(බැද්දේගම නව කතාව එක් වරක් නොව දෙවරක්ම කියවා. චිත්‍රපටය ද නරඹා තිබූ මම මේ ඛේදාන්තය සිදුවූ ගම්මානය සැබෑ ගම්මානයක් ද ? එය තවමත් තිබේ ද ? මේ සත්‍ය කතාවක් ද ? යන කරුණු දැන ගැනීමේ නොනිත් ආශාවෙන් පසුවූයේ පාසල් වියේ සිටිය දී ය. ගම්මාන සොයා යාමේ අවස්ථාව මට උදාවන්නේ 2007 වර්ෂයේ දී ය. එවටක ලංකාදීප දිනපතා පුවත්පතේ ගාල්ලේ ප්‍රාදේශීය වාර්තාකරුවකු වූ මට හදිසියේම හම්බන්තොට දිස්ත්‍රික්කයට මාරුවක් ලැබෙන්නේ එහි පුවත්පත් අළෙවිය අඩුවූ බැවිනි. එහි ගම් නියම්ගම් සිසාරා මාස කිහිපයක් ලිවීමේ යෙදුණු මගේ මාධ්‍ය දිවයේ අපූර්වතම කාලය එයයි. මේ මා විසින් මගේ ලේඛන දිවියේ දී ඉරිදා ලංකාදීප පුවත්පතට ලියන ලද පළමු ලිපියයි. එය කොටස් තුනක් ලෙස පුවත්පතේ පළ කෙරිණි. ඒ ආකාරයෙන්ම අපි rata.lk වෙබ් අඩවියේ එය පළකරන්නෙමු. බැද්දේගම නවකාතව කියවා ඇති ඔබ සැමට මේ ලිපිය තවත් අපූරු අත්දැකීමක් එකතු කරනු ඇත. මේ එහි පළමුවැන්නයි. ඉදිරි ලිපි කියවීම සඳහා අපේ වෙබ් අඩවියේ දකුණු පැත්තේ පහළින්ම ඇති සීනුව ඔබා Subscribe කර අප සමඟ එක්වන්න.– සජීව විජේවීර)
” උණුසුම් වාතය ද , දූවිලි ද, වියළී පොඩිවී ගිය දඩු පත්ද පිසගෙන ආ වන ගද ගම පුරා පැතිර සිටියේය. හැම දෙසින්ම උතුරු, නැගෙනහිර, දකුණු, බස්නාහිර යන සිව් දෙසින්ම ඈත නිල්වන් කදුවැටිය දක්වාද මෑත මහ මුහුද දක්වාද පැතිරී ගිය මහ වනයෙහිමය ගමෙහි මුල හා අගද වූයේ. ගම වනයෙන්ම පන් ගැනී වනයෙන්ම කෙළවර වූයේය. වනය, ගම වට කරගෙන ගමට ඉහළින් ද වැඩෙමින් ගම තදබද කරගෙන සිටියේය. ගෙමිදුල් හා එළිමහන් තැන් අකුල් කරගෙන මැටි ගෙවල් මිරිකාගෙන මංපෙත් අවුරා ගෙන වනය හාත්පසින්ම වැඩුණේය. ගම සම්පූර්ණයෙන්ම වන බත්වීම වළක්වා ගත හැකි වූයේ අවුරුදු පතා කැති පොරෝවලින් පහර දී පහත් කැර දැමීමෙනි. එය ගම වටාපිහිටි ජීවමාන ප්‍රාකාරයකි. කැති පහරට අසු නොවී නම් ක%මයෙන් වැවීගෙන විත් මුළු ගමම ගොදුරට ගන්නා එකම ජීව ප්‍රාකාරයකි. “
” The Village in the Jungle” නමින් ලෙනාඩ් වුල්ෆ් නම් හම්බන්තොට හිටපු දිසාපතිවරයා විසින් ලියන ලද ග්‍රන්ථය බැද්දේගම නමින් සිංහලයට පරිවර්තනය කළ ඒ.පී.ගුණරත්න මහතා දිරිපත් කරන ගම්මාන විස්තරයෙහි වනගත ගම්මානය පිළිබද එලෙස විස්තර වෙයි. මෙම ග්‍රන්ථය ඉංග්‍රීසි ජාතිකයකු විසින් ලාංකික ජන ජීවිතය පිළිබද
විවරණය කරනු ලන විශිෂ්ඨතම කෘතිය බව විද්වතුන්ගේ පිළිගැනීමයි. විසි වැනි සියවසේ මුල් භාගයේ එනම් 1908 අගෝස්තු 28 වැනිදා සිට 1911 මැයි 20 දක්වා හම්බන්තොට දිසාපතිවරයා ලෙස සේවය කළ ලෙනාඩ් වුල්ෆ් මහතා විසින් මීට සියවසකට පමණ පෙර ලියන ලද වනගත ගම්මානය සොයා යාමේ නොනිත් ආශාවෙන් පසුගිය 25 දා (2006 නොවැබ්මර් 25) තංගල්ලෙන් ගමන් ආරම්භ කළෙමි. කදුරුපොකුණේ ප්‍රේමදාස වීරසිංහ ග්‍රාම නිලධාරී මහතාද මා සමග මේ ගමනට එකතුවූවේය.
ලෙනාඩ් වුල්ෆ් දුටු වනගත ගමෙහි ප්‍රධාන චරිතය වූයේ මෘග වන සතුන් සමග උරෙනුර ගැටෙමින් සිට ද්විත්ව මිනීමැරුමක වරදකරු වූ සිළිදුය. ඔහු මා සිතෙහි මැවී තිබුණේ දැවැන්ත දේහයක් සහිත රෞද්‍ර මිනිසකු ලෙසිනි. බබේහාමි ආරච්චිරාළ, කර්ලිනාහාමි, පුංචි මැණිකා, බබුන් අප්පු, නැන්චොහාමි යන මේ සියලු චරිත මා සිතෙහි විවිධ වූ ප්‍රතිරූප මවා තිබිණි. අතීත සිංහල ගම්මානයක ගුණ සුවද සේම ඒවායේ පැවති කල කෝලාහලත් වුල්ෆ් මහතා අප ඉදිරියෙහි මනාව චිත්‍රණය කර තිබූ බැවින් බැද්දේගම පිළිබද යම් ප්‍රතිරූපයක් මා සිතෙහි විය. සිත පත්ලටම කිදා බැස ඒ පිළිබද සිතන විට සිතෙහි උපදින්නේ යම් තරමක වූ සංවේගයකි.
සිළිදුගේ දියණිය පුංචි මැණිකා බැද්දේගම සිටි අවසන් මිනිස් සත්ත්වයා වූ බව ලෙනාඩ් වුල්ෆ් පවසයි. සිළිදු වරදකරු වී වසර තුනක ඇවෑමෙන් බැද්දේගම මුළුමනින්ම බැද්දෙන් වැසී ගිය බව වුල්ෆ්ගේ කතාවෙන් පැවසේ. ඔහු වනගත ගම්මානයේ අවසාන විග්‍රහය කරන්නේ මේලෙසිනි.
” පුංචි මැණිකාගේ ගෙයි බිත්තියට එන තුරු කැළෑව වැඩුණේය. වත්තේ වැට හැදීමට හෝ කැළය එළිකර දැමීමට හෝ ඈ උත්සාහ නොදැරීය. අන් ගෙවල මිදුල් වැසී ගියා සේම ඇගේ ගෙයි මිදුලද කැළයෙන් වැසී ගියේය. සියලුම මංපෙත් වැසී ගියේය. කෙළවරක් නොපා දිගට හරහට පැතිර සිටි මහ වනයෙහි ඇගේ ගෙය හිරවිය. ගෙතුළ පවා වාතය උණුසුමෙන් බර විය. දිරා ගිය බිත්ති, සිදුරු වී ගිය වහල ඇති ඇගේ කුඩා පැල්ත හැර අවට සියල්ල වනබත් වී ඉවරය. ලොකු කුඩා පදුරු මහ ගස් කටු පදුරු වැල් ගොමු පිරිවරා ගෙන ගොස් කුඹුරත් වැවත් වසා කැළය වැවී සිටියේය. ගමත් පුංචි මැණිකාත් අමතකව වනබත් විණි.
එලෙස විනාශ වී ගිය බැද්දේගම නවකතාවට වස්තු බීජ වූ ගම්මානය ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි මත්තල නම් ගම්මානය බවට ලැබුණු තොරතුරකට අනුව අපි උදෑසන හයට පමණ තංගල්ලෙන් ගමන් ඇරඹුවෙමු. තංගල්ලෙන් අගුණුකොළ පැලැස්සටත්, එතැනින් සූරියවැවටත්, සූරියවැව සිට මීගහජදුරටත් ගිය අපි මීගහජදුරේ සිට හම්බන්තොට දෙසට යන දුෂ්කර ගම්මානය ඔස්සේ මත්තල සොයා ගියෙමු. ලෙනාඩ් වුල්ෆ් මහතා පැවසූ පරිදි ගිනි කාෂ්ඨක අව්රශ්මියත් හමා එන දුහුවිල්ලත් දක්නට නැත. කිසි කලෙක නොවුණු පරිදි දිනපතා වැටෙන වර්ෂාවෙන් දුහුවිලි ඉවත්ව තිබේ. මාර්ගයේ මඩ ගොහොරු රැසක් දක්නට ඇත. හිරු එළිය හොදින් පතිත වී ඇතත් හමා එන මද නළ හේතුවෙන් එය සිරුර විඩාවට පත් නොකරයි. අප බලාපොරොත්තු වූ වියළි කර්කශ දේශගුණයක් එහි නැත. හාත්පස දළු ලා වැඩෙන තුරුගොමු සොදුරු හරිතවත් පරිසරයක් මවාපායි. යතුරු පැදියේ ගමන අපට විඩාවක් නොවීය. මාර්ගය දෙපස බොහෝ කොටසක් තවමත් වනයෙන් වැසී ගොසිනි. හේන් වගාව කළ බිම් හා කුඹුරු කිහිපයක් අපට පසුවී යයි. ඉදහිට හමුවන ගැමියෝ නොහදුනන අප දෙදෙනාට කට පුරා සිනහවකින් සංග්‍රහ කරන්නට අමතක කළේ නැත. අව්‍යාජ ගැමි සුව
තවමත් ඔවුන් අතරින් ඈත්ව ගොස් නැත.
මගේ ගමන් සගයා වූ වීරසිංහ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචිකරුවකු සේම බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකි. ඔහුගේ උපදෙස් අනුව යතුරුපැදිය පැදවූවෙමි. බැද්දේගම නවකතාව දෙතුන් වරක් කියවා ඇති ඔහු බැද්දේගම චිත්‍රපටය ද නැරඹූ රසවතෙකි. එහෙත් ඔහු මත්තලට පැමිණ නැත.
මීගහජදුර හම්බන්තොට මාර්ගයෙන් හැරී ඉදිරියට හමුවූ ගැමියකුගෙන් අපි මත්තල ගමට යන්නේ කෙසේදැයි විමසූ විට ඔහු අපෙන් පෙරළා ඇසුවේ යා යුත්තේ උඩ මත්තලට ද, පල්ලෙ මත්තලට ද යන්නයි. එසේනම් එදා මත්තල දැන් දෙකට බෙදී ඇත. ලෙනාඩ් වුල්ෆ් ” ද විලේජ් ඉන් ද ජංගල් ” නමින් හැදින්වූයේ මත්තල යැයි දැන එය සොයා ගිය අපට ගම්මාන දෙකක් හමුවී තිබේ.
මත්තල නම් ගම්මාන දෙකක් ගැන අපට කිවූ තරුණ ගොවි මහතා ලෙනාඩ් වුල්ෆ් ගැන සිළිදුලා ගැන හෝ බැද්දේගම නම් නවකතාවක් ගැන හෝ දන්නේ නැත.
තවත් මීටර පන්සියයක් පමණ ගමන් කළ අපට කුඹුරෙන් ගොඩවන ගොවියකු මුණ ගැසුණි. ඔහු සමග කතා කළ අප පැමිණියේ ලෙනාඩ් වුල්ෆ් ලියා ඇති බැද්දේගම නවකතාවේ සිටින සිළිදුලාගේ පරපුරේ අද ත්ත්තවය පිළිබද සොයාා බව පැවසූවෙමු ඔහු කියා සිටියේ උඩමත්තල ගමට ගොස් ගල්වැවේ ගම්බාරයා හමුවී තොරතුරු විමසන ලෙසයි. ගම්බාරයා සිළිදුගේ මුණුපුරකු බව ද හෙතෙම කීවේය.
ඉතා දිගැති පිලක් සහිත මොණරකු පාරට පැමිණ අප දැක ඉක්මන් ගමණින් කුඹුරට බැස ගියේය. මොණරකු පිල් විහිදා කරන රංගනය අතිශය චමත්කාරජනකය. අප මේ යන ගමනේදී අතීතය විදහා දක්වන්නට හැකි වුවහොත් එය ද චමත්කාරජනක කතාවක් වනු නොඅනුමානය ගම්බාරයා යනු ගමෙහි භාරකරුවා බව නමෙන්ම පැහැදිලිවේ. ගොවි මහතා දුන් උපදෙස් අනුව අපි ගම්බාරයාගේ නිවස සොයා ගියෙමු.
සිළිදුලා, බේබිහාමි, ආරච්චිරාළලා ජීවත් වූ බැද්දේගම පුංචි මැණිකොගේ මරණයෙන් පසු මිනිස් වාසයෙන් තොරවූ බව අපි සිතා සිටියද උඩුමත්තල යනු ඉතාමත්ම ආකර්ශණීය වූ ගොවි ගම්මානයකි. ඉතා දැකුම්කළු කුඹුරු යාය හාත්පස පැතිරී ඇත. පොළවට සමතලා වූ නිවාස වසා වනලැහැබ විසින් බැද්දේගම ගිල ගත්තා යැයි වුල්ෆ් මහතා එදා කීවද මේ වනවිට ඔහුගේ ලෝ ප්‍රසිද්ධ ග්‍රන්ථයට පසුබිම් වූවායැයි විශ්වාස කරන මත්තල ප්‍රදේශයේ පවුල් රැසක් ජීවත් වෙති.
ගම්බාරයාගේ නිවසට අප යන විට ඔහු එහි සිටියේ නැත. ගම්බාරයාගේ හාමිනේත්, මුණුපුරෙකුත් පැමිණ අප පිළිගත්හ. ආ කාරණා නොවිමසාම වාඩි වෙන්නට යැයි ආරාධනා කළ ඇය කියා සිටියේ ගම්බාරයා කුඹුරට ගිය බවයි. තරමක් දුරින් පිහිටි දවල්ට බත්මුල රැගෙන නොගිය බැවින් මොහොතකින් පැමිණෙනු ඇතැයි ද ඇය කීවාය. ඔවුන් දෙදෙනා නොපැකිළව අප සමග සතුටු සාමීචියේ යෙදී සිටියදී දැනගත් තොරතුරු අනුව බැද්ගේම යනු මත්තල නොවේ. එදා බැද්දේගම කතාවට පසුබිම් වී ඇතතේ මල් අස්නි ගල්වැවි නම් ගම්නයයි. අද එහි ගමක් නැත. ලෙනාඩ් වුල්ෆ් සිය කෘථියේ පළමු පරිච්ඡේදයේ සදහන් කළාක් මෙන් වනාන්තරය විසින් ගම ආක්‍රමණය කරනු ලැබීම සාර්ථකව සිදුවී ඇත. ඒ ස්වභාවික සංසිද්ධිය පුංචි මැණිකාගේ අභාවයෙන් පසු ඔහුගේ කෘථියේ අවසන් පරිච්ඡේදයේ විවරණය කරන අයුරින්ම සිදු වන්නට ඇත. ඒ ගමේ ගමේ ඝාතන දෙකක් සිදුවූ බව සත්‍යයකි.
ගම්බාරයාගේ පුතෙකුද අප සමග කතාවට එක්විය. ගාල්ලට විවාහ වී එහි පදිංචිව සිටින ඔහු කුඹුරු වැඩ කිරීම සදහා ගමට පැමිණ ඇත. ගම්බාරයා සොයා ඔහු ගිය කුඹුරට මා සමග යාමට ඒ පුත්‍රයා එකග විය. ඔහු ජිනදාසයි.
ප්‍රධාන මාර්ගයෙන් හැරී අතුරු මාර්ගයට වැටුණු විට සුවිසල් කුඹුරු යායකි. ” මේ කුඹුරු දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ ඉදලා වගා කළා. මේ ඔක්කොම පාරම්පරික ඉඩම්. වැවේ වතුරෙන් වගා කරනවා.” ඔහු යම් අභිමානයකින් යුතුව කියයි.
” අපට මේහරියේ කුඹුරු නැහැ. ඔය මහත්තයා හොයන සිද්ධිය වනවිට අපේ මුත්තලා ගල්වැව පදිංචි කරුවෝ. පස්සේ ඒ ගම්මාන වල්බිහි වුනාම මෙහෙට ඇවිත්. ඉතින් අපේ කුඹුරු තවමත් තියෙන්නේ මල් අස්නි ගල්වැව කියන ගමේ ඒ ගම කැළේට ඇරුණත් අපි කුඹුරු වගා කරනවා. දැන් තාත්තා ගියපු තැනත් කුඹුරු යායක් තියෙනවා. “
වතුර පිරී ඇති උඩමත්තල වැවෙන් ගොවියෝ කිහිප දෙනෙක් ස්නානය කරමින් සිටිති. ඒ අසල සුවිසල් ගල් තලාවක් ඇත. එකල ගැමියන් වී වේලා ගත්තේ මේ ගල් තලාව මත අතුරා බව ජනදාස මා සමග කීවේය.
ඉදිරියෙන් තවත් වැවකි. අලුතෙන් සකස් කර ඇති වැව් බැම්ම මතින් අසිරැවෙන් යතුරුපැදිය ධාවනය කර ඉදිරියට යන විට වැව් කණ්ඩියේ පහළ එක් කෙළවරක පොළොව සමග පොර බදමින් සිටිනා කුඩා මිනිසෙකු දැකගත හැකි විය.
” තාත්තේ මේ පත්තරේ මහත්තයෙක් ඇවිත් බඩු ටිකත් අරගෙන එන්න ” යැයි ජනදාස උස් හඩින් පැවසුවේය. කිසිවක් නොඇසූ ගම්බාර සිය අඩුම කුඩුමත් රැගෙන වැව් බැම්මට ගොඩ විය. නැවත වැවට බැසගත් ඔහු මඩ සෝදා ගත්තේය.
මේ කුඹුරු යාය හොද සරුසාර ඉඩම්. මේ වැවත් දැන් හොදට පිරිලා. වතුර ප්‍රශනයකුත් නැහැ. ඒත් මහත්තයෝ කවුරුවත් මේ පාර මේ යායේ වැඩ පටන් ගත්තේ නැහැ. ඒ නිසා මම ඇවිත් නියරවල් ටික හැදුවා. සමහර විට මම පටන් ගත්තම අනිත් අය ඒවි කියල හිතනවා. යැයි ගම්බාර කීවේය.
ගම්බාර 70 වැනි වියෙහි පසු වන්නෙකි. ඔහු එතරම් උස් නැත. මිටි සිහින් සිරුරක් හිමි ඔහු කාළවර්ණය. මම ඔහු සොයා ගිය කාරණය කීවෙමි. ” අපි ගෙදර ගිහින් කතා කරමු ” ඔහු කීවේය. අපි යළි ගමනට පිටත්වීමු.
”මහත්තයලට තේ ටිකක් හැදුවනං” කියමින් ගම්බාර සිය නිවසට ඇතුළු වූවේය. ඔහු යළි එළියට ආවේ දවල්ට කෑම ටිකක් කාලම යමු යැයි කියමිනි. විදේශිකයන් නිරන්තරවම වර්ණනා කරන සිංහල ගැමියාගේ ආගන්තුක සත්කාරය ඔවුන් කෙරන් ඈත්ව ගොස් නැත. ඔවුහු එය තම යුතුකමක් සහ වගකීමක් ලෙස සලකති.
ගම්බාර රැල් බුරුල් ඇර කථාව ආරම්භ කළේය.
මහත්තයෝ ඔය බැද්දේගම කියල කතාව ලියුවේ මේ මත්තල ගැන නොවෙයි. මීට ටිකක් ඈතින් කැළේට ගිය ගමක් තියෙනවා මල් අස්නි ගල්වැව කියලා. ඒ ගමේ තමයි ඔය කියන සිද්ධිය වෙලා තියෙන්නේ. සිලිදු කියා කෙනෙක් හිටියෙත් නැහැ. රත්නායක දොන් ජුවන් කියා කෙනෙකුට තමයි ඔය සිළිදු කියා කියන්නේ. මිනිහ මිනී මැරැම් දෙකක් කරල තියෙනවා . ඒ කතාව ඇත්ත.
අම්මගේ පැත්තෙන් තමයි මට එයාව ඥාති වෙන්නේ.
සිලිදුගේ චරිතයට පාදක වූ රත්නායක දොන් ජුවන්ගේ මවගේ නැගණිය හෙවත් සිළිදුගේ පුංචි අම්මා සිරිවර්ධන බබුන් හාමිය. බබුන් හාමිගේ දියණිය සමරවික්‍රම ගීගනගේ කළිගුහාමි ගම්බාර මහතාගේ මවයි. ඇය වසර 98 ක් ආයු වළදා මිය පරලෝව ගොස්ය. සිය මවට අවුරැදු 10-12 වයසේදී මෙම සිද්ධිය වූ බව ගම්බාර මහතාට ඔහුගේ මව පවසා තිබේ.
ඔය කියන සිළිදු උඩමත්තල කෙනෙක්. එයා ජීවත් වෙලා තියෙන්නේ මේ ගමේ . හැබැයි එයාගේ නඋ පරපුර හිටියේ ගල්වැවේ. ගල්වැව කියන ගම්මානය මූළික කරගෙන තමයි ඔය කියන බැද්දේගම කතාව ලියල තියෙන්නේ . මියගිය ආරච්චි අපේ ආත්තම්මගේ ඒ කියන්නේ සිරිවර්ධන බබුන් හාමිගේත් සිළිදුගේ අම්මගේත් මල්ලි. සිළිදු මරලා තියෙන්නේ තමන්ගේම මාමාව. අපට එතැනට යන්න පුළුවන්. වැවක් එහෙම තියෙනවා. නඩුව විභාග කරපු තැන සිළිදුග් හරක් ගැට ගහපු තැන බලන්න පුළුවන්. හැබැයි දැන් හද්ද කැලේ.
ගම්බාර මහතා නමින් සිං ආරච්චිගේ අමරජීවයි. කුඩා කළ සිට නිවසේ අය ගම්බාරේ යනුවෙන් ආමන්ත්‍රණය කළ නිසා ඔහු ඉබේම ගම්බාර වී ඇත. ලෙනාඩ් වුල්ෆ් බැද්දේම ලියන විට මල්අස්නි ගල්වැව ගම්මානයේ පවුල් හතක් වාසය කර ඇත.
අපි ඒ ගම්මානය සොයා යාමට තීරණය කළෙමු. මහ වන මධ්‍යයේ පාළු වී ගිය බැද්දේගම හෙවත් මල් අස්නි ගල්වැව සොයා යන මේ ගමනට ගම්බාර මහතා ද කඩිනමින් සූදානම් විය.