spot_img
spot_imgspot_img

නිරුවතින් දිය නෑ තරුණිය කරාපිටිය රෝහලට

පුවත්

විදෙස්

ජලය පෙණ පිඩු නගමින ගලා බසී. එය මවන්නේ අපූරු සොඳුරු දසුනකි. මදක් ඈතින් පහළට කඩා හැලෙන දිය ඇල්ලේ ශබ්දය දෙසවන් කුල්මත් කරවයි. ඉහළින් ඇත්තේ ජලය පිරී ගිය පිහිනුම් තටාකයක් වැනි වූ සොබා දම් දිනිතියගේ අපූරු නිර්මාණයකි. ඈතින් ඉමක් කොනක් නොපෙනෙන මහා වනාන්තරය පැතිර පවතී.

කුරුල්ලන්ගේ කිචි බිචියත් වඳුරන්ගේ ශබ්දයත් වෙනත් කිසිදු ශබ්දයක් මේ මහා වන පෙතේ ඇසෙන්නේ නැත.

පිහිනුම් තටාකයක් වැනි වූ දිය බේසමේ පිහිනා ගිය දියකිඳුරියක් වැනි යුවතියකි. දිය යටින් පැමිණි ඇය හිස ඔසවා හාත්පස බලන්නීය. තම දිගැති කේශ කලාපය එක් පසෙකට ඔසවා කෙහෙරැළි අතර රැඳි ජලය හාත්පස විසුරුවා හැරියාය. මේ දසුන දුටුවන් නෙත් සිත් පිනවයි.

ඇය පිහිනීම නවතා කෙමෙන් කෙමෙන් ඉදිරියට පැමිණියාය. පුදුමයකි . මේ යුවතිය උඩුකය නිරුවතිනි. නැත ඇය මුළුමනින්ම නග්නව සිටින්නීය. මේ නිරුවත් මානවිකාව මහ වනයට අරක්ගත් දෙවඟනක් බඳුය. එතැන සිටි වඳුරු රැළ වහා පැන ගියහ.

පසෙක ගලක් මත වේලෙන්නට දැමූ ඇඳුමක් අතට ගත් ඇය එය යන්තමින් සිය සිරුරේ දවටා ගත්තාය. ඉන් අනතුරුව පසෙක ගල්තලාවට බරදී හාන්සි වූයේ අව්ව තැපීමේ අරමුණෙන් මෙනි.

මේ කාන්තාව සුරංගනාවියක් බඳු වුව ද එවැන්නියක නොවේ. අඩ නිරුවතින් ස්නානය කරන සුදු ජාතික කාන්තාවක් ද නොවේ. මෙරට ගැමි කාන්තාවකි. එහෙත් ඇය මහ වන මැද ජලස්නානය කරන්නේ නිරුවතිනි.

විනාඩි කිහිපයක් දැඩි අව්වේ වැතිර සිටි ඇය අනතුරුව නැගිට ගස් හෙවනකට වූවාය. ඒ අසළ බිම පේර ගෙඩි කිහිපයක්, බෝවිටියා ගෙඩි රාශියක් තිබේ. ඇය ඒවා කා දමයි. මේ ඇගේ ආහාරයයි. මදක් කැලයේ ඇවිදින්නට යන ඇය යළිත් මේ ඇල්ල අසළටම පැමිණෙන්නීය. ඇය මෙතැනට පැමිණ දැන් සති දෙකක් පමණ ගතවී තිබේ. දැන් උදාවි ඇත්තේ තුන්වැනි සතියයි.

මේ ඇගේ වාසස්ථානයයි. ගල් තලාවේ එක් පසෙක මදක් ඉදිරියට නෙරා ආ ගල් කුලක් යට ඇය වාසය කරන්නේ කිසිවකුගේත් හව් හරණක් නොමැතිවය.

විටෙක ඇය පාලූ දූපතක තනිවූ රොබින්සන් කෲසෝ වැනිය. කිසිසේත්ම සත්‍යයක් විය නොහැකි ප‍්‍රබන්ධ කතාවක් වැනිය. එහෙත් මේ සැබැවින්ම ලාංකික සමාජයේ ජීවත් වන යුවතියකි.

ඇගේ ගම අනුරාධපුරයයි. අනුරාධපුරය නගරය ආසන්නයේ පිහිටි ගමක සිට ඇය හදිසියේම මහනුවර පැමිණියේ කරන්නට වෙනත් කිසිවක් නොවූ නිසාවෙනි. ඇයට අරමුණක් තිබුණේ නැත. තමන් අතේ ඇති මුදල් අවසන්වනතුරුම ඇය බස්වල නැගී තැන තැන ගමන් ගත්තාය. අනතුරුව වනාන්තරයක් දැක එහි ඇතුළුවීමට තීරණය කළ ඇය බසයෙන් බැස එහි ගියාය.

වනාන්තරයේ ඇතුලටම ගමන්ගත් ඇය නතරවූයේ දියඇල්ල අසළ ගල්තලාවේය. හුදකලාවී සිටින ඇයට අපි පද්මා යැයි කියමු. පද්මා කැලයට වැදුනේ අහම්බයෙන් නොවේ.

ඇය කළක් විදේශගතව සිටි  යුවතියකි. කොරියාවේ පුද්ගලික සමාගමක සේවය කරමින් සිටි ඇයට එහිදී සමීප මිතුරකු මුණ ගැසිනි. ඒ පිලිපීන ජාතික තරුණයෙකි. දෙදෙනා රටවල් දෙකක වුව ද ආදරයට එය බාධාවක් වූයේ නැත. වැඩි කල් නොගොස් ප්‍රේමයෙන් ඇළලූණු මේ දෙදෙනා ඒ බව දෙදෙනාගේම නිවෙස් වලට දැන්වූහ.

පද්මා හදිසියේම සිය රට ආවාය. ඒ තනියම නොවේ. ඇගේ පෙම්වතා ද සමගිනි. දෙමාපියන්ට ඔහු හදුන්වාදුන් පද්මා විවාහවීම සඳහා අවසර පැතුවාය. ඒ අවසරය ද ලැබිණි. දෙදෙනාගේ සිහින සැබෑ කරමින් ඔවුහු එක්වූහ.

මාස කිහිපයක් ගතවෙද්දී සැමියා යළිත් පිලිපීනයට ගොස් එතැනින් තමන් සේවය කළ ස්ථානයට ගියේය. ඔහුගේ පොරොන්දුව වූයේ පද්මා හැකි ඉක්මනින් ගෙන්වා ගන්නා බවයි. නමුත් එය දිනෙන් දින ම කල් යන්නට විය. සැමියා පද්මා සමග හැමදාමත් දුරකථනයෙන් කතා කළේය. මේ දෙදෙනාට තිබූ එකම ගැටළුව වූයේ පද්මාට වීසා ප‍්‍රශ්නයක් නිසා යළි යාමට නොහැකි වීමයි.

මාස කිහිපයක් ගතවෙද්දී ගමේ සිටි අය විවිධ කතාන්තර පැතිරවූහ.

‘‘පිලිපීන කාරයෙක්. මේ ගෑනිව රවට්ටලා අන්තිමේදී පැනල ගිහින්. හරියට අපේ රටේ මිනිස්සු නැහැ වගේ කසාද බැද ගත්තේ. ඒ රටේදි නටන්න තියෙන නෙයියාඩගම් ඔක්කොම නටලා දැන් ඒ රටට ගන්නේ නැතිව ඇති. අපරාදේ විහින් අමාරුවේ වැටෙනවා.’’ ගමේ ගොඬේ කවුරුත් පද්මිණී දකින විට එසේ කීහ. මෙවැනි කරුණු සිය ඥාතීන් ද ප‍්‍රශ්න කරන විට ඇයට ඉවසුම් දුන්නේ නැත.

නමුත් ඇගේ ආදරණීය සැමියා ඇයට සිත් වේදනා ගෙන දුන්නේ නැත. ඒ බව දන්නේ පද්මා පමණි. අවසානයේ නිවසේ සිටිය නොහැකි වූ ඇය හැඳිවත පිටින් පාරට බැස්සාය. අතේ ඇති මුදල් අවසන් වනතුරුම බස්රථවල ගමන්ගත් ඇය වන වැදුනාය.

පද්මා නිවසට නොපැමිණෙන විට ඥාති හිතවත්හු ඇය සොය ගියහ. හැකි සෑම අයුරකින්ම සොයා බලද්දී අංජනම්, පේන බැලූහ. සාස්තර ඇසූහ. යකදුරෝ ගෙනන්වා ආරක්ෂාව තර කළහ. මේ කිසිවකින් පද්මා සිටින තැනක් ඔවුන්ට සොයාගත හැකිවූයේ නැත.

පද්මා දිය ඇල්ලට අරක්ගෙන සිටියි. ඇය විටෙක මහත් සතුටිනි. තවත් විටෙක මහත් දුක්ඛ දෝමනස්සයන් මැද කල්පනාකාරීව සිටියි. ඇය මහ වන මැද තනිවී ඇත.

පද්මාගේ දුරකථනය ක්‍රියාවිරහිත වීමත් සමගම ඇගේ සැමියාද මහත් සිත්තැවුලිනි. පද්මාගේ නිවසින් ඔහුට කියන්නේ ඇය ආගිය අතක් නැති බවයි. නමුත් සිය බිරිඳ තමන්ට පිටුනොපාන බව දත් ඔහු පද්මාගේ නිවැසියන් ඇය සඟවාගෙන සිටිතැයි විශ්වාස කළේය. මේ නිසාම ඔහු පද්මාගේ නිවසේ අය සමග දබර කර ගත්තේය.

දිනක් පද්මා දිය ඇල්ල අසළින් ඉවත්ව වනාන්තරයේ ඈතින් ඈතට ඇවිද ගියාය. වන ගතවූ දිනවල දී සෑම දිනකම ස්නානය කළ පද්මා දැන් නාන්නේ දින දෙකක් පමණ ගතවූවාට පසුවය. නමුත් දින ගණනකින් ඇය දැන් වතුර අල්ලා නැත. මේ වනවිට ඇය කුණු දූවිලි සහ වන රොඩු ඇඟ දැවටුණු අප්‍රසන්න කාන්තාවක් මෙනි. ඇඳුම් වැරහැළි බවට පත්වෙමින් තිබේ. දත් කහ පැහැති වී ඇත. කොණ්ඩය කුනු දුහුවිලි නිසාම රැලි වැටී තිබේ. සිරුරේ තැන තැන තුවාල වී ඇත. මැසි මදුරුවෝ ඇය වටකරගෙන සිටියි. මැක්කන්, කුහුඹුවන් ඇගේ සිරුර මත ඔබ මොබ යයි.

වනාන්තරයේ ඇවිද ගිය ඇය අවසානයේ හමුදා බංකරයක් අසළට පැමිණියාය. හදිසියේම කැලයෙන් මතුවූ මේ මිනිස් දුවණිය දුටු හමුදා සබෙළු මොහොතක් විශ්මිතව බලා සිටියහ. සැබැවින්ම මේ ගැහැණියක  බව දැනගත් ඔවුහු ඇය කඳවුරට ගෙනගොස් බාර දුන්හ. ඇය තම විස්තර හෙළි කිරීම නිසා හමුදා නිලධාරීහු ඇය ඥාතීන්ට බාර දීමට කටයුතු කළහ.

මාසයක කාලයක් මහ වනයක් මැද තනිපංගලමේ සිටි ඇය ගෙඩි සහ කොළ වර්ග ආහාරයට ගනිමින් ජීවත්වූ නිසා බෙහෙවින් දුර්වලව සිටියාය. ඒ නිසාම අය වහාම රෝහල්ගත කැරුණි. අනතුරුව පද්මා විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතාට යොමුකැරුණි. වෛද්‍යවරයා ඇයට නිසි ප‍්‍රතිකාර ලබාදුන්නෙන් ඇය දැන් සුවවි සිටින්නීය.

‘‘මට මහත්තයා එක්ක යන්න බැරිවුනා. ඒ නිසා මට හැමදේම එපා වුනා. හැමෝම හැම තිස්සේම මම එයත් එක්ක රට නොගිය එක ගැන අහනවා. මම ඒ නිසා ඔළුව හැරුණු අතේ ගියා. අතේ තිබුණු සල්ලි ඉවර වුනාම මට හිතුනා කැලේට යනවා කියලා. කැලේ සත්තුන්ට ගොදුරක් වෙලා මැරෙනවා කියල. ඒත් කිසිම සතෙක් ආවෙ නැහැ. කුරුල්ලොයි වඳුරොයි විතරයි හිටියේ. පස්සේ මම එතන තිබුණු අඩි විස්සක් විතර උස දිය ඇල්ලෙන් දෙතුන් වතාවක්ම පැන්නා. ඒත් මට පිහිනන්න පුළුවන් නිසා මැරුණේ නැහැ. ’’

ඇය වනගත වූ දිනයේ සිට දින කිහිපයක් හිරු උදාවී බැස යන විට දින ගණන ගසක කොටා තිබේ. එහෙත් පසුව ඇය එය ද අතහැරියාය. පේර, බෝවිටියා වැනි දේ කමින් දිවිගෙවාගත් ඇය පවසන්නේ වනයට ගිය මුල්දින කිහිපයේ දවස ගතකර ගැනීම මහත් අසීරු කාර්යයක් වූ බවයි. නමුත් පසුව දවස උදාවී ගෙවී යනු නොදැණුනු බව ද ඇය කීවාය.

මුලදී නා පිරිසිදු වී සිටි ඇය පසුව නෑම සම්පූර්ණයෙන්ම අතහැර දැමුවාය. පසුව කුහුඹුවන් මැක්කන් වැනි සතුන් ඇගේ සිරුර ආක‍්‍රමණය කර තිබිණි. වෛද්‍ය රූමි වෙත ඇය කඳවාගෙන එන විටත් ඇය බොහෙවින් බියට පත්වූ ස්වරූපයක් පෙන්වූවාය.

‘‘ මනෝ විද්‍යා ඒකකයට ඇය රැගෙන එන විට ඉතාමත්ම දුර්වල මට්ටමක හිටියේ. බලාගත්තු අතේ බියපත්ව බලා සිටිනවා. මෙය විශාදය කියන රෝග තත්ත්වය. මෙහිදී සිදුවන්නේ රෝගයට ගොදුරුවූ ඇතැම් අය පලා යාමයි. මේ කාන්තාවත් ඒ තත්ත්වයට ගොදුරුවෙලා. සිය සැමියා සමග විදේශගතවීමට නොලැබීමත් ඉන් පසුව තමන්ගේ ඥාති හිතමිත‍්‍රාදීන් එය ගැටළුවක් ලෙස සළකමින් ඇයට පීඩනයක් එල්ල කිරීමත් නිසා ඇය විශාදයට ගොදුරු වුනා. ඒ නිසා ඇය සිය නිවසින් පලා ගියා. පසුව ඇය කවුරුවත් නැති වනාන්තරයක හුදකලාවුනේ මේ විශාදය නිසා. ’’

වෛද්‍යවරයා පවසන්නේ විශාදය සාමාන්‍ය ඖෂධ ප‍්‍රතිකාර ලබාදීමෙන් සුවපත් කළ හැකි වුවත් ඇය වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමුවන විට ඉතාමත්ම දරුණු ලෙස විශාදයට ගොදුරු වී සිටි බැවින්  විද්‍යුත් කම්පන ප‍්‍රතිකාර ලබාදීමට සිදුවූ බවයි.

පසුව විද්‍යුත් කම්පන ප‍්‍රතිකාර නවතා විශාදයට අවශ්‍ය ඖෂධ ලබාදීමෙන් පසු ඇය දැන් පූර්ණ සුවය ලබා සිටින්නීය. මේ කතාන්තරය දැනගත් ඇගේ සැමියා ද කොරියාවේ රැකියාව අතහැර දමා ඇය වෙනුවෙන් ම ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.

විශේෂ මනෝ වෛද්‍ය රූමි රූබන් සමඟ කරන ලද සාකච්ඡාවකින් පසු සකස් කරන ලද ලිපියකි.

(සජීව විජේවීර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!