spot_img
spot_imgspot_img

ගාල්ල දැඩි අවදානමක. නගරය වටේම ආසාදිතයෝ

පුවත්

විදෙස්

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් අද (26) තවත් කොරෝනා ආසාදිතයන් 11 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

ගාල්ලේ මිලිද්දුව ආශ්‍රිතව ඇති වූ කොරෝනා පොකුර හේතුවෙන් පසුගිය දින කිහිපයක් සංචරණ සීමා පවා පනවා තිබූ අතර ක්‍රමයෙන් එහි සක්‍රීය බව අඩුවී ගියේය. එසේ වුව ද ගාල්ල කොටුවේ ලේන්බාන් වීදියේ ඇඳුම් සැකසුම් ස්ථානයකින් කොරෝනා ආසාදිතයන් වාර්තාවීමත් සමඟ යළි ගාල්ල අවදානම් තත්ත්වයකට පත්වෙමින් තිබේ.

මෙම ස්ථානයට මිලිද්දුව ප්‍රදේශයෙන් පැමිණි කාන්තාවක් ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු එම ව්‍යාපාරික ස්ථානයේ සිටි පිරිසකට කරන ලද පීසීආර් පරීක්ෂණවලින් තවත් ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

අද ගාල්ලෙන් වාර්තා වූ ආසාදිතයන් කටුගොඩ, කන්දෙවත්ත, දෙද්දුගොඩ දකුණ, දෙද්දුගොඩ උතුර, කුඹල්වැල්ල දකුණ, කුඹල්වැල්ල උතුර සහ මඩවලමුල්ල උතුර යන ප්‍රදේශවලින් වාර්තා වී ඇත. මඩවලමුල්ලෙන් වාර්තා වී ඇත්තේ ගාල්ල කොළඹ බසයේ රියදුරාය.

මේ අනුව පැහැදිලිවන්නේ ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මෙතෙක් ග්‍රාම නිලධාරී කෝට්ඨාස 08කට පමණ සීමා වී තිබූ කොරෝනා වයිරසය ක්‍රමයෙන් ගාල්ල නගරය වටා පැතිර ඇති බවයි.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම ආසාදිතයන් රෝහල්ගත කර ඔවුන්ගේ ආශ්‍රිතයන් ද හැකි ඉක්මණින් නිරෝධායනය කර කොරෝනා ව්‍යාප්තවීම හැකි ඉක්මණින් පාලනය කරන බවයි. එසේ වුව ද ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට නියෝජ්‍ය නගරාධිපතිවරයා බැන තර්ජනය කළා යැයි පවසන සිද්ධියක් හේතුවෙන් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරු කිසිවෙකුත් මේ දක්වාම සේවයෙට වාර්තා කර නැත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩිව කියා සිටින්නේ එම සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය නගරාධිපතිවරයා ලිඛිතව සමාව නොගන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණවන බවයි. 28 වැනි සඳුදා සිට ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු සේවයෙන් ඉවත්වන බව ද එම සංගමය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!