spot_img
spot_imgspot_img

“පැණි ධම්මික මානසික රෝගියෙක් ද?” මනෝ වෛද්‍යවරයකුගේ පැහැදිළි කිරීම

පුවත්

විදෙස්

කොරෝනා වසංගතය නිට්ටාවටම සුව කළ හැකි ඖෂධයක් තමන් විසින් සොයාගත් බව ප්‍රකාශ කරන කෑගල්ලේ පදිංචි ධම්මික නමැති පුද්ගලයාට ඇත්තේ මානසික රෝගයක් බවට සමාජයේ පැතිරයන මතය සනාථ කිරීමටනම් ඔහු සම්බන්ධයෙන් සායනිකක පරීක්ෂණයක් කළ යුතු බව කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසිය.

වෛද්‍ය රූබන් මේ බව කියා සිටියේ මෙම පුද්ගලයා පෙරේදා (16) අනුරාධපුරයේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් ඉදිරියේ හැසිරුණු ආකාරය සහ ඔහු පවත්වාගෙන යන දේවාලයක දී කාන්තාවන්ට ප්‍රතිකාර ලබාදෙන ආකාරයත් දැක්වෙන වීඩියෝ පට නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.  

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසන්නේ පරලවීම හා අවේශවීම (Trance and Possession state) දකුණු ආසියාතික රටවල බහුලව දක්නට ලැබෙන බවයි. ඔහුගේ හැසිරීම එවැනි ආකාරයක් ගත්ත ද ඔහුට එවැනි තත්ත්වයක් ඇතැයි පරීක්ෂණවලින් තොරව පැවසීම වෛද්‍ය ආචාරධර්මවලට පටහැනි බව ද හෙතෙම කීවේය.

“දැඩි ආතතිය හා මානසික ගැටලු නිසා ඇතිවන මානසික පීඩනය පිටකරන්නේ මේ ආකාරය. විශේෂයෙන් ම අපිට දක්නට ලැබෙනවා ඇතැම් ආගමික හා සංස්කෘතික උත්සව අවස්ථාවල දී කාන්තාවන් වගේම පිරිම අයත් ආවේශවීම සිදුවන ආකාරය. කාවඩි නැටුම්වල දී. කෝවිල් සහ දේවාල ඉදිරිපිට පූජාවන් පැවැත්වෙන අවස්ථාවල දී පෙරහැර පැවැත්වෙන අවස්ථාවල දී මේ වගේ අය බහුලව දැකගත හැකියි. ඒ වගේම ඇතැම් වෘත්තීය රඟපෑම්වල දී ඒ චරිතයට පණ පෙවීම සඳහා පරල වීම නැතිනම් ආවේශවීම සිදුවෙනවා. තොවිල්වල දී ද මෙය දකින්න පුළුවන්. මෙය මනෝ විද්‍යාවේදී හඳුන්වන්නේ විශාදය හා මායාකාරී පෞරුෂය යන මානසික රෝග වැළඳීමේ තත්ත්වයක් හැටියට. ඔවුන් ප්‍රකාශ කරනවා තමන්ට යම් යම් සංස්කෘතික විශ්වාසයන්හි ඇති චරිත ආරූඪ වෙලා තියෙනවා කියා. ඔවුන් පවසනවා මම ඒ තැනැත්තා බව. මේ වගේ රෝගවලින් පෙළෙන අය කියනවා මම කාලි අම්මා, මම කළුකම්බිලි, මට විෂ්ණු දෙවියන්, නාථ දෙවියන් ආරූඪ වෙනවා කියා. මේවා ඇත්තටම මානසික රෝග.”

වෛද්‍යවරයා පවසන්නේ මෙවැනි පුද්ගලන්ගේ දක්නට ලැබෙන එම තත්ත්වය කුමන ආකාරයෙන් පවතින්නේ ද යන්න ස්ථිරවම කිව හැකිවන්නේ එවැනි රෝගියකු පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව බවයි. එවැනි පුද්ලයන්ට ප්‍රතිකාර ලබාදීමෙන් සුව කළ හැකි බවත් ඇතැම් අයට කෙටි කාලීන ප්‍රතිකාර ලබාගැනීමෙන් සුවය ලැබෙන බවත් තවත් පිරිසකට දිගු කලක් ප්‍රතිකාර කළ යුතු බවත් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පරලවීම හා අවේශවීම (Trance and Possession state) මෙය මානසික ප්‍රකාශනයක් මිස ප්‍රාතිහාර්යයක් නොවන බව ජනතාව විසින් තේරුම්ගත යුතු කරුණක් බව ද විශේෂඥ වෛද්‍ය රූබන් පෙන්වා දෙයි.

කිසිම මානසික රෝගයක් නොමැති පුද්ගලයකු වුව ද වාණිජ අරමුණු වෙනුවෙන් සමාජයේ මුල්බැස ගත් දේව විශ්වාසවලින් තමන්ට වරමක් ලැබී ඇති බව පවසමින් රඟ පෑමේ යෙදෙන බවද විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

එමෙන්ම මාරාන්තික කොරෝනා වසංගතයට ඖෂධයක් නොතිබීම මත ජන සමාජයේ බොහෝ දෙනකු ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන්නාක් මෙන් කවුරුන් හෝ කියන දෙයක් හරි හෝ වැරදි හෝ වේවා අත්හදා බැලීමට පෙළඹීම ද මානසික උත්සාහයක් බව ද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් ඉල්ලා සිටින්නේ මෙවන් වසංගත තත්ත්වයක දී අන්ධානුකරණයෙන් නොව බුද්ධිමත්ව සිතා කටයුතු කිරීම අවශ්‍ය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!