කණ්ඩායම ඉනිමක මෙතෙක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ආසන්නයටම ළගාවීමකි. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 2012 වසරේ නිව් ලන්ඩ්ස්හි රැස්කර තිබූ ලකුණු 342යි.
ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ නායක දිමුත් කරුණාරත්න මුළු ලකුණු සංඛ්‍යාව 28 ක්ව තිබියදී ලකුණු 22කටත් කුසල් මෙන්ඩිස් ලකුණු 12 කටත් කුසල් ජනිත් පෙරේරා ලකුණු 16කටත් දැවී යෑම හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ ආරම්භය කඩා වැටිණි.
දිවා ආහාරය වන විට කඩුලු තුනකට ලකුණු 102ක් ලබා සිටියත් සවස තේ විවේකය වන විට කඩුලු තුනකට ලකුණු 212ක් ලෙසින් ස්ථාවර තත්ත්වයකට පැමිණිය හැකි විය.
මුළු ලකුණු 185ක් වන අවස්ථාවේ ධනංජය ද සිල්වාට ආබාධයකට ගොදුරුව පිටියෙන් ඉවත් වන විට පන්දු 106 කට මුහුණ දී හයේ පහරක් හා හතරේ 11ක් සමග නොදැවී ලකුණු 79ක් ලබා ගෙන සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4කට ලකුණු 284ක් ලබාසිටියදී දිනේෂ් චන්දිමාල් ලකුණු 85කට දැවීගියේ පන්දු 161කට මුහුණ දී හතරේ පහර 11ක් ලබා ශතකය අභියස සිටියදීය.
ධනංජය ඉවත්වීමෙන් පසු චන්දිමාල්ට එක්වූ නිරෝෂන් දික්වැල්ල තවත් අගනා සබදතාවයක් පවත්වාගෙන යන ලද්දේ එම කඩුල්ලට ලකුණු 99ක් රැස්කරමිනි. එහිදී දික්වැල්ල පන්දු 86කට මුහුණදෙමින් ලකුණු 49ක් රැස්කළේ හතරේ පහර හයක්ද එල්ල කරමිනි. තරගය නිමවන විට දසුන් ශානක නොදැවී ලකුණු 25ක් ලබාසිටියේ පන්දු 50කට මුහුණදී හතරේ දෙකක් සහ හයේ පහරක්ද සමගය.
ප්‍රථමවරට ටෙස්ට් තරගයකට සහභාගිවීමේ වරම් ලද වනිදු හසරංග මෙදින පන්දු 20කට මුහුණදී හතරේ පහර තුනක් සමග ලබාගත් ලකුණු ප්‍රමාණය 18කි. දක්ෂ පන්දු යැවීමේ නිරතවු වියාන් මල්ඩර් ලකුණු 68කට ලංකා කඩුලු තුනක් බිදදැමීමට සමත්විණි.
ලකුණු සාරාංශය – ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 85 කදී කඩුලු 6 ට ලකුණු 340 යි – (දසුන් ශානක 25*, දිනේෂ් චන්දිමාල් 85, දිමුත් කරුණාරත්න 22, කුසල් පෙරේරා 16, කුසල් මෙන්ඩිස් 12, ධනංජය ද සිල්වා (පිටියෙන් ඉවත් විය) 79, නිරෝෂන් දික්වැල්ල 49, වනිදු හසරංග 18, වියාන් මල්ඩර් 68/3)
බන්දුල මොල්ලිගොඩ