spot_img
spot_imgspot_img

බැද්දේගම සිළිඳුලා සොයා ගිය ගමන – 3 ලෙනාඩ් වුල්ෆ් මිනීමැරුම වෙනස් කරලා

පුවත්

විදෙස්

ඉඩම් නඩුවක් වෙනුවෙන් පරපුරේ විස්තර සොයාගෙන ඇති ගම්බාර මහතා සිළිදු හෙවත් රත්නායක දොන් ජුවන්ගේ හා ආරච්චිගේ පරපුරෙහි දෙදෙනකු සිටින ඉසව්ව අපට කීවේය. අපි ඔවුන් සොයා ගියෙමු. ගම්බාර කී පරිදි රත්නායක ආරියදාස නම් මහත්මයකුගේ නිවස සොයාගත හැකිවිය. අපගේ ඇමතුම අනුව අඩි හයක් පමණ උසැති අහිංසක ගැමියකු නිවසනි් එළියට පැමිණුනි. අපි ආ කාරණය ඔහු සමග කීවෙමු.

” මහත්තයෝ මමනම් වැඩි විස්තරයක් දන්නේ නැහැ. උඩහ ගම්බාර තමයි විස්තර දන්නේ එයා හමුවුනානම් හරි”

අපි ඔහු හමුවූ බවත් අමතර විස්තර සෙවීමට පැමිණි බවත් කීවෙමු.

”බැද්දේගම කතාවේ සිළිදු කියන්නේ ද්විත්තව මිනීමැරුමක් කරපු කෙනෙක්. ඒ කතාවට පසුබිම් වෙලා තියෙන්නේ මගේ සීයා කරපු මිනී මැරීමක් බවයි හැමෝම කියන්නේ. එහෙම නම් සිළිදු කියලා වුල්ෆ් මහත්යා ලියලා තියෙන්නේ මගේ සීයා ගැන ” යනුවෙන් ආරියදාස මහතා කීවේය.

සිළිදු කියන රත්නායක දොන් ජුවන්ට පුත්තු තුන්දෙනෙකුත් ගැහැණු ළමයින් එක්කෙනෙකුත් හිටියා. මගේ තාත්තා ඉන් එක්කෙනෙක්. යනුවෙන් ආරියදාස මහතා කීවේය.

” මගේ තාත්තා රත්නායක දොන් අන්ද්‍රිස් අප්පුහාමි. අම්මා වීරසිංහ පතිරණගේ සුදන්තා හාමි. අපේ පවුලේ පිරිමි දෙදෙනෙකුත් ගැහැණු පස්දෙනෙකුත් හිටියා. ලෙනාඩ් වුල්ෆ්ගේ කතාවේ කියන්නේ සිළිදුගේ බිරිද ගැහැණු ළමයින් දෙදෙනා ලැබුණු අළුතම මියගිය බවක්. ඒත් අපේ ආත්තම්මා සීයා හිරේට ගියාට පස්සේ අපේ තාත්තලාව හදාවඩාගෙන මේ ගමේම ජීවත්වෙලා මියගිහින් තියෙන්නේ.” ඔහු කියයි.

ලෙනාඩ් වුල්ෆ් මහතා රත්නායක දොන් ජුවන් කරනු ලැබූ මිනී මැරුම පසුබිම් කරගෙන ලියන ලද කතාවේදී ජුවන් වෙනුවෙන් ප්‍රබන්ද කරන ලද සිළිදු නම් චරිතයෙහි පවුලේ විස්තර වෙනස් කැර ඇති බව ජුවන්ගේ මුණුපුරා පවසන තොරතුරු අනුව පැහැදිලිවෙයි.

ලෙනාඩ් වුල්ෆ්ගේ කතාවේ ඇත්තේ ඉතාමත්ම දුප්පත් ජීවිතයක් ගතකරන සිළිදුගේ දියණිය වූ පුංචි මැණිකාගේ ස්වාමියා වන බබුන් සිරගත කිරීමට බබේ ආරච්චි බොරු නඩුවක් පැටලවූ බවයි. ගමට පැමිණ සිටි ප්‍රනාන්දු නම් මුදලාලි පුංචිමැණිකා ලබාගැනීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ආරච්චි මෙය සිදුකර ඇත. පුංචි මැණිකාගේ ස්වාමියා වූයේ ද බබේ ආරච්චිගේ බිරිදගේ සොහොයුරෙකි. එනම් ආරච්චිගේ මස්සිනා කෙනෙකි. බබුන් නොකළ වරදකට සිරගතවූ පසු සිළිදු විසින් ආරච්චි හා ප්‍රනාන්දු මුදලාලි මරාදමන ලද බව බැද්දේගම කතාවේ විස්තර කැරේ.

එහෙත් සිළිදුගේ හෙවත් රත්නායක දොන් ජුවන්ගේ මුණුපුරා රත්නායක ආරියදාස මහතා පවසන්නේ වෙනත් කතාවකි.

” බැද්දේගම කතාවේ සිළිදු කියන අපේ සීයා මහා කැම්මැලියෙක් විදියට හදුන්වාදී තිබෙනවා. ඒත් එයා බො‍හොම උස මහත ඉතාමත් හොදින් හන්සි වී වැඩ කළ කෙනෙක්. මගේ තාත්තත් මහන්සිවී වගා කළා. අපේ ආත්තම්මගේ සහෝදරයෙක් මේ ගමේ ඉදලා තියෙනවා. එයා තමයි සීයව ඔය මිනීමැරුමට පොළඹවා තිබෙන්නේ. මැරැණු ආරච්චි සීයගේ මාමා කෙනෙක්. අපේ ආත්තම්මගේ සහෝදරයා. ඒ කියන්නේ සීයගේ මස්සිනා ආරච්චිත් එක්ක තිබුණු කෝන්තරයකට සීයව මේ මිනීමැරුමට යොමු කරපු බව අපේ තාත්තා ඒ දවස්වල කියනවා. “

ගම්බාරේ සහ රත්නායක ආරියදාස මහතා පවසන පරිදි සිළිදු අතින් මැරැම්කෑ අරච්චි සිළිදුගේ මාමා බව අපට දැනගන්නට ලැබිණි.

මහත්තයෝ ඔය නවකතාවේ විදියට නෙවෙයි මිනීමැරුම වෙලා තියෙන්නේ. අපේ තාත්තා කියපු විදියට ඇත්ත සිද්ධියත් මිනී මැරුම සිදුවුණු ආකාරයත් අතර ටිකක් වෙනස්කම් තියෙනවා. ආරියදාස මහතා එසේ කීවේය.

ඔහු කියන ආකාරයට රත්නායක දොන් ජුවන් හෙවත් සිළිදු සිය මස්සිනාගේ ඉගැන්නුම් අනුව මරාදමා ඇත්තේ මේ ආකාරයටයි.

කොහේදෝ සිට පැමිණි ජුවන් ආරච්චිගේ නිවසට ගොඩවැදී හරකුන් රංචුවක් තම හේනට වැදී වගාවිනාශ කළ බවත් ඔවුන් අල්ලා ගැටගැසූ බවත් එය සොයා බලා රාජකාරී කර හරක් හිමිකරුවානේ වන්දි ලබාදෙන ලෙසත් පවසා තිබේ.

මේ අවස්ථාවේදී ආරච්චි පවසා ඇත්තේ ජුවන් අපි ඔක්කොම ගමේ මිනිස්සු බැවින් හිමිකරුවා සමග කතා කොට සුදුසු බේරුමක් කරගන්නා ලෙසයි.

එහෙත් ජුවන් මෙයට කැමතිවී නැත. ජුවන්ගේ බලවත් පෙරැත්තය නිසා ඔහුගේ හේනට යාමට ආරච්චි එකගවී තිබේ. ඒ අනුව දෙදෙනා සමග හේනට ගොස් ඇති අතර ඒ අවස්ථාවේදී ජුවන් අත තුවක්කුවක් ද තිබී නැත.

ගම්මානය පසුකොට සිය හේනට ආරච්චි සමග යන ජුවන් එක් ස්ථානයක නැවතී තමන්ට දොට්ට පිළට යාමේ දැඩි අවශ්‍යතාවක් ඇති බැවින් ආරච්චිට ඉස්සර වෙන ලෙස පවසා ඇතැයි ද මුත්‍රා කිරීමට බව හගවමින් වනයට වැදුණු ජුවන් තමන් විසින් කලින් සගවා තබන ලද බෙහෙත් කොටා සූදානම් කළ තුවක්කුව රැගෙන ඉදිරියෙන් යන ආරච්චිට වෙඩි තබා ඇතැයි ද මේ මුණුපුරෝ කියති.

ආරච්චිට වෙඩි තැබූ ජුවන් කෙලින්ම ගොස් ඇත්තේ ආරච්චිගේ නිවස වෙතය. ඔහු එහි යනවිට ආරච්චිගේ පුතා නිවසේ සිට ඇත. දුවගෙන ආ ජුවන්

” මම ගෝනෙකුට වෙඩි තිව්වා. ඌ මැරුණේ නැහැ. ආරච්චි මහත්තයා එතන ඉන්නවා. මට කිව්වා උණ්ඩයක් අරගෙන එන්න කියලා‍. ” යනුවෙන් පවසා තිබේ.

නිවසට ඇතුළු වූ ආරච්චිගේ පුතා උණ්ඩයක් ජුවන් අතට දී තිබේ. ඔහු දුන් උණ්ඩය තුවක්කුවට දමාගත් ජුවන් මද දුරක් ගමන් කර නැවත හැරී ආරච්චි පුතාට ද වෙඩි තබා ඇත.

මියගොස් ඇත්තේ ආරච්චි මහතා සහ ඔහුගේ පුතා බව ජුවන් හෙවත් සිළිදුගේ මුණුපුරා කියයි.

මිනීමැරුම සිදුකළ ජුවන් සිය මස්සිනාගේ ඉගැන්නුම අනුව කෙළින්ම හම්බන්තොට දිසාපති කාර්යාලයට ගොස් තමා මිනිසුන් දෙදෙනකු මරාදමා පැමිණි බව පවසා ඇත. එකළ හම්බන්තොට ආණ්ඩුවේ ඒජන්තවරයා වූ ලෙනාඩ් වුල්ෆ් මහතා ජුවන් සහ පොලිස් නිලධාරීන් ද සමග මල් අස්නි ගල්වැව ගමට පැමිණ අදාල මිනීමැරුම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා තිබේ.

මිනීමැරුමෙන් පසු තම සීයාට වූ දෙය රත්නායක ආරියදාස මහතා මෙසේ කීවේය.

මගේ සීයා මිනීමරණ ජාතියේ කෙනෙක් නොවෙයි. හැමෝටම උදව්කරගෙන ජීවත්වුණු කෙනෙක් කියලයි ගමේ හැමෝම කියා තියෙන්නේ. ඒත් ආත්තම්මගේ අයියා කියූ නිසා මේ මිනීමැරුම කරල තියෙන්නේ. එයා කොහොමත් හොද දඩයක්කාරයෙක්. ගමේ සියඹලා ගහක් යට නඩුවේ සාක්ෂි සටහන් කරගෙන පසුව උසාවියේදී නඩුව අහලා සීයට මරණීය දණ්ඩනය නියම වෙලා තියෙනවා. ඒත් මොකක්දෝ හේතුවක් නිසා එයාගේ දඩුවම ලිහිල් කරලා වසර 18 ක සිරදඩුවමක් පිරිනමලා. කොහොමහරි සීයා හිරෙන් නිදහස් වෙන්න කිට්ටුව හිරේ ඉදලා ගෙදරට ලිපියක් එවලා තියෙනවලු. තව ටික දිනකින් නිදහස් වෙනබව කියලා. සීය අහල එවලා එයාගේ ළමයි සහ බිරිදගේ සැප දුකත් ගමේ තත්ත්වයත්

මේ ලිපිය ලැබිල තියෙන්නේ සීයව මේ මිනීමැරුමට පොළඹවපු මස්සිනා අතටමයි. එයා ලිපිය ගැන කාටවත් නොකියා හිර ගෙදරට ලිපියක් යවල තියෙනවා බිරිදත් ළමයිනුත් ගමේ නැතැයි කියලා. ඒ වගේම ගම සම්පූර්ණයෙන්ම විනාශවෙලා බවත් නැවත පැමිණීමෙන් පලක් නොවන බවත් කියා යවලා.

හිරෙන් නිදහස් වුණු සීයා නැවත ගමට ඇවිත් නැහැ. එයා කොහේ ගියාද කියලා හොයන්නවත් කවුරුවත් දන්නේ නැහැ. පස්සේ අපේ තාත්තලා හොල තියෙනවා. ඒත් කිසිම ආරංචියක් ලැබිල නැහැ. සීයා ගමට ආවොත් තමන්ට නපුරක් කරාවියැයි සිතා සීයාගේ මස්සිනාම සීයා ගමට එන එක වළක්වන්න ඇති කියා අපේ තාත්තා ඉස්සර කියනවා. ආරියදාස කියයි.

සිය පියාත්, මවත්, වැඩිමහලු සොහොයුරාත් සිටින ඡායාරෑපයක් පෙන්වන ආරියදාස මහතා තම සීයාත් පියාගේ මුහුණුවරම දැරූ බව ගම් වැසියන් කියා ඇතැයි අප සමග කීවේය.

මා සතු තවත් එක් කාර්යභාරයක් තිබේ. ඒ ආරච්චිගෙන් පැවත එන්නෙකු සොයා යාමයි. ඒ සදහාද ගම්බාර මහතා මා හට පිහිට විය.

ගුණපාල සිරිවර්ධන කියන්නේ ආරච්චිගේ නෑයෙක්. එයාව හමුවුණොත් තව විස්තර ගන්න පුළුවන් යැයි ගම්බාර මහතා කී අයුරු අප මතකයේ ඇත. අපි ඔහු සොයා ගියෙමු.

අතරමගදී හමුවූ ගම්වැසියකු ලබාදුන් තොරතුරු අනුව ගුණපාල සිරිවර්ධන මහතාගේ නිවස සොයාගැනීම එතරම් අපහසු වූයේ නැත. අව්‍යාජ සිනහවකින් මුව සරසාගත් ගැමියකු අප ඉදිරියේ විය. මහත්තයෝ මගේ අම්මා තවතමත් ජීවතුන් අතර ඉන්නවා. මීගහජදුරේ නංගිලාගේ ගෙදර එහේ ගියොත් හොද විස්තරයක් ගන්න පුළුවන් වේවි. ඔහු කීවේය.

වයස්ගතව සිටින එහෙත් ඉතා නිරෝගී කාන්තාවක් අප සමග කතාවට එක්වූවාය. අනූහත්වැනි වියෙහි පසුවන ඇය පී.කේ.නෝනහාමිය.

බැද්දේගම නවකථාවේ සිළිදු කියල කියන්නේ රත්නායක දොන් ජුවන් කියල කෙනෙක්. එයාගේ අතින් මැරුම් කෑවේ මගේ මහත්තයාගේ ලොකු අප්පච්චි. ඒ කියන්නේ මගේ මාමණ්ඩිගේ අයියා. ඒ ආරච්චිට කියන්නේ බබේහාමි හෙවත් දොන් පේද්‍රිස් සිරිවර්ධන කියලා. දොන් ජුවන් කියනකෙනා ආරච්චිත් මරලා එයාගේ පුතාවත් මරලා. ඒ පුතා පොලිස් ඔපිසර කෙනෙක්. ඒ අයියාගේ නම කුසුමන් සිරිවර්ධන. තාත්තා ආරච්චි, පුතා පොලිස් ඔපිසර මේ පුතාට ගල්වැවේ පොලිස් රාළහාමි කියලත් කියා තිබෙනවා. මේ පොලිස් ඔපිසර මරා දැම්මට පස්සේ මගේ මහත්යගෙ තාත්තට පොලිස් ඔපිසර කම ලැබිල තියෙනවා. එයත් කුසුමන් සිරිවර්ධන. මගේ මහත්යාගේ නම දොන් ලුවිස් සිරිවර්ධන

මගේ මාමණ්ඩි ඉස්සර මේ කතාව කියන විදියට නම් මිනීමැරුම කළ දොන් ජුවන් අපේ ළම ඥාතියෙක්. එයාගේ නෝනගේ අයියාගේ කියුම් බසට තමයි මේ දේ කරල තියේනනේ ඔය වැඩේ පංගාඩං කරපු කෙනා ජයලක්ෂණ විජේනායක දොන් ලුවිස් කියල කෙනෙක්. එයා නෙටොල්පිටියෙන් ආපු කෙනෙක් කියල තමයි කියන්නේ . කොහොම වුනත් මිනිහ ජුවන්ට කියල තියෙන්නේ මේ දෙන්නව මරලා කෙලින්ම දිසාපති හාමුදුරුවෝ ළගට ගිහින් බාර වෙනන් මම ඇවිත් බේරගන්නම් කියලා. ජුවන් ඒ විදියටම වැඩේ සිද්ද කළා.

ඒ කාලේ හම්බන්තොට හිටපු ඒජන්ත හාමුදුරුවෝ ලෙනාඩ් වුල්ෆ් මහත්තයා. මේ මහත්තයා තවත් පොලිස් ඔපිසරල කිහිපදෙනෙකුත් එක්ක ජුවන්ව මාංචු දාගෙන ගමට ඇවිත් මහ වරැසාවේ ගං දොගොඩතලා ගිය දවසක තමයි ඇවිත් තියෙන්නේ. කොහොම හරි එන්න දවස් ගණනක් ගතවෙලා. ඒ එනකොටත් මළසිරුරු මියගිය තැන්වලම තිබුණ කියලත් සමහරු කියනවා. සුදු මහත්තයා මේ නඩුව විභාග කළේ ගමේ ආරච්චිගේ ගේ ගාව තිබුණු සියඹලා ගහ යට ඉදගෙන. ජුවන් එල්ලුම් ගහට නියම වෙලා පසුව සමාවක් ලැබුන කියලා ආරංචිවුනා. ඒත් ගමටනම් ආවේ නැහැ. මිනිසුන් දෙදෙනෙක් මැරුවත් ජුවන් පොලිස් මුලාදෑනියෙක් කියලත් අපේ මාමණ්ඩි ඒ කාලේ කිව්වා. හැබැයි ඒ ගැන මම හරියට කියන්න දන්නේ නැහැ.

මල්අස්නි ගල්වැව පාළු වී වන ගහණයෙන් වැසී යාම පිළිබද අපි ඇයගෙන් විමසූ විට ඇය මෙසේ කීවාය.

” මල්අස්නි ගල්වැව ගමේ උණ වසංගතය පැතිර ගියා. අපිත් 1938 දී ගල්වැව අතහැරලා මත්තල ගිහින් පදිංචි වුනා. ටික කාලයක් යනවිට ගල්වැව ගමම වනාන්තරයට යටවෙලා ගියා. ” ඇය කියා සිටියාය.

සිය සේවා කාලය තුළ සිදුවූ ද්විත්ව මිනීමැරුමක් විභාග කළ ලෙනාඩ් වුල්ෆ් මහතා අපූරු කතාන්දරයක් ”ද විලේජ් ඉන් ද ජංගල්” නමින් ප්‍රබන්ධ කර 1913 දී එංගලන්තයේදී ප්‍රකාශයට පත්කර ඇත. මේ ප්‍රබන්ධ කතාව බැද්දේගම නමින් ලංකාව තුළ ප්‍රචලිත විය. එම කථාවේ පැවසෙන සැබෑ තතු සහ සිදුවූයේ කුමක්දැයි සොයා බලනු රිසියෙන් අප ගිය ගමන නිමාවට පැමිණ ඇත.

සිදුවීම වූ ස්ථානයේ සාක්ෂි වශයෙන් අද කිසිවක් ඉතුරුව නැත. ඇත්තේ ඝාතනය සම්බන්ධ සාක්ෂි සටහන් කරගත් ස්ථානයේ ඇති සියඹලා ගසක් සහ ජුවන්ගේ හරකා බඳින ලද සූරිය ගසකුත් පමණි. එහෙත් ඔවුන්ගෙන් පැවතෙන්නන් මේ කතාව හොද හැටි අසා පුරුදු ඇත. ඔවුන්ගේ මතකයේ මේ සිදුවීම රැදී තිබෙන තාක්කල් මෙය නොනැසී පවතිනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!