spot_img
spot_imgspot_img

කරාපිටියේ දී මළ සිරුරක් ඉල්ලා මන්ත්‍රී ඇතුළු පිරිසක් නිරෝධායන නීති කඩයි.

පුවත්

විදෙස්

කොරෝනා ආසාදනය වී රෝහල් ගතකර සිට නිවසට පැමිණි පසු මියගිය දෙද්දුගොඩ පදිංචි පුද්ගලයාගේ මළ සිරුර භූමදාන කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලමින් මියගිය පුද්ගලයාගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් ඉවත් කිරීමට පොලිසිය කැඳවීමට සිදුවූ බව අක්මීමණ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 84 හැවිරිදි වියේ පසු වූ පිරිමි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයා පසුගිය දෙසැම්බර් 05 වැනි දා කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබිණි. ඉන් පසු කරන්දෙණියේ කොරෝන විශේෂ ප්‍රතිකර මධ්‍යස්ථානයට යොමු කළ ඔහු පසුගිය 17 වැනි දා යළි නිවසට පැමිණ තිබිණි. නිවසේ දී අනිවාර්ය නිරෝධායන දින 14ක කාලයක් ගත කරමින් සිටිය දී ඔහු 19 වැනි දා හදිසියේ ම මියගියේය.

මෙම මරණය සම්බන්ධයෙන් එදිනම හදිසි මරණ පරීක්ෂණයක් පැවැත්වීමට දේහය කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් ඇත. එහි දී දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස හදිසි මරණ පරීක්ෂකවරයා විසින් අධිකරණ වෛද්‍ය අංශයට දැනුම් දුන් විට අධිකරණ වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී තිබුණේ කොරෝනා ආසාදනය වී රෝහල් ගත වී සිටි එම පුද්ගලයා නිවසට පැමිණ දින දෙකක් ඇතුළත හදිසියේ මිය ගොස් ඇති බැවින් මරණය කොරෝනා ආසාදිත මරණයක් ලෙස සළකා කටයුතු කිරීම සුදුසු බවයි.

මේ පිළිබඳ වෛද්‍යවරුන් විසින් සහ හදිසි මරණ පරීක්ෂකවරයා විසින් ඥාතීන්ට දැනුම් දුන් අවස්ථාවේ දී මුස්ලිම් ජාතිකයකු වූ මියගිය පුද්ගලයාගේ දේහය කොරෝනා ආසාදිත දේහයක් ලෙස සළකා ආදාහනය කිරීඹට දැඩි විරෝධයක් දක්වා ඇත. ඔවුන් දීගින් දිගටම ඉල්ලා ඇත්තේ දේහය පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙසයි.

මේ අනුව ඊයේ (20) උදෑසන එම දේහයෙන් සාම්පල ලබාගෙන පීසීආර් පරීක්ෂණයට යොමු කෙරුණු අතර සවස ලැබුණු පීසීආර් වාර්තාවෙන් සනාථ වූයේ එම පුද්ගලයා මියයන අවස්ථාව වනවිට ද කොරෝනා ආසාදිතයකු බවයි.

දේහය සම්බන්ධයෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර විසින් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාරවණය වී ඇත්තේ කොරෝනා ආසාදනය සමඟ හෘද සංකූලතා ඇතිවීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාගේ නිගමනය හා ඉදිරිපත් වූ සාක්ෂි සැළකිල්ලට ගත් අක්මීමණ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මරණයට තීන්දුව ප්‍රකාශයට පත්කරන අවස්ථාවේ දී පැමිණ සිටි 50කට අධික පිරිසක් ඊට දැඩි විරෝධය ප්‍රකාශ කර ඇත. පීසීආර් පරීක්ෂණය පිළිගත නොහැකි බවත්, මෙම පරීක්ෂණය වෛද්‍යවරුන් විසින් හිතාමතාම ධනාත්මක කරන බව තමන් දැන සිටි බවත් ඔවුන් පවසා ඇත. තමන්ගේ ආගමෙන් හා ජාතියෙන් පළිගැනීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් ඥාතීන් ඇතුළු කණ්ඩායම පවසා ඇත්තේ සිරුර භුමදානයට ඉඩ නොදෙන්නේ නම් තමන් මළ සිරුර භාර නොගන්නා බවයි.

මෙම මියගිය තැනැත්තා ජීවත් වූ නිවසේ සියලු දෙනා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත කර තිබිණි. ඒ අතරින් මේ වනවිටත් නිවසට පැමිණ සිටි පිරිස් නිවසේ නිරෝධායනය වීම අනිවාර්ය වී තිබිය දී එම නිරෝධායන නීති කඩකරමින් මියගිය තැනැත්තාගේ බෑණා කෙනෙකු රෝහලට පැමිණ සිටි බව ද හදිසි මරණ පරීකවරයා පවසයි.

එම පුද්ගයා සමඟ රෝහලේ දී සමීපව කටයුතු කළ පිරිස සහ මියගිය තැනැත්ගේ නිවසට යමින් එමින් කටයුතු කළ සියළු දෙනා නිරෝධායනය සඳහා යොමුකිරීමටත් ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ පැවැත්වීමටත් සෞඛ්‍ය අංශ වෙත නියෝග කිරීමට කටයුතු කරන බව ද හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි.

මියගිය පුද්ගලයා කොරෝනා ආසාදිත බව මියගොස් පැය 24කටත් පසු ලබාගත් සාම්පලවලින් කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වී තිබියදීත් එය පිළි නොගෙන නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් සමඟ කරාපිටිය ශික්ෂණ රෝහල් භූමියේ රැස්වී විරෝධය ප්‍රකාශ කරමින් සිටි පුද්ගලයන් එම ස්ථානයෙන් ඉවත්කිරීම පොලිසිය සිදුවූ බව ද මරණ පරීක්ෂකවරයා පැවසීය.

බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වන හුසේන් කියාස් මෙම පිරිස සමඟ සිටි බවත් ඔහු ද දැඩී විරෝධයක් දැක්වූ බවත් දැනගන්නට ඇත.  

” මේ කණ්ඩායම දිගින් දිගටම මළ මෙය කොරෝනා මරණයක් නොවන බව කියමින් අපිට බලපෑම් කළා. මරණ පරීක්ෂණයකට බලපෑම් කිරීම නීතිය හමුවේ විශාල වරදක්. මමත් වෛද්‍යවරුණුත් බෝපේ පෝද්දල මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම ගෙන්වා ඔවුන්ට වරින් වර කරුණු පැහැදිලි කරලා දුන්නා. ආගමක්, ජාතියක් පිළිබඳ අපිට ගැටලුවක් නැහැ. ආගමික විශ්වාස සියල්ලට අපි ගරු කරනවා. හැමදාමත් ඊට ගරුකරමින් තමයි මරණ පරීක්ෂකවරු සියලු දෙනා කටයුතු කරන්නේ. නමුත් කොරෝනා වසංගතය නිසා රජය විසින් නිකුත් කළ විශේෂ උපදෙස් මාලාවක් තිබෙනවා. ඒ පිළිබඳ මුස්ලිම් ජාතිකයන්ට විවාදයක් තිබෙන බව අපි දන්නවා. නමුත් අපිට ලැබී තිබෙන උපදෙස් තවමත් ඒ විදියටම වලංගුයි. එය සංශෝධනය වන තුරු අපිට වෙනත් ඉල්ලීම් අනුව කටයුතු කරන්න බැහැ. අපිට ලැබී තිබෙන උපදෙස් අනුව අපි කටයුතු කරනවා. නමුත් මේ සිරුර ඉල්ලමින් එය කොරෝනා මරණයක් බව පීසීආර් පරීක්ෂණයකින් පවා තහවුරු වී තිබිය දී එය පිළිගත නොහැකියැයි පවසමින් විශාල පිරිසක් රෝහලට ආවා. ඔවුන් අතර නිවසේ නිරෝධායනය වෙමින් සිටිය යුතු අයත් හිටියා. ඒ නිසා අපට සිදුවුණා පොලිසියට සිිදුවුණා ඔවුන් එතැනින් ඉවත් කරන්න. මරණයක් කියන්නේ ඉතා සංවේදී කටයුත්තක්. නමුත් රටේ වසංගතයක් පැතිරයන අවස්ථාවක දී විශේෂයෙන්ම ඒ වයිරසයට ගොදුරුවූ පුද්ගලයකු මියගිය අවස්ථාවක දී සියලු දෙනා මීට වඩා වගකීමකින් කටයුතු කරන්න අවශ්‍යයි. මේ නිරෝධාන නීති කඩකළ පිරිස සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සහ පොලිසිය නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

ඥාතීන් විසින් මියගිය පුද්ගලයාගේ දේහය භාර නොගන්නේ නම් එය රජයේ විදයමින් ආදාහනය කිරීමට කටයුතු කරන බව ද හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ කීවේය.

මේ පිළිබඳ අදහස් දක්වමින් බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී හුසේන් කියාස් කියා සිටියේ ප්‍රදේශයේ ජනතාවට යම් කරදරයක් වූ විට ඊට මැදහත් වීම තමන්ගේ වගකීමක් සහ යුතුකමක් බවයි. තමන් සමඟ ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරු දෙදෙකනු වන මොහොමඩ් සිරාජ් හා රොෂාන් මවුසූන් දෙදෙනා ද සිටි බවත් තමන් එතැන විරෝධයක් දැක්වූයේ නැති බවත් සාධාරණය ඉල්ලා සිටි බවත් හුසේන් කියාස් මන්ත්‍රීවරයා පවසයි. පොලිසිය මේ සඳහා කිසිසේත්ම මැදහත් නොවූ බවත් හෙතෙම පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!