ගාල්ල නගර සභා සීමාවෙන් අද (25) කොරෝනා ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයන් 05 දෙනකු රෝහල්ගත කිරීමට හැකියාවක් ලැබී නැතැයි වාර්තා වෙයි. පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල රසායනාගාර වෙතින් ලැබුණු විට එම රෝගීන් නිවැරදිව හඳුනාගැනීමත් ඔවුන් රෝහල්ගත කිරීමත් සිදුකරන්නේ අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙනි.
නමුත් ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාරේයාලයේ වෛද්‍යවරු අද (25) දිනයේ ද සේවයට පැමිණ තිබුණේ නැත.
ඊට හේතු වූයේ පසුගිය දා ගාල්ල නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බර්ට්‍රම් ගුණවර්ධනට බැන තර්ජනය කළා යැයි කියන සිද්ධියකට විරෝධය පළකිරීම සඳහා සේවයෙන් වැළකී සිටීමයි.
වෛද්‍ය බර්ට්‍රම් ගුණවර්ධන ඔහුට ආරක්ෂාව තහවුරු කරනතුරු සේවයෙන් වැළකී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (24) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේය.
මේ අතර තමන් විසින් පීසීආර් පරීක්ෂණ පිළිබඳ විමසූ අවස්ථාවේ දී වෛද්‍ය ගුණවර්ධන ඊට පිළිතුරු දුන් ආකාරය හේතුවෙන් තමන්ට තරහා ගිය බවත් ඔහුට තර්ජනය නොකළ බවත් නියෝජ්‍ය නගරාධිපති ෆවුස් නියාස් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඊයේ (24) සවස කීවේය.
කොරෝනා ආසාදිත බවට තහවුරු කරගන්නා පුද්ගලයන් හැකි පමණ ඉක්මණින් රෝහල්ගත කිරීමටත් ඔවුන්ගේ ආසාදිතයන් නිරෝධායනයට යොමුකිරීමත් මීට පෙර කඩිනමින් සිදුකෙරිණි. නමුත් අද (25) ඔවුන් සියල්ලෝම නිවෙස්වල සිටිති. බරපතලම ගැටලුව වන්නේ ආසාදිත බව තහවුරු වූ පුද්ගලයන් කවුරුන්ද යන්න නිවැරදිව හඳුනාගැනීමට සෞඛ්‍ය අංශවලට නොහැකිවීම හා ආසාදිත වූවන් ද තමන් ආසාදිත බව නොදැන නිවෙස්වල රැඳී සිටීමයි.
මේ පිළිබඳ ගාල්ල දිස්ත්‍රික්ක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු කීවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා සහ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සම්බන්ධ සිද්ධියට තවමත් පිළිගත හැකි විසඳුමක් ලැබී නොමැති බැවින් මෙවැනි තත්ත්වයක් උදාවී ඇති බවයි.
(ලංකින්ද නානායක්කාර)