ඓතිහාසික දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ අභිනව බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සදහා අද(23) පැවැත්වීමට තිබු නිලවරණය හදිසියේ කල් දමා තිබේ.
මෙම නිලවරණය සෞඛ්‍ය හේතූන් මත යයි පවසා හදිසියේ අවලංගු කිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීවරුන් පිරිසක් සිය අප්‍රසාදය පල කර සිටියහ. අද (23) උදෑසන 9.00 ට මාතර නූපේ සණස ශාලාවේ දී එම නිලවරණය පැවැත්වීම සදහා සියලු කටයුතු සූදානම් කර තිබිණ.
මෙවර එකම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නියෝජිතයින් දෙදෙනෙකු ඇතුළු අපේක්ෂකයින් කිහිප දෙනෙකුම එම නිලවරණයට තරග වැදීමට තීරණය කර තිබු නිසා මුල සිටම දැඩි උණුසුමක් පැවැතියේය.
කෙසේ වෙතත් ඊයේ (22) රාත්‍රී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් රටේ පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ එවැනි නිලවරණයක් පැවැත්වීමට අනුමැතිය ලබා දිය නොහැකි බවට ප්‍රකාශ කිරීම නිසා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා විසින් එම නිලවරණය පැවැත්වීම කල් දැමීමට තීරණය කලේය.
ඒ බව මාතර මහ දිසාපති ප්‍රදීප් රත්නායක මහතා මාර්ගයෙන් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා ග්‍රාම නිලධාරීවරුන්ට දැනුම් දෙන ලෙසද ලිඛිතව දන්වන ලදි.
කෙසේ වෙතත් ග්‍රාම නිලධාරීවරුන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමේ සූදානමින් අදාල ශාලාව ඉදිරිපිටට පැමිණ සිටියද එම රැස්වීම් ශාලාව වසා දමා නිලවරණය කල් දමා ඇති බවට දැන්වීමක් අලවා තිබුණි.
ඔවුන් ප්‍රකාශ කලේ මෙය දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවයි. කෙසේ වෙතත් පැය කිහිපයකට පසු ග්‍රාම නිලධාරීවරුන් එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.