කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් මියගිය ගාල්ල දෙද්දුගොඩ පිදිංචි මුස්ලිම් ජාතිකයකුගේ අවසන් කටයුතු මෘත දේහ සම්බන්ධයෙන් මින් ඉහත නිකුත් කර ඇති චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කරන ලෙසත්, එම උපදෙස් පිළිබඳව ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය දැනුම්වත් කරන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න විසින් ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට අද (23) ලිඛිතව දැනුම් දී තිබේ.
කොරෝනා ආසාදිත මළ සිරුරු සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන චක්‍රලේඛයක් හා 2020 අප්‍රේල් 11 වැනි දින අංක 2170/4 දරණ ගැසට් පත්‍රයක් ද ඇත. ඒවායේ දැක්වෙන්නේ කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් මියගොස් පැය 24ක් ඇතුළත ආදාහනය කළ යුතු බවයි. එම උපදෙස් අනුව මෙම මළසිරුර ආදාහනය කිරීමට බාධාවක් නැත.
ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගාල්ල මූලස්ථාන පොලිසිය වෙත ලැබුණු නියෝගයෙන් දන්වා තිබුණේ මේ මළ සිරුර සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් උපදෙස් ලබාගෙන අවශ්‍ය පරිදි කටයුතු කරන ලෙසයි. ඒ අනුව පොලිසිය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් උපදෙස් ඉල්ලා සිටීම හේතුවෙන් එයට පිළිතුරු වශයෙන් ඉහත ලිපිය යොමුකර තිබිණි.
ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට මෙම මරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීමේ දී මියගිය තැනැත්තාගේ ඥාතීන් විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා අධිකරණ අමාත්‍ය අලි සබ්රි වෙත නිකුත් කළ ලිපියක් ද ඉදිරිපත් කර තිබිණි. එම ලිපියේ දක්වා තිබුණෙ අලි සබ්රි අමාත්‍යවරයා යෝජනා කළ පරිදි මළ සිරුරු බහාලීම සඳහා ශීතාගාර කන්ටේනර ලබාදීම සිදුකරන ලෙසයි.
මේ පිළිබඳ 2020 දෙසැම්බර් 22 වැනි දින ජාතික රෝහල් නියෝජ්‍ය අධයක්ෂවරුන්ට, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට, දිස්ත්‍රික් සෞඛය සේවා අධ්‍යක්ෂවරුන්ට සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට, රෝහල් අධිකාරීවරුන්ට හා සියළුම අධිකරණ වෛද්‍යවරුන්ට සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පැහැදිලි කිරීමක් ද යවා ඇත. එහි දක්වා ඇත්තේ එම ලිපිය රජයේ අමාත්‍යවරයකු වූ අධිකරණ අමාත්‍ය අලි සබ්රි සමඟ කරන ලද වෙනත් සාකච්ඡාවක දී පැන නගින ලද කරුණු සම්බන්ධයෙන් යවන ලද්දක් බවයි. එම ලිපිය චක්‍රලේඛයක් නොවන බව ද ඉන් කිසිසේත්ම මීට පෙර නිකුත් කරන ලද මළ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳ චක්‍රලේඛ හා 2020 අප්‍රේල් 11 වැනි දින නිකුත් කරන ලද අංක 2170/8 දරණ ගැසට් පත්‍රයේ උපදෙස්වලට අමතරව නිකුත් කරන උපදෙස් සහිත ලිපියක් ලෙස නොසැකිය යුතු බවත් දන්වා ඇත. ඒ අනුව වලංගු වන්නේ මීට පෙර නිකුත් කර ඇති චක්‍රලේඛ හා ගැසට් නිවේදන බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැනුම් දී තිබේ.


