ඇය මැද පෙරදිග රටකට ගියේ තනිවමය. අපි ඇයට චමරි යැයි කියමු.
එහි ගෘහ සේවයට ගිය ඇයට අන් කාන්තාවන්ට මෙන් නොව අනේකවිද සැප සම්පත් ලැබිණි. නිවසේ සේවිකාවක ලෙස නොව නිවසේ දියණියක මෙන් සිටි ඇය යළි කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණියේ තනිවම නොවේ.
ඒ ඇය මැදපෙරදිග රැකියාව කළ නිවසේ ගෘහ කාන්තාව ද සමගිනි. අරාබි පන්නයට අඳින පළඳින මේ අරාබි කත කටුනායකින් මෙරටට පා තැබුව ද ඇය දෙස බලන කිසිවෙකුට එහි අමුත්තක් තිබුණේ නැත. බොහෝ දෙනකු දුටුවේ ඇය මෙරට තවත් මුස්ලිම් කාන්තාවක් ලෙසිනි.
නමුත් ඇය මෙහි පැමිණීමේ කතාව බොහෝ දිගු වූවකි.
වසර හයකට පෙරාතුව චමරී මැද පෙරදිග ගියාය. ඇය ගෘහ සේවිකාවක වශයෙන් නතර වූ නිවෙස් සිටියේ සැමියාත් බිරිඳත් පමණි. සැමියා කෝටිපති ව්‍යාපාරිකයෙකි. බොර තෙල් ව්‍යාපාරිකයකු වූ ඔහුට ලැබෙන ආදායම කොතරම් දැයි කියා බිරිඳ දන්නේ ද නැත.
ඔවුන්ගේ දූවරු සහ පුතුන් සියළු දෙනා ම විවාහ වී වෙනත් නිවාසවල ජීවත් වූහ. ඒවා නිවාස නොව මාළිගා යැයි චමරි සිතයි. චමරි සේවය කළේ ද එවැනිම මාළිගාවක් වැනි නිවසකය. චමරිට තිබුණේ නිවෙස් හිමි කාන්තාවගේ තනි නොතනියට සිටීම විනා සිරුර වෙහෙසකරන වැඩපළ නොවේ. ඒ ඒ වැඩවලට සේවිකාවෝ කිහිප දෙනකුම සිටියහ.
චමිරි තම ස්වාමිදුවගේ ආහාර පිළියෙල කළාය. ඇයට වෙනත් වැඩක් පැවරුණේ නැත. ස්වාමිදුව කොහේ හෝ ගමනක් යන්නේ නම් චමරි ඇය සම`ග ගියාය.
ස්වාමිදුව සිතුවේ චමරි තමන්ට ඉතා සමීප තැනැත්තියක බවයි. චමරිට අරාබි බස ද හොඳින් හැසිරවිය හැකි බැවින් ඔවුන් දෙදෙනා අතර මනා අවබෝධයක් ද තිබිණි. වසර හයක සේවාකාලය නිමවා චමරි යළි ශ්‍රී ලංකාවට පැමිණෙද්දී ඇය සමග පැමිණීමට ස්වාමි දුව ද තීරණය කළාය.
එයට ද හේතුවක් තිබිණි. ඒ ස්වාමිදුව සොයා වරින් වර පැමිණෙන් භූත බලවේගයකින් අත්මිදීමයි. මැදපෙරදිග දී මේ ස්වාමි දුව අවස්ථා කිහිපයක් ම රෝගාතුර වූවාය. හිදිසයේ ම වෙව්ලා සිහිනැතිව වැටෙන ඇය වරින් වර නොදන්නා භාෂාවකින් කතා කරයි. මෙය දින කිහිපයක් එක දිගට සිදුවන්නට වූයෙන් ඇගේ සැමියා හා දරුවන් ගුප්ත කටයුතුවල යෙදෙන අයකු ගෙන්වා මේ ගැන විමසූහ.
ඔහු කියා සිටියේ මේ කාන්තාවට ජින් වරයකු ආරූඪ වී ඇති බවයි. ජින් යනු ඉස්ලාම් ආගමික විශ්වසයකි. අරාබි නිසොල්ලාසයේ කතාවල පවා මෙවැනි ජින් වරු පිළිබඳ සඳහන් වෙයි. මිනිසුන් සහ සතුන් මෙන් තවත් ජීවීන් කොටසක් බවත් ජින් වරු ඇහැට නොපෙනෙන බවත් ඔවුන්ගේ විශ්වාසයයි. ජින්වරු වරින් වර ඇතැම් අයගේ සිරුරට ඇතුළු වන බවට ද විශ්වාසයක් පවතී.
මෙලෙස පැමිණි ජින් පවසා සිටියේ අපූරු කතාන්තරයකි. ඒ අරාබි කාන්තාව හා ශ්‍රී ලංකාවෙන් පැමිණි ගෘහසේවිකාව මින් පෙර කාලයක් මවත් දියණියත් ලෙස උපත ලබා සිටි බවයි. පුනර්භවය ගැන කිසිදු විශ්වාසයක් නොමැති මැදපෙරදිග ස්වාමි දුව එවැනි කතාවක් පැවසීම පුදුම සහගත දෙයකි. එසේ වුව ද ඇගේ සිරුරේ ආරූඪ වී සිටින ජින් ඒ බව දිගින් දිගටම තහවුරු කරයි.
ජින්ගෙන් ගැලවීමට අවශ්‍ය සියළු කටයුතු සිදු කළ ද වරින් වර එය නැවත මතුව ආයේය. මේ අතර චමරිගේ සේවා කොන්ත‍්‍රාත් කාලය ද අවසන් වෙමින් තිබිණි.
“මට ඔයාගේ රටට යන්න හරි ආසයි. මාත් එහේ ජීවත්වෙලා හිටියා කියනවනේ. අපේ ආගමේ ඕවා පිළිගත්තේ නැතත් ඔයාලා ඒවා පිළිගන්නවා නේද ?” ස්වාමි දුව මේ යෝජනාව කරද්දී චමරී පුදුම වූවාය.
සිය ස්වාමි දුව රෝගාතුර වූ සෑම අවස්ථාවක දී ම චමරිට සිහිපත් වූයේ ශ්‍රී ලංකාවේ ගැමියන් ආරූඪ පැමිණෙන අවස්ථාවලදී කරණ ශානත්කර්ම, යාග හෝම හා බලි තොවිල් ආදියයි. ඇය ඒවා ගැන තමන්ට හැකි පමණින් සිය ස්වාමිදුවට කරුණු පැහැදිලි කර දුන්නාය. ඒ ගැන නිතර නිතර සිතූ ඇය චමරි සමග ශ්‍රී ලංකාවට යාමට තීරණය කරන්නට ඇත.
මේ පවුලේ දරුවන් හත්දෙනකු සිටි ය ද ඔවුන්ට කෝටි ගණනක් මුදල් තිබුණ ද පවුලේ වැඩි සමගියක් තිබුණේ නැත.
සැමියා නිතර නිතර ඩුබායි යයි. එහි ගොස් සතියකට දින ගණනක් එන්නේ නැත. දරුවන් ද තම තමන්ගේ ව්‍යාපාරික කටයුතුවල සිටින බැවින් මව සිටින්නේ නිවසේ තනිවමය. ඇගේ තනි රකින්නට සිටින්නේ චමරි හා අනෙකුත් සේවක සේවිකාවන් පමණි.
ඇයට චමරි දුවක මෙන් වූවාය. චමරිට තම දියණියක් හෝ දොස් පවරනවාට මේ මව කැමති වූයේ නැත. තම දරුවන් නිවසට පැමිණීම පවා ඇයට විටෙක රුස්සන්නේ නැත. දියණියක් නිවසට පැමිණ දවසක් දෙකක් ඉන්නා විට ඇය කුමන හෝ ආකාරයක පොඩි ගැටලූවක් අල්ලාගෙන රණ්ඩුවක් පටන් ගනී. අවසානයේ දියණිය නිවසින් පිටව ඇගේ නිවසට යයි. ඒ සෑම අවස්ථාවක දීම තම දරුවන්ගේ නුගුණ ඇය පවසන්නේ චමරි සමගිනි.
සැමියා තවත් විවාහයක් කරගෙන නොසිටිය ද ඔහු ඩුබායි නගරයේ මහල් නිවාසයක තවත් තරුණියන් ඇසුරු කරණ බවට ඇය දැඩි සේ සැක කළාය. එය තහවුරු කරගත නොහැකි වුව ද නිතර නිතර සැමියා සමග මේ දේවල් ඇදගෙන රණ්ඩු කරන්නට ද ඇය පුරුදු වූවාය. එවැනි රණ්ඩුවකින් පසු ඇය චමරි සමග තම දුක පවසමින් හ`ඩා වැලපෙයි.
ජින් ඇගේ සිරුරට ආරූඪ වන්නේ ඒ ලෙසින් වසර හතරක පමණ කාලයක් ගෙවී ගිය පසුවය. ඇගේ මේ තත්ත්වය දැන සිටි සැමියා හා දරුවන් ද ඇය චමරි සමග ශ්‍රී ලංකාවට යාම සම්බන්ධයෙන් විරෝධතාවක් දැක්වූයේ නැත.
කටුනායක සිට ඔවුන් දෙදෙනා දෙනියායේ චමරිගේ නිවසට ගියහ. මැදපෙරදිග සිට පැමිණි මේ කාන්තවාට දෙනියායේ චමරිගේ නිවස හුරු පුරුදු ස්ථානයක් මෙන් විය.
ඈතින් පෙනෙන වන ගොමුවලින් ගැවසී ගත් කඳු පන්තියත්, සිංහරාජ මහ වනය සිප එන සීතල සුළං රැල්ලත් ඇයට අපූරු චමත්කාර ජනක අත්දැකීමක් විය.
සති දෙක තුනක් ගත වෙද්දී චමරිගේ නිවස වඩාත් කාර්ය බහුල විය. ඒ ආරාබි කාන්තාව වෙනුවෙන් තොවිලයක් සංවිධානය කිරීමයි. ගන්දර ප‍්‍රදේශයෙන් පැමිණි යකදුරෝ තොවිලයට අවශ්‍ය සියල්ල සූදානම් කළහ.
අරාබි කාන්තාවගේ සිරුරට අරක්ගෙන සිටින ජින් පන්නා දැමීම මේ තොවිල් කරුවන්ගේ ඉලක්කය විය. මේ යකදුරෝ ජින් ලා ගැන දැන සිටියේ නැත. නමුත් දශක ගණනාවක් රට පුරා විවිධ ස්ථානයන්හි යක්ෂයන් පෙරේතයන් භූතයන් ආරූඪ වී සිටි අය සමග අඩව් අල්ලා ඒ අදෘෂ්‍යමාන බලවේග පළවා හැර මනා ඇත්දැකීමක් ඇති ඔවුන්ට මේ අභියෝගය අපහසු දෙයක් වූයේ ද නැත.
අවසානයේ තොවිලය සංවිධානය කැරිණි. අරාබියෙන් ආ කාන්තාවකට ශ්‍රී ලංකාවේ ඈත එපිට දුෂ්කර ගම්මානයක පැවැත්වෙන තොවිලය දැක බලා ගැනීමට බොහෝ දෙනා එහි පැමිණියහ.
එළිවනතුරු පැවැත්වූ පැය ගණනක තොවිලයකින් පසු සියල්ල අවසන් කැරිණි. ආතුරයාගේ සිරුරේ සිටි අමුතු බලවේගය හෙවත් ජින් පැන්නූ බව යකදුරෝ කීහ.
අරාබි කතට ද මහත් සැනසීමක් ලැබී තිබිණි. සිරුරට වෙනදාට වඩා පහසුවක් දැනෙන බව ඇය චමරිට කීවාය. ඒ සියල්ලට ම වඩා ඇය සතුටට පත්ව සිටියාය. දුරු රටක සිදුවූ අමුතුම චාරිත‍්‍ර හා සංස්කෘතික අංග දැක ඇය සිටියේ මහත් ප‍්‍රමෝදයෙනි.
එසේ වුව ද මේ සතුට වැඩි කාලයක් තිබුණේ නැත. දිනක් තම සැමියාට දුරකථන ඇමතුමක් ගත් ඇය නිවසට පැමිණ බලාගත්තු අතේ බලාගෙන සිට හදිසියේ ම සිහිසුන්ව වැටුණාය. යළිත් ඇය සොයා එදා තොවිලයෙන් පැන්නූ ජින් පැමිණ සිටියි.
මේ ආකාරයෙන් ඇය යළිත් විටින් විට රෝගාතුර වූවාය. චමරිට දැන් මේ ගැටලුව විසඳා ගැනීමට මඟක් තිබුණේ නැත. පිහිටට ආවේ අසල්වැසි නිවසකට පදිංචි හෙදියකි. ඇය චමරිට කරුණු පැහැදිලිකරමින් කියා සිටියේ මේ අරාබි කාන්තාව රැගෙන කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික වෛද්‍ය ඒකකයට යන ලෙසයි. ඒ අනුව චමරි ඇය කැටුව ගාල්ල කරාපිටිය රෝහලට පැමිණියාය.
ඒ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා හමුවීමේ අපේක්ෂාවෙනි.
චමරි වෛද්‍යවරයා සමග තම ස්වාමි දුව මුහුණ පෑ සියලූ අපහසු තා නොපැකිලිව කීවාය. වෛද්‍ය රූමි ගේ නිගමනය වූයේ අරාබි කතට වැළඳී ඇත්තේ මානසික රෝගයක් බවයි.
ඒ ගැන ඔහු මෙසේ කීවේය.
මේ කාන්තාව පරික්ෂා කළාට පස්සේ තේරුම්ගිය දේ තමයි මේ කාන්තාවට සල්ලි ඕනෑ තරම් තිබුණත් ඇයට දරුවන්ගෙන් හෝ සැමියාගෙන් ආදරය ලැබිලා නැහැ. තමන්ගේ සැමියා වෙනත් කාන්තාවන් සමග සමීප ඇසුරක් පවත්වනවා යැයි ඇය විශ්වාස කරණවා. ඒ නිසා ඇය ටිකෙන් ටික සමීප වුණේ තමන්ගේ නිවසේ වැඩ කරපු චමරිට. චමරි ඉතා පිරිසිදුවට හිටියා ඒ වගේ ම ඇය බොහොම කාර්ය ශූරයි. මේ කාන්තාව ගැන නිතර නිතර සොයා බැලූවා. ඒ නිසා මේ කාන්තාව හිතුවේ චමරි තමන්ගේ ම දියණියක් කියා. චමරි ශ්‍රී ලංකාව ගැන ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ගැන කියන දේටත් ඇය ආසා කළා.
මේ අවස්ථාවේ තමයි ජින් කියන චරිතය ඇගේ සිරුරට ආරූඪ වන්නේ. එය ඇත්තටම සිදුවන දෙයක් නොවෙයි. ජින් කියන්නේ අරාබිකරයේ රටවල තිබෙන විශ්වාසයක්. මේ විශ්වාසය ඇගේ සිතේ නිර්මාණය වුණා. ඇය එය තමන්ගේ ආයුධයක් කරගත්තා. විටින් විට ජින්ගේ ආරූඪය ඇගේ සිතින් මතුවෙනවා. ඒ තමන්ගේ ගැටළු නිරාකරණය කරගන්න ඇයට ලැබුණු අවස්ථාවක්. නමුත් එවැනි ජින් කෙනෙකු නැහැ. ඒවා මිත්‍යා කතා විශ්වාසය නිසා සිතෙන් ඇතිවූ මනෝ විකාරයන් පමණයි. එය හ`දුන්වන්නේ පරළ වීම යනුවෙන්.
වෛද්‍ය රූමි පවසන්නේ ඇය ජින්ගේ ආරූඪය නමැති පරළ වීමෙන් තමන්ගේ ආධිපත්‍යය පැතිරවිමට උත්සාහ ගත් බවයි. තමන්ට වඩාත් සමීප චමරි තමන්ගේ දියණියක යැයි සිතීමටත් ඇගේ රටේ තමන් මීට පෙර ජීවත්වී ඇතැයි සිතීමටත් ඇය පෙළඹුණේ තමන්ගේ සැමියාගෙන් හා දරුවන්ගෙන් ආදරය නොලැබුණු නිසායැයි ද වෛද්‍ය රූමි පවසයි.
අරාබියේ සිට ශ්‍රී ලංකාවට පැමිණ කරාපිටිය රෝහලෙන් වෛද්‍ය ප‍්‍රතිකාර ලැබූ කාන්තාව ඉක්මන් සුවය ලැබුවාය. මනෝ වෛද්‍ය ප‍්‍රතිකාර වලින් පසු ඇය සොයා ජින් පැමිණෙන්නේ නැත. යළි විදේශ ගත වූ ඇය වරින් වර අවස්ථා කිහිපයක් ශ්‍රී ලංකාවට පැමිණියාය. දැන් ඇයට චමරි යනු සැබැවින් ම තම ජීවිතය බේරා දුන් දියණියයි.
(කතාව සත්‍යයකි. නම් ගම් පමණක් මනඃකල්පිතය)
සජීව විජේවීර