spot_img
spot_imgspot_img

කරාපිටියේ සිරුර ආදාහන නොකිරීමෙන් බරපතල ගැටලු රැසක් මතුවෙයි

පුවත්

විදෙස්

කොරෝනා ආසාදනය වී මියගිය දෙද්දුගොඩ තිදරු පියාගේ මළ සිරුර සම්බන්ධනේ ලබාදුන් නියෝග ක්‍රියාත්මක නොකර පොලිසිය ඥාතීන් සමග අධිකරණයට යාමෙන් රෝහලත් අධිකරණ වෛද්‍ය අංශයත් සම්පූර්ණයෙන් ම ගැටලුකාරී තත්ත්වයකට පවත්ව ඇතැයි අධිකරණ වෛද්‍යවරු චෝදනා කරති.

මෙම පුද්ගලයාගේ දේහයෙන් මියගොස් පැය 48ක් පමණ කාලයක් ගතවූ විට ලබාගත් ජෛව සාම්පල යොදා කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබිණි. මරණයට හේතුව සොයා ගැනීම සඳහා අධිකරණ වෛද්‍යවරු සිරුර විච්ඡේදනය කළ අතර ඔවුන්ගේ නිගමනය වී තිබුණේ කොරෝනා ආසාදනය සමඟ ඇතිවූ හෘදයේ සංකූලතා හේතුවෙන් මරණය සිදුවූ බවයි.

මෙම මරණය කොරෝනා ආසාදිත මරණයක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය සැළකිල්ලට ගත් කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩ බලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ එම සිරුර ආදාහනය කිරීමට නියෝග කළේය. මේ අවස්ථාවේ දී මියගිය තැනැත්තාගේ පුතකු දේහය භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් ආදාහනය කිරීමට විරෝධය දක්වා භූමදාන කරන්නේනම් පමණක් දේහය භාරගැනීමට කටයුතු කරන බව දන්වා තිබිණි.

කොරෝනා මරණ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් අංක DGHS/COVID-19/347/2020 අංකයෙන් 2020-12-10 දිනැති ලිපියකින් නිකුත්කර ඇති උපදෙස් සැළකිල්ලට ගත් මරණ පරීක්ෂක වරයා එම සිරුර රජයේ වියදමින් ආදායනය කරන ලෙස නියෝග කර තිබිණි. ඒ පසුගිය ඉරිදා (20) සවස් කාලයේ දී ය.

නමුත් එම නියෝගය ක්‍රියාත්මක නොකළ පොලිසිය පසු දා මියගිය පුද්ගලයාගේ ඥාතීන් සමඟ ගොස් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. ගාල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය මෙම පැමිණිල්ල මෙහෙයවා තිබේ.

අධිකරණයට කරුණු කීම සඳහා කොළඹ සිට ජ්‍යේෂ්ඨ නීතිඥ ගසාලි හුසේන් ඇතුළු නීතිඥයන් පිරිසක් පැමිණ සිටියහ. පොලිසිය ඥාතීන් සමඟ අධිකරණයට කරුණු වාර්තා කළ ද මෙම දේහය ආදාහනය කිරීමේ නියෝගය නිකුත් කළ තමන් හෝ දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර හෝ උසාවියට කැඳවීමට කටයුතු කර නැතැයි වැඩබලන හදිසි මරණ පරීක්ෂක ලොකුගේ පවසයි.

පොලිසිය හා ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මේ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට කරුණු දක්වා උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස පොලිසියට නියෝග කර තිබිණි.

නමුත් මෙවැනි නියෝගයක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට, රෝහල් අධ්‍යක්ෂවරයාට හෝ හදිසි මරණ පරීක්ෂකවරයාට අද (22) සවස්වන තුරුම නිල වශයෙන් ලැබී තිබුණේ නැත.

ඊයේ (21) රාත්‍රී හදිසි මරණ පරීක්ෂකවරයා විසින් ලබාදුන් නියෝගය හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ දක්වාම අධිකරණ වෛද්‍යවරුන්ට රෝහල්වෙත ලබා දී ඇති උපදෙස් අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගයේ නිලධාරීන් විසින් මෙම දේහය ආදාහනය කිරීමට සූදානම් කෙරිණි.

ඒ සඳහා ගාල්ල දඩල්ල ආදාහනාගාරය ලබාගැනීම සඳහා අධිකරණ වෛද්‍ය ඒකකය විසින් ගාල්ල මහ නගරාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ දී ප්‍රියන්ත සහබන්දු නගරාධිපතිවරයා එම දේහය ආදාහනය කිරීම ප්‍රතික්ෂේප කළ බව අධිකරණ වෛද්‍යවරු පවසයි. ඉන් පසු බද්දේගම ආදාහනාගරය ලබාගැනීමට එම ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර නාරංගොඩට කතා කළ විට ඔහු ද තමන් රැස්වීමක සිටින බව පවසමින් දුරකථනය විසන්ධි ක තිබිණි. ඉන් පසු සිදුවූයේ මියගිය පුද්ගලයාගේ ඥාතීන් ඇතුළු අති විශාල පිරිසක් මෘත ශරීරාගාරය ඉදිරිපිටට හා රෝහල ඉදිරිපිටට රැස්ව සිටීමයි. මුස්ලිම් ජනතා නියෝජිතයන් කිහිප දෙනකු ද රාත්‍රියේම රෝහලට පැමිණ සිටියහ.

කෙසේ වෙතත් මෘත දේහය ආදාහනය කිරීම සඳහා ආදාහනාගාරයක් වෙන්කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් මළ සිරුර ආදාහනය කිරීම කල් තැබිණි.

කොරෝනා හේතුවෙන් මියගිය මෙම මරණය සම්බන්ධයෙන් රජයේ නියෝග අනුව ආදාහනය කළ යුතු බව අධිකරණ වෛද්‍යවරුන්ගේ අදහසයි.

“අපි මේ ගැන පොලිසිය සමඟ සාකච්ඡා කළා. ඔවුන් පවසනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරාය විසින් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි වෙත යැවූ ලිපියක දැක්වෙනවා කියා මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලැබෙන තුරු ඒවා ගබඩා කර තැබීමට අධි ශීතකරණ කන්ටේනර් ලබා දෙන්න කියා. එයින් සෞඛ්‍ය අධයක්ෂ ජනරාල්වරයා වක්‍රාකාරයෙන් පිළිගන්නවාලු මේ මළ සිරුරු ශිතාගාරයක තැබිය යුතු බව. මේ ලිපිය පවුලේ ඥාතීන්ගේ නීතිඥයන් උසාවියටත් ඉදිරිපත් කළාලු. අපිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අමාත්‍යවරයකුට යැවූ වෙනත් කරුණු සම්බන්ධ ලිපි අදාල නැහැ. අපිට අදාල වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කළ උපදෙස් පමණයි. අපිට මළ සිරුරු ශීතාගාරවල තැබීමට උපදෙස් ලැබී නැහැ. දෙසැම්බර් 03 වැනිදා නිකුත් කළ සංශෝධිත චක්‍රලේඛය අනුවත් මළ සිරුරු අනිවාර්යයෙන් ම ආදාහනය කරන්න කියා ලිඛිත උපදෙස් තිබෙනවා. මේ උපදෙස් ගැන වරින් වර මළ සිරුරෙන් සිරුරට නැවත නැවතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් උපදෙස් ගත යුතු නැහැ. ඒ නිසා අධිකරණයෙනුත් කියා ඇතැයි පවසන ආකාරයට අපි මේ දේහය ආදාහනය කරනවා.” අධිකරණ වෛද්‍ය විශේෂඥයකු එසේ කීවේය.

කෙසේ වෙතත් අද (22) සවස 4.00 වනතුරුම දේහය කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබිණි.

වෛද්‍යවරු පවසන්නේ මේ සිරුරේ පීසීආර් සිදුකළ කාලය සැළකිල්ලට ගැනීමේ දී එහි කොරෝනා වයිරස සාන්ද්‍රණය ඉතා අධික අගයක් ගන්නා බවයි. දේහය ද විච්ඡේදනය කර ඇති බැවින් මෘත ශරීරාගාරය පුරාම මේ දේහයෙන් වයිරසය පැතිරීයාමේ අවදානමක් ඇති බැවින් අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් හා සේවකයන් ද දැඩි අවදානමකට ලක්ව සිටින බව අධිකරණ වෛද්‍යවරුම කියති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශේෂඥ අධිකරණ වෛද්‍යවරයකු මෙසේ කීවේය.

“ කරාපිටිය මෘත ශරීරාගාරයේ දිනකට මළ සිරුරු 10-20ක් අතර ප්‍රමාණක් ලැබෙනවා. මේ සඳහා තිබෙන ශීතාගාර පහසුකම් කොරෝනා වැනි වසංගතයක් සහිත සිරුරු තැන්පත්කිරීටම සුදුසු ඒවා නොවෙයි. ඒ නිසා මේ වනවිට උසාවියෙන් උපදෙස් ලබාගන්න යැයි කියුවායැයි කියමින් ලැබී තිබෙන නිරෝධායන නීති අමු අමුවේ උල්ලංඝනය කරන බවක් පෙනෙනවා. මෙය සම්පූර්ණ අධිකරණ අංශයම අපහසුවට පත්කිරීමක්”

වෛද්‍යවරයා පවසන්නේ අද දහවල් උසස් පොලිස් නිලධාරියකු කතා කර අමාත්‍යවරයකු විසින් කරාපිටිය ශික්ෂණ රෝහලටත් මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු තැන්පත් කිරීම සඳහා ශීතාගාර කන්ටේනරයක් ලබාදිය හැකි බවට පවසා ඇති බවයි. ඒ බව පොලිසියෙන් අධිකරණ අංශයට දැනුම්දුන් අවස්ථාවේ දී වෛද්‍යවරු ඊට දැඩි විරෝධයක් පළකර තිබේ.

“ අපි දැනටත් වැඩ කරගෙන යන්නේ ඉතාමත් පුංචි ඉඩක. මේ මෘත ශරීරාගාරයේ හෝ ඒ අසළ හෝ ශීතාගාර කන්ටේනර් ගෙනැල්ලා තියන්න ඉඩක් නෑ. ඒ නිසා අපි ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළා. මේ මළ සිරුරු ආදාහනය කරන්න බැරිනම් අද මේ සිරුරු මෙතැනින් ඉවත් කරලා වහාම සුදුසු ස්ථානයකට ගෙනියන්න කියා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයටත්, පොලිසියටත් දැනුම් දුන්නා. විච්ඡේදනය කරලා තියෙන මේ සිරුරු දැන් කරාපිටිය මෘත ශරීරාගාරයේ තියාගන්න බැහැ.”

කරාපිටිය අධිකරණ වෛද්‍ය අංශයේ සේවකයන් පවසන්නේ මෙම සිරුර මෘත ශරීරාගාරයෙන් ඉවත් නොකළහොත් තමන් රාකාරී කටයුතුවලින් ඉවත්වන බවයි. මේ හේතුවෙන් දෙද්දුගොඩ පදිංචි මියගිය තිදරු පියාගේ මරණය කරාපිටිය ශික්ෂණ රෝහලේ බරපතල ගැටලුකාරී තත්ත්වකට මුල පුරා ඇත.

මේ පිටුපස අන්තවාදී කණ්ඩායම්වල දේශපාලනයක් ක්‍රියාත්මක වන බව ද කරාපිටිය ශික්ෂණ රෝහල් සේවකයෝ චෝදනා කරති. ඔවුන් පවසන්නේ මේ සම්න්ධව මැදිහත් වූ සියලු දෙනාගේ ක්‍රියාකලාපවලින් ඒ බව ප්‍රත්‍යක්ෂ වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!