spot_img
spot_imgspot_img

මහමෝදර දී සැත්කමක් වැරදී මවක් මිය යයි

පුවත්

විදෙස්

මහමෝදර රෝහලේ දී සිදුකළ ශල්‍යකර්මයක් වැරදීමෙන් හික්කඩුවේ පදිංචි කාන්තාවක මියගොස් ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කළ හදිසි මරණ පරීක්ෂණයකින් අනාවරණය වී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කළුගල චමරි දිනේෂා දිල්රුක්ෂි ද සිල්වා නමැති 37 හැවිරිදි එක්දරු මවකි. ඇය හික්කඩුවේ කුරුඳුවත්ත, පන්විල පදිංචිව සිටි තැනැත්තියකි.

ඇයගේ ගර්භාෂයේ ගෙඩියක් හටගෙන ඇති බවත් එය සැත්කමකින් ඉවත් කළ යුතු බවටත් විශේෂඥ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකුගේ උපදෙස් පරිදි පසුගිය 16 වැනි දා මහමෝදර රෝහලට ඇතුළත් වී ඇත. සැත්කම සිදුකර ඇත්තේ 18 වැනි දිනයේ දී ය. සැත්කමට පසු දිනම ඇය රෝහලින් යැවීමට වාට්ටුවේ වෛද්‍යවරු කටයුතු කර තිබිණි. නිවසට ගිය ඇය තවදුරටත් අසාධ්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් 21 වැනි දා කරාපිටිය රෝහලට ඇතුළත්කර ඇත. එහි දී යළි සැත්කමකට භාජනය කල එම කාන්තාව 23 වැනි දා උදෑසන මියගියාය.

මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල නාගරික වැඩබලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් පවත්වන ලද අතර එහි දී සාක්ෂි දුන් මියගිය කාන්තාවගේ නදීප් පුෂ්පකුමාර මෙසේ කීවේය. ඔහු නාවික සෙබළෙකි.

“මගේ බිරිඳට හදිසියේ ම කොන්දේ වේදනාවක් හටගත්තා. එයට පුද්ගලික වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත්තා. එම්ආර්අයි එකක් කළාම දැනගත්තා ගර්භාෂයේ ගෙඩියක් කියලා. විශේෂඥ වෛද්‍ය සාරද කන්නන්ගරට පෙන්වූ විට කීවා ශල්‍යකර්මයක් කළ යුතු නිසා මහමෝදර රෝහලට ඇතුළු වෙන්න කියා. ඒ අනුව අපි රෝහලට ගියාම ශල්‍ය කර්මය කළා. 18 වැනි දා කරලා 19 ටිකට් කැපුවා. ටිකට් කපන විටත් බිරිඳට ලොකු වේදනාවක් තිබුණා. ඒ ගැන කීවාම වේදනාව නිසා හොඳ වෙන්න තමයි බෙහෙත් දීලා තියෙන්නේ කියලා වෛද්‍යවරු කී නිසා අපි ගෙදරට ගියා. දිගින් දිගටම අසනීප වැඩි වුණා. බඩ පිපිලා වැසිකිළි යාමට නොහැකි වුණා. ඒ නිසා අපි 21 වැනි දා ගිලන්රථයකට කතා කරලා රෝහලට ගෙනියන්න කීවා. ඒ අය ඇවිත් ඊසීජී එකක් අරගෙන කිව්වා තත්ත්වය එතරම් හොඳ නෑ ඒ නිසා කරාපිටි යමු කියලා. කරාපිටියේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුල් කළා.”

පුෂ්පකුමාර පවසන්නේ කරාපිටිය රෝහලේ දී තම බිරිඳ පරීක්ෂා කළ වෛද්‍යවරු විසින් ඇගේ බඩවැල්වල ගැටලුවක් මතුවී තිබෙන බැවින් නැවත උදරය විවෘත කළ බැලීමට අවශ්‍යයැයි කියමින් තමන්ගෙන් හා බිරිඳගෙන් ඊට කැමැත්ත ලබාගත් බවයි.

ඒ අනුව නැවත 22 දා සැත්කමක් සිදුකර තිබිණි. සැත්කමින් පසු වෛද්‍යවරු පුෂ්පකුමාරට පවසා ඇත්තේ මහමෝදර රෝහලේ දී සිදුකළ ශල්‍යකර්මයේ දී මහ බඩවැල තුවාල වීම හේතුවෙන් විෂබීජ ඇතුළු වී තිබෙන බවයි.

සැත්කම සිදුකිරිමෙන් පසු ඇය කරාපිටිය ශික්ෂණ රෝහලේ 06 වාට්ටුවට ඇතුළත් කර තිබිණි. කොරෝනා අවදානම හේතුවෙන් කිසිවෙකුට රෝගියා අසළ සිටීමට අවසර නොලැබුණු බවත් සවස ඇය තමන් සමඟ ඉතා අපහසුවෙන් කතා කළ බවත් ඔහු පවසයි.

ඔහු වැඩිදුරටත් මෙසේ කියා ඇත.

“එයා එදා කතා කළේ ගොඩක් අමාරුවෙන්. ඒත් රෝගීන් බලන වෙලාව අවසන් වී මම ගෙදර යන්න හදනවිට මට කිව්වා පරෙස්සමෙන් ගිහින් එන්න කියලා. පසුවදා උදේ මම රෝහලට ගියාම දැනගත්තා මගේ බිරිඳ මියගිහින් කියලා. වාට්ටුවෙන් කිව්වා උදේ 4.30ට විතර මියගියා කියලා. මේ මරණය ගැන සැකයක් නම් නැහැ. නමුත් මේ මරණය සිදුවුණේ මහමෝදර රෝහලේ දී කරන ලද සැත්කමේ දී සිදුවූ අතපසුවීමක් නිසා බව ඉතාත්ම පැහැදිලියි.”

මෙම මරණය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ නැගණිය වූ කළුගල චන්දි නිමේෂා නිලුක්ෂි ද සිල්වා සාක්ෂි දෙමින් කියා සිටියේ ද ඉතාමත් නිරෝගීව සිටි තම සහෝදරිය ශල්‍ය කර්මයේ දී සිදුවූ අතපසුවීමෙන් මියගියා යැයි විශ්වාස කරන බවයි

හික්කඩුව පොලිසියේ පොලිස් සැරයන් 52035 ගුණරතන් විසින් සාක්ෂි මෙහෙයවන ලදී.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලද්දේ රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා විසිනි. විශේෂඥ වෛද්‍යවරයාගේ නිගමනය වී ඇත්තේ ලැපරොස්කොපික් ශල්‍ය කර්මයක දී ඇති වූ සංකූලතා හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් දක්වා ඇති මරණයට හේතු සහ සාක්ෂි විභාගයේ දී අනාවරණය වූ කරුණු සැළකිල්ලට ගනිමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන නාගරික හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහමෝදර දී සිදුකළ සැත්කම මෙම මරණයට බලපා ඇති බවට නිගමනය කරමින් තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!