spot_img
spot_imgspot_img

ගාල්ලේ ජීවත්වී කළුබෝවිල දී මියගිය ආසාදිතයාගේ මළ සිරුරට වූ දේ මෙන්න

පුවත්

විදෙස්

ගාල්ලේ පළමු කොරෝනා මරණය ලෙස වාර්තා වෙමින් කළුබෝවිල රෝහලේ දී මියගිය මිලිද්දුව පිදිංචි පුද්ගලයාගේ මරණය පිළිබඳ මෙතෙක් නිල වශයෙන් නිවේදනය කිරීම සිදු නොවූයේ එම මරණය ඥාතීන් විසින් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බව rata.lk අප කළ විශේෂ විමර්ශනයක දී අනාවරණය විය.

මියගිය පුද්ගලයා මුස්ලිම් ජාතිකයකු වන අතර ඔහු ගාල්ලේ පදිංචිකරුවකු වුව ද දෙහිවල පදිංචි බව හඟවමින් ව්‍යාජ ලිපිනයක් රෝහලට ලබා දී කළුබෝවිලට ඇතුළත්ව තිබේ. වකුගඩු ආබාධයකට ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු 30 වැනි දා රාත්‍රී මියගියේය. දේහය අධිකරණ වෛද්‍ය ඒකකයට යොමුකළ විට පීසීආර් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව අධිකරණ වෛද්‍යවරයාගේ තීරණය වූ බැවින් දේහයෙන් සාම්පල රැගෙන පරීක්ෂණය පවත්වා ඇත. මෙම පීසීආර් පරීක්ෂණය අනුව පැහැදිලි වූයේ එම පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බවයි.

මේ පිළිබඳ අප කළ විමසීමක දී කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පවසන්නේ එම මරණය කොරෝනා ආසාදිත මරණයක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරායට නිල වශයෙන් දැනුම් දී ඇති බවයි.

මියගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟම දකුණු පළාත් හා ගාල්ල දිසත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පමණක් නොව ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ද ඒ පිළිබඳ දැනුම්වත් කෙරිණි. මියගිය තැනැත්තාගේ බිරිඳ සේවය කළ ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලය විෂබීජහරණය කළ අතර එදිනම බිරිඳ, දරුවන් සහ ඔහුගේ සාත්තුවට සිටි සහෝදරයන් දෙදෙනකු ද නිරෝධායනයට යොමුකර පීසීආර් පරීක්ෂණ ද සිදුකරන ලදී.

ඒ ප්‍රතිඵල අනුව බිරිඳට හෝ දරුවන්ට කොරෝනා සෑදී තිබුණේ නැත. නමුත් මියගිය තැනැත්තාගේ සාත්තුවට රෝහලේ සිටි ඔහුගේ සහෝදරයාට සහ තවත් පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී තිබිණි. පසුව කරන පීසීආර් පරීක්ෂණයකින් මියගිය තැනැත්තාගේ හිතවතියක වූ ගිංතොට පදිංචි කාන්තාවක් ද ආසාදිත බව තහවුරු කර ගැණිනි.

නමුත් අද (18) දක්වාම දින 18ක් පුරා නොවිසඳුණු ගැටලුවක් ඉතිරිව තිබිණි. ඒ ගාල්ල මිලිද්දුව පදිංචි මෙම තැනැත්තාගේ මරණය රජය විසින් නිකුත් කරන කොරෝනා මරණ පිළිබඳ නිල ලේඛනයට ඇතුළත්ව නොතිබීමයි.

මේ හේතුව තම වාසියට ගත් එක්තරා පිරිසක් ගාල්ල ප්‍රදේශය පුරාත් ඔහුගේ බිරිඳ අධ්‍යාපනය ලැබූ පාසලේ ප්‍රජාව තුළත් පැතිරවූයේ මිලිද්දුව පදීංචි එම තැනැත්තා මියගොස් ඇත්තේ වකුගඩු රෝගයකින් මිස කොරෝනාවලින් නොවන බව පවසමිනි. මුස්ලිම් ජාතිකයකු වූ ඔහුගේ මරණය කොරෝනා ගිනුමට බැර කිරීමට උත්සාහ ගන්නේ ඇතැම් සිංහල ජාතිවාදී කණ්ඩායම් විසින් බව ද ඔවුහු කීහ. සවුත්ලන්ඩ්ස් විද්‍යාලය සමඟ අමනාප කණ්ඩායමක් ද මෙම මරණය කොරෝනා මරණයක් බවට අසත්‍ය පතුරුවන්නේ යැයි කියන්නට ඔවුන්ට තිබූ හොඳම සාධකය වූයේ මෙතෙක් මියගිය අයගේ නිල ලේඛනයේ මේ මරණය සටහන්ව නොතිබීමයි.

එබැවින් rata.lk අපි ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් කළෙමු. පසුගිය 30 වැනි දින සිට මේ දක්වා රජය විසින් නිකුත් කරන ලද මරණ පිළිබඳ නිල ලේඛන, කළුබෝවිල රෝහලේ ඒ කාල පරාසය තුළ සිදකර ඇති මරණ පරික්ෂණ වාර්තා, කළුබෝවිල රෝහලේ දී පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති ජෛව සාම්පල හා පීසීආර් පරීක්ෂණ වාර්තා මෙන්ම 30 වැනි දින සිට මේ දක්වා කළුබෝවිල රෝහලෙන් නිකුත් කර ඇති මළ සිරුරු පිළිබඳ තොරතුරු විවිධ මූලාශ්‍රයන් භාවිතා කරමින් විමර්ශනය කළෙමු.

ගාල්ලේ මිලිද්දුව පදිංචි (පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම කළ යුතු බැවින් නම සඳන් නොකරමු) පුද්ගලයාගේ මළ සිරුර මේ දක්වාම තිබෙන්නේ කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේය. එය කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ලයකුගේ මළ සිරුරක් ලෙස නිල වශයෙන් නම් කර තිබේ.

කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් සිදුවන්නේ ඥාතීන් විසින් සිරුර හඳුනාගෙන මරණ පරීක්ෂණය සිදුකළ පසු ඔවුන්ගේ කැමැත්ත අනුව එය එම ස්ථානයේ සිට කෙළින්ම රජයේ අධීක්ෂණයෙන් ආදාහනය කිරීමයි. තම ආගමික විශ්වාසය අනුව සිරුරු ආදාහනය කිරීමට විරෝධය දැක්වූ ඔහුගේ බිරිඳ සිරුර භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

මෙලෙස ඥාතීන් විසින් භාර නොගත් මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කිරීමට තීරණය කර ඇතත් ඒ සඳහා අධිකරණයට කරුණු වාර්තා කළ යුතු බැවින් මෙය අද (18) දක්වාම ආදාහනය කිරීම ප්‍රමාද වී ඇත. අධිකරණයට කරුණු වාර්තාකරන තුරු එම සිරුර සම්බන්ධයෙන් මරණ සහතිකයක් නිකුත් වන්නේ නැත. මරණ සහතිකයක් නිකුත් කරන තුරු රජය විසින් ප්‍රකාශයට පත්කරන මරණ පිළිබඳ නිල ලේඛනයට මේ මරණය ඇතුළත් වන්නේ නැත.

මෙවන් නීතිමය තත්ත්වයක් තිබීම හේතුවෙන් එම මරණය අද දක්වාම නිල වශයෙන් ප්‍රකාශයට පත් නොවීම නිසා ඇතැම් පිරිස් ගාල්ලේ කිසිවෙකු කොරෝනා හේතුවෙන් මියගොස් නැතැයි ප්‍රචාරය කිරීම ගාල්ලේ ජනතාව නොමග යැවීමක් බව සෞඛ්‍ය අංශ පවසයි.

මිලිද්දුවේ පදිංචි මෙම පුද්ගලයා මියගිය දිනට පසු දින සිට එම ප්‍රදේශය හා ඒ අවට ග්‍රාම නිලධාරී වසම් කිහිපයක කරන ලද පීසීආර් පරීක්ෂණවලින් අද (18) වනවිට කොරෝනා ආසාදිතයන් 100කට වැඩි පිරිස් වාර්තා වී තිබේ.

කොරෝනා මරණයක් නැතැයි ප්‍රචාරය කරන්නෝම තමන් ගොඩනගාගැනීමට තැත් කරන්නා වූ සිහින ලෝකවල අතරමං වීම වැළැක්විය නොහැකි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!