ගාල්ලේ කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ 56 වාට්ටුවේ නේවාසිකව සිටි පිරිමි රෝගියකුගේ බිරිඳ කොරෝනා ආසාදිත බව අද (17) තහවුරු වී ඇත.
එම කාන්තාව සූරියවැව පදිංචිකාරියකි. තම සැමියා අසළ නැවැත්වීමට කිසිවකු නොමැති වීමත් දුර බැහැර පදිංචිව සිටීමත් හේතුවෙන් ඇය කාන්තා රෝගීන් සිටින කොටසේ නැවතී සැමියාගේ සාත්තු සප්පායම් කර තිබේ.
මේ අතර ඇය යම් රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් පීසීආර් පරීක්ෂණයක් කරගන්නා ලෙස ඇයට වාට්ටුවෙන් උපදෙස් ලැබී තිබේ. මෙම පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඇය කොරෝනා ආසාදිතයකු බව හඳුනාගෙන ඇත.
ඇගේ සැමියාට අද ඇන්ටිජනි පරීක්ෂණයක් සිදුකළ බවත් ඔහුට කොරෝනා ආසාදනය වී නොමැති බව ඉන් පැහැදිලි වූ බවත් රෝහල් පරිපාලනය පවසයි.
ඒ අනුව වාට්ටුවේ නේවාසිකව සිටින සියලුම රෝගීන් සහ ඔවුන්ගේ උපස්ථානයට සිටින අය පීසීආර් පරීක්ෂණයට යොමු කළ බව ද රෝහල් ආරංචිමාර්ග පවසයි. රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය කියා සිටියේ වාට්ටුවට රෝගීන් භාර ගැනීම නවතා දැමීමට තීරණය කළ බවයි. මේ අතර වාට්ටුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කැමැතිනම් පීසීආර් පරීක්ෂණ කරගන්නා ලෙස ද උපදෙස් ලැබුණු බව කාර්ය මණ්ඩලයේ සේවකයෝ කියති.