දෙමාපියන් දරුවන් රැක බලා ගන්නේ තම දෑස සේය. පනටත් වඩා ආදරයෙනි. එසේ වුව ද දරුවන් වැඩිම ප්‍රමාණයක් අනතුරට ලක්වන්නේ දෙමාපියන් හෝ පවුලේ සමීපතම වැඩිහිටියන් සමග සිටිය දී බව සමීක්ෂණයකින් හෙළි වී ඇත.
මේ සමීක්ෂණය සිදුකළ කරාපිටිය රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ ළමා රෝග වෛද්‍ය නයනා ලියනාරච්චි පවසන්නේ මෙය දැඩි අවධානය යොමු කළ යුතු කරුණක් බවයි.
ගාල්ල කරාපිටියේ ශික්ෂණ රෝහලට පැමිණි දරුවන් සම්බන්ධකර ගනිමින් මේ සමීක්ෂණය සිදුකර තිබේ. වෛද්‍ය ලියනාරච්චි පවසන්නේ මාස තුනක කාලයක් කරාපිටිය රෝහලට පැමිණි දරුවන්ගේ දත්ත අනුසාරයෙන් සමික්ෂණය සිදුකළ බවයි.
මෙහිදී අනාවරණය වී ඇත්තේ ඉන් දරුවන් 94.6% ම අනතුරට ලක්ව ඇත්තේ සිය වැඩිහිටියන් සමග සිටිය දී බවයි. දරුවන් වඩාත් ආරක්ෂිත වන්නේ සිය දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් සමග සිටිය දී යැයි ඇති මතය පිළිබඳ තවදුරටත් සිතා බැලිය යුතුව ඇත්තේ මේ හේතුවෙනි.
විශේෂඥ වෛද්‍ය නයනා ලියනාරච්චි මෙසේ ද කීවාය.
දරුවන්ට සිදුවූ අනතුරුවල ස්වභාවය සැළකූ විට ඉන් 59.3%ක් ඇද වැටීම් හේතුවෙන් සිදුවූ අනතරු ලෙස හඳුනාගත හැකි වුණා. මාර්ග අනතුරුවලින් තුවාල ලැබූ දරුවන් ප්‍රතිශතයක් ලෙස 16.3%ක් වනවා. කැපීම් හා තැලීම් හේතුවෙන් 10.5%ක් තුවාල ලබා සිටි අතර පරහදීම් හා පිළිස්සුම් හේතුවෙන් රෝහල්ගත වූ දරුවන් ප්‍රමාණය 3.3%ක් වනවා. කෙසේ වෙතත් මේ අනතුරුවලින් ඉතා විශාල ප්‍රමාණයක් වළක්වාගත හැකි අනතුරු ලෙස අපට හඳුනාගත හැකි වුණා. මේ ගැන අපේ සමස්ථ වැඩිහිටියන් අවධානය යොමු කළ යුතුයි.
විශේෂඥ වෛද්‍යවරිය පවසන්නේ සති අන්තයේ දී සිදුවන අනතුරුවලට වඩා සතියේ දිනවලදී අනතුරු වැඩි ප්‍රමාණයක් සිදුව ඇති බවයි.
විශේෂඥ ළමා රෝග වෛද්‍ය නයනා ලියනාරච්චි මහත්මියගේ මෙහෙයවීමෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ප්‍රජා වෛද්‍ය විශේෂඥ චම්පා විජේසිහ ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් මේ සමික්ෂණය සිදුකර තිබේ.
විශේෂඥ වෛද්‍ය චම්පා විජේසිංහ ඒ පිළිබඳ මෙසේ කීවාය.
දරුවන් අනතුරට ලක්විම සම්බන්ධයෙන් අපි පැති ගණනාවකින් කරුණු සොයා බැලුවා. මෙහි දී අපි අනතුරට ලක්වූ දරුවන්ගේ සමාජ මට්ටම ගැනත් විමසා බැලුවා. සමාජ වර්ගීකරණයක් කිරීම කොතරම් දුරට සාධාරණ ද කියා ගැටලුවක් තිබුණත් නාගරික සමාජය නියෝජනය කරන රැකියාවේ නිරත දෙමාපියන්ගේ දරුවන් අනතුරට ලක්වනවාට වඩා ග්‍රාමීයව ජීවත්වන රැකියා නොමැති දෙමාපියන්ගේ දරුවන් අනතුරට ලක්වීමේ ප්‍රවණතාව වැඩියි. අපි සමීක්ෂණය සඳහා යොදාගත් දරුවන් නියැදියේ මේ බව පැහැදිලිව දක්නට ලැබුණා. මේ වර්ගීකරණය ඇතැම් මානයන් අනුව සාධාරණ නොවෙන්න පුළුන්. නමුත් දෙමාපියන්ගේ දැනුම්වත් බව එහෙමත් නැත්නම් උගත් හා අනතුරු පිළිබඳ ඇති අවබෝධය දරුවන් අනතුරට ලක්වීම අඩු කරගන්න හේතුවක් වන බව පෙනන්නට තිබෙනවා. මෙයින් පැහැදිලිවන දෙයක් තමයි දරුවන් අනතුරුවලින් ආරක්ෂා කරගැනීමට නම් දෙමාපියන්ගේ දැනුම්වත් බාවය වැදගත් වනවා යැයි කියන එක. වළක්වාගත හැකි අනතුරුවලින් දරුවන් බේරාගැනීමට දෙමාපියන් හා වැඩිහිටියන් වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
විශේෂඥ වෛද්‍ය නයනා ලියනාරච්චි මහත්මිය පවසන්නේ අනතුරට පත්වන දරුවන් දෙමාපියන්ගේ නොසැළකිලිමත් කම හේතුවෙන් අනතුරට ලක්වීම වේදනාකාරී දෙයක් බවයි. සමීක්ෂණයට භාාජනය වූ දරුවන් අතර පිළිස්සුම් තුවාල ලැබූ දරුවන් පිළිස්සී ඇත්තේ ඔවුන් දණ ගාගෙන ගොස් මේසයේ රෙද්ද අල්ලාගෙන නැගිටීමට උත්සාහ ගැනීමේ දී මේසය මත තිබූ උණුවතුර භාාජනය ඇඟට හැලීමෙන් බව ද වෛද්‍යවරිය කීවාය.
ඇය පවසන්නේ අනතුරට ලක්වූ දරුවන් අතරින් 40.6%ක් ඉහළ සමාජ මට්ටම් නියෝජනය කරන අතර පහළ සමාජ මට්ටම් නියෝජනය කරන දරුවන් 59.4%ක් අනතුරුවලට ලක් වී ඇති බවයි.
දරුවන් පාරේ රැගෙන යාමේ දී සහ වාහනවල රැගෙන යාමේ දී ආරක්ෂිත පියවර අනුගමනය කිරීම ගැන වැඩිහිටියන් සැළකිල්ලක් නොදක්වන බව වර්තමාන සමාජයේ නිරන්තර කතාබහට ලක්වන්නකි. පදිකයන් මාර්ගයේ දකුණු පැත්තෙන් යා යුතුයැයි නීතියක් තිබේ. දරුවන් රැගෙන යන්නේ නම් එය ද වැඩිහිටියාගේ දකුණු පැත්තෙන් කැටුව යා යුතු වුව ද එසේ නොකරන අවස්ථා ඕනෑ තරම් දක්නට ලැබෙයි. එමෙන් ම දරුවන් වාහන තුළ රැගෙන යාමේ දී ද ආරක්ෂක බඳ පටි නොපැළදීම, නිසි පරිදි අසුන්ගන්වා රැගෙන නොයාම, නිදාගන්නා විට දී දෙමාපිය අවදානය යොමු නොකිරීම හා මුහුණ හෝ අත් හෝ එළියට දමාගෙන යාම නිරීක්ෂණය කළ හැකිය.
මේ සමීක්ෂණය සිදුකළ වෛද්‍යවරු පවසන්නේ මාර්ගයේ දී අනතුරට ලක්වන දරුවන් සංඛ්‍යාව 18% බවයි.
සමීක්ෂණයේ දී අනතුරට ලක් වූ දරුවන් අතරින් තුනෙන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක්, එනම් 69%ක් පිරිමි දරුවන්ය. ගැහැනු ළමයින් අනතුරට ලක්ව ඇත්තේ 31%ක් පමණි. පිරිමි දරුවන් ස්වභාවයෙන් ම ගැහැනු දරුවන්ට සාපේක්ෂව වැඩිපුර දුව පැන ඇවිදීමත්, බයිසිකල් පැදීම ගස් නැගීම වැනි ක්‍රියාවල නිරතවීමත් මෙයට හේතුවක් වන්නට ඇත.
වැඩිපුරම අනතුරවලට ලක්වන්නේ වයස අවුරුදු 05-09ත් අතර දරුවන් වීම ද විශේෂත්වයකි. ඒ ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 42.6%ක් වන අතර වයස අවුරුදු 05ට අඩු ළමයි අනතුරට ලක්වීමේ ප්‍රතිශතය 29.8%කි. වයස අවුරුදු 09-14ත් අතර අනතුරට ලක්වන දරුවන් ප්‍රමාණය මේ සමීක්ෂණයට අනුව 21.9% කි. වයස අවුරුදු 15 ට වැඩි දරුවන් අනතුරට ලක්වීම 5.7% කි.
දරුවන් අනතුරට ලක්වීම වැඩිපුරම සිදුවන්නේ සිය නිවසේ සිටිය දී බව ද වෛද්‍යවරු කියති. එම ප්‍රමාණය 51.8% කි. මහා මාර්ගයේ දී අනතුරට ලක්වන ප්‍රමාණය 18%ක් වෙද්දී 12%ක් දරුවන් පාසලේ දී අනතුරට ලක්වෙති. නිවසෙන් හා පාසලෙන් පරිබාහිරව මාර්ගයේ දී ද හැර වෙනත් ස්ථානවල දී අනතුරට ලක්වන දරුවන් ප්‍රමාණය 18.2% කි.
දෙමාපියන් හෝ සමීපතම වැඩිහිටියන් සමග සිටිය දී දරුවන්ට ආරක්ෂාව ඇතැයි මතයක් සමාජයේ මුල්බැසගෙන ඇතත් මේ සමීක්ෂණයෙන් පෙනී යන්නේ එහි සත්‍යතාවක් නොමැති බවයි. දරුවන් කවර ආකාරයෙන් අනතුරට ලක්වුව ද ඉන් වැඩි ප්‍රමාණයක් වළක්වාගත හැකි අනතුරු බව ද වෛද්‍යවරු කියති. දරුවන් සුරක්ෂිතයැයි සිතා සිටින නිවසේ දී ම ඔවුහු වැඩිපුර අනතුරට ලක්වෙති.
මේ ගැන දෙමාපිය වැඩිහිටි සියල්ලෝ ම වරක් දෙවරක් නොව කිහිපවරක් ම සිතා බැලිය යුතුය.