උඩමත්තල ගම්මානය හරහා අපි ආ මාර්ගය ඔස්සේම ටික දුරක් ගමන් කර තුං මං හන්දියකින් දකුණට හැරි ගියෙමු. ගම්බාරයා කීවාක් සේම මාර්ගය දෙපසම ඇත්තේ තෙරක් නොපෙනෙන මහා වනාන්තයරයි.
” අපි පොඩි කාලෙනම් මේ හරියේ හැට හැත්තෑවක් ඉන්න අලි රංචු හිටියා. උන් ඒ කාලේ අපට කිසිම කරදරයක් කළේ නැහැ. ඒත් අලින්ගෙන් මිනිසුන්ට වෙන කරදර හිරිහැර වැඩිවුණා. පසුගිය දවස්වල ලුණුගම්වෙහෙර දක්වා අලි එලෙව්වා. ඊට පසුවනම් තවම අලි දකින්න නැහැ. මේ මෑතක් වනතුරුම වලසුන් පවා හිටියා. ඒත් දැන් වලහෙක් දැක්ක කාලයක් මතක නැහැ. ඉස්සර හිටපු ගෝන්නු, මුවෝ දැන් ඒ තරම් පේන්න නැහැ. ඉදහිට කැලේ මුවෝ ඉන්න බව පේනවා. තවමත් වල් ඌරෝනම් ඉන්නවා. හිවල් රංචුත් ඉන්න බව රෑට හූවෙන්ම කියන්න පුළුවන් . මොණරු වළිකුකුළෝ නම් වනාන්තරයේ ඉන්නවා. ” ගම්බාර කියයි.
අපි වැවක් අසලට පැමිණියමු. තරමක කුඩා වැවක් වන එහි ජලය පිරී තිබේ. ඒ අසල විශාල සියඹලා ගසකි. යතුරු පැදිය නවතන්නට යැයි කී ගම්බාර මහතා ඉන් බැසගත්තේය.
” මෙතන තමයි මහත්තයෝ තැන. මේ වැව තමයි ගල්වැව කියන්නේ මේ මල් අස්නි ගල්වැව කියන ගම. මෙන්න මෙතැන තමයි බබේහාමි ආරච්චි හිටපු ගේ තිබිල තියෙන්නේ. ” කියා ඔහු වන ගහනයට අත දිගුකර පෙන්වයි.
ළගින් ළගින් වැවී ඇති කටු සහිත පදුරැ නිසා ඒ අතරින් රිංගා යාමට ද නොහැක. නිවසක් තිබූ බවට සළකුණක් හෝ සොයාගත නොහැකිි වන පරිදි වනාන්තරය විසින් ගම්මානය ගිලගනු ලැබ ඇත. ලෙනාඩ් වුල්ෆ් මහතා ගම්මානය මෙම තත්ත්වයට පත්වන බව සිය කථාවෙන් පවසා ඇත්තේ මේ අයුරිණි.
” වනයේ මහ ගසුත් කුඩා ගස් හා පුදුරුත් අවුරුද්දේ මාස දහයක්ම මැරි මැරි යයි. කොළ මැලවී වියළී වැටේ. බිම වියළි තණ හා නියඟයට දැවී කළු ගැසී ගිය පැළෑටි ද අතර අතු රිකිලි ගැලවී වැටී දිරා යයි. එහෙත් වැසි කාලය එළඹුන විගස මුළු වනයම ඝනව වැඩී කොල පැහැයෙන් බැබළෙයි. එවිට හැම ඉඩක්ම, හැම එළිමහනක්ම, හැම මංතොටක්ම, හැම මිදුලක්ම වසා යට කරගෙන යන්ට කැලය සැරසෙන්නේය. “
මේ වනවිට එය සත්‍යයක් වී ඇත. සිළිදුගේ දියණිය පුංචි මැණිකාගේ අභාවයත් සමගම මිනිස් වාසයෙන් තොර වූ ගම්මානය මුළුමනින්ම වනාන්තරය විසින් ගිලගනු ලැබ තිබේ. සියඹලා ගසත් ඒ අසල ඇති සූරියගසත් සිළිදුගේ කථාවේ නෂ්ඨාවශේෂ ලෙස ඉතුරුවී ඇති බව ගම්බාර මහතා කියයි.
වැවෙහි ජලය ගෙනයාම සඳහා මෑතක සකස් කළ ඇළ මාර්ගය ආසන්නයේම සියඹලා ගස පිහිටා ඇත. ඒ සියඹලා ගසට එක් පසෙකින් ආරච්චි මහතාගේ නිවස වූ බව පවසන ගම්බාර මහතා කියන්නේ සිය මවගේ උපන් නිවස හෙවත් සිරිවර්ධන බබුන් හාමිගේ නිවස පිහිටා තිබුණේ සියඹලා ගසෙහි අනෙක් පැත්තට වන්නට බවයි. ඒ ස්ථානය ආසන්නයේ හරක් ගාලක් තිබූ බවත් ඒ හරක්ගාල තිබූ ස්ථානය ආසන්නයේ ඇති සූරිය ගසේ සිළිදු සිය හරකෙකු ගැට ගැසීමට පුරුදුව සිට ඇතැයි සිය මව පැවසූ බවත් ගම්බාර මහතා කීවේය.
බැද්දේගම නව කතාවේ සිළිදු සහ එම සිද්ධීන් මාලාවට අදාල සියළුදෙනාම එක් ගම්මානයක පදිංචි කරුවන් ලෙස ප්‍රකාශ වුවද සිළිදු වෙඩි තැබීම නිසා මියගිය ආරච්චි ඇතුළු සිළිදුගේ ඥාතීන්ගේ වාසය වී ඇත්තේ මෙම මල්අස්නි ගල්වැව නම් ගම්මානයයි. සිළිදු නම් කථාවේ චරිතයට වස්තු බීජය වූ රත්නායක දොන් ජුවන් නැමැත්තා උඩමත්තල ගමේ පදිංචිකරුවෙකි. ඔහු සිය වගා කටයුතු සහ හරකුන් දිගේලි කිරීම සදහා දිනපතාම මල්අස්නි ගල්වැව හෙවත් ලෙනාඩ් වුල්ෆ් පවසන බැද්දේගමට පැමිණේ . එසේ පැමිණෙන ඔහු ගම්බාර මහතාගේ ආත්තම්මාගේ නිවසේ හෙවත් දොන් ජුවන්ගේ පුංචි අම්මාගේ නිවසින් සියලු කටයුතු සපුරාගෙන තිබේ.
අද ඒ නිවසද දක්නට නැත. වරිච්චි බිත්ති බැද කොළ අතු සෙවිල්ලා තිබූ ඒ නිවෙස් වනාන්තරය විසින් පහසුවෙන්ම ගිලගෙන තිබේ. වටපිටාව දැඩි නිහැඩියාවකි. එහි යම් ගුප්ත බවක් රැදී ඇතැයි සිතේ. ඈතින් ඇසෙන මොනරකුගේ අමිහිරි නාදය හැරුණු විට කිසිදු ශබ්දයක් නැත.
වැසි පොද වැටෙන්නට විය. මම වැස්සෙන් බේරීමට දැවැන්ත සියඹලා ගස යටට විත් ඒ ගසට වාරු වුනෙමි. මහත්තයෝ ඔය ගහ යට තමයි මේ නඩුව විභාග කරල තියෙන්නේ. මිනී මැරුම කරපු ජුවන් කෙළින්ම ගිහින් තියෙන්නේ දිසාපතිතුමා මුණ ගැහෙන්නනේ. ඒ පාර දිසාපතිතුමා සමග නැවත ගමට ඇවිත් ඒ කාලේ දිසාපති නෙනාඩ් වුල්ෆ් මහත්තයානේ. ඒ මහත්තයා මේ ගහයට ඉදගෙන තමයි ගමේ අයගේ සාක්ෂි එහෙම සටහන් කරගෙන තියෙන්නේ.
සිහින් පොද නැවතුණි. අපි ආපසු එන්නට පිටත්වීමු. මල් අස්නි ගල්වැව වනාන්තරයට ගොස් ඇති අයුරු ඇස් පනාපිටම දැකගත හැකිවිය. වනාන්තරය මැදින් මද දුරක් පැමිණී විට මහ වැසි ඇදහැලෙන්නට විය. ගම්බාරයාගේ නිවසට යනවා හැර වැස්සෙන් බේරෙන්නට කිසිදු ස්ථානයක් අතරමග නොමැත. මම යතුරු පැදියේ වේගය වැඩි කළෙමි.
මහත්තයෝ පාර ලිස්සාවි යැයි ගම්බාර පවසනවාත් ඇසුණි. ඒ සමගම යතුරුපැදිය ලිස්සා ගියේය. පැමිණි වේගය අනුව උඩින් විසිවී ගිය මා පදුරක් මත පතිත විය. ඒ සමගම කොහෙන්දෝ ආ මහා බරක් මගේ ඇග මත වැටිණි. ක්ෂණයකින් සිහි එලවාගත් මම නැගිටින්නට උත්සාහ ගත් විට ගම්බාර මහතා මගේ ඇගෙහි වැදී පසෙකට පෙරළී සිටිනු දැක ගත හැකිවිය.
මගේ ඇග පුරාම සීරීම් තුවාල විය. නැගිට ගැනීමට ද අපහසුය. වහාම ගම්බාර මහතා අසලට ගොස් ඔහුට කථා කළෙමි. මුනින් අතට සිටි ඔහු සීරැවෙන් උඩුබැලි අතට හැරවුවද කිසිදු හැල හොල්මනක් නැත. ඔහුගේ නාසයෙන් ලේ ගලාවිත් ඇත. ඇස ආසන්නයේද තුවාලයකි. තත්ත්වය තරමක් බරපතල බව පෙනේ. තවමත් මහ වැසි ඇද හැලේ. වැස්සට තෙමෙමින්ම ඔහු නැගිටුවීමට උත්සාහ ගත්ත ද අසාර්ථක විය. සිහිමුර්ජා ත්ත්තවයකට පත්ව සිටි ගම්බාර ඔසවා ගැනීමට ද හැකියාවක් නැත. මට ද සිටගෙන සිටීමේ අපහසුවක් දැනේ. උදව්වක් ඉල්ලන්නට කෙනෙක්ද නැත. කවරෙකු හෝ අප සොයා පැමිණෙන තුරු මෙතැනම සිටීමට සිදුවෙයි. අප සිටි ස්ථානයේ සිට අඩි 20 ක් 30 ක් පමණ ඈතට ගොස් තිබූ යතුරු පැදිය තවමත් ක්‍රියාත්මක වේ.
විනාඩි දෙක තුනකින් ගම්බාර මහතා කෙඳිරි ගෑවේය. මම ඔහු වත්තන් කර ගත්තෙමි. මොහොතකින් ඔහු නැගිට්ටේය.
(සජීව විජ්වීර)
මෙහි පළමු කොටස මෙම සබැඳියෙන් කියවන්න.