ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 113 දෙනකු වාර්තා වී තිබේ. මෙය ඉතාමත් භයානක තත්ත්වයක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
සංචරණ සීමා පනවා තිබුණ ද අතුරු මාර්ග ඔස්සේ දිගින් දිගටම ගමන් කිරීමත් තම නිවසේ හැර අන් යාබද නිවෙස්වලට ගොස් ඔවුන් ඇසුරු කිරීමට පෙළඹීමත් හේතුවෙන් මේ අවදානම් තත්ත්වය තවත් තීව්ර වෙයි.
මේ තත්ත්වය වඩාත් භයානක වී ඇත්තේ මේ වනවිට ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ රෝගීන් හමුවීමේ තීව්‍රතාව සැළකීමේ දී ය.
දෙසැම්බර් මස 05 වැනි දා ගාල්ල කනම්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ආසාදිත බව හඳුනාගෙන තිබුණේ උසාවි සංකීර්ණය අසළ කරන ලද පීසීආර් පරීක්ෂණයකිනි. ඇය වාර්තා වී සුළු මොහොතකින් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සසළ වූයේ ඇය පදිංචි ප්‍රදේශයට යාබද මිලිද්දුවේ පදිංචි පුද්ගලයකු කළුබෝවිල රෝහලේ දී මියගොස් ඇති බවත් ඔහු කොරෝනා ආසාදිත බවත් දැනුම් දීමත් සමගිනි. නමුත් එම මරණය මේ දක්වාම කොරෝනා ආසාදිතයකුගේ මරණයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් නොකළ ද එය කොරෝනා මරණයක් බව සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි මේ ලියුම්කරු සතුව තිබේ. එම මියගිය පුද්ගලයාගේ කරන්දෙණියේ පදිංචි ඥාති සහෝදරයකු සහ ගිංතොට පදිංචි (බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ) හිතවත් කාන්තාවක ද ආසාදිත බව තහවුරු කරගෙන තිබේ.
කනම්පිටියේ ආසාදිත කාන්තාව වාර්තාවන දෙසැම්බර් 05 වැනි දා වනවිට ඇය සමඟ ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දැක්වූණේ 13 දෙනකු ලෙසිනි.
ගාල්ල වඩාත් භයානක තත්ත්වයකට පත්වන්නේ ඉන් අනතුරුවය. මේ වනවිට ගාල්ලේ ස්ථාන රැසකින් කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වී තිබේ. මේ සංඛ්‍යාව අද වනවිට 113 දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වූවා යැයි සැළකෙන ඔක්තෝබර් මස 04 වැනි දා සිට දෙසැම්බර් 05 වැනි දා දක්වා ගත වූ මාස දෙකේ දී ගාල්ලෙන් වාර්තා වූ රෝගීන් 13 දෙනා අතරට දින 10ක් ඇතුළත රෝගීන් 100ක් එක්වීමෙනි.
මෙහි බරපතල කම පැවසීමට අටුවා ටීකා අවැසි නැත. ගැටලුව වන්නේ ගාල්ලට සංචරණ දැඩි සීමා පනවන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිය දී එය සීමා සහිත සංචරණ සීමා ලෙස දේශපාලන බල අධිකාරිය විසින් ලඝු කොට පැනවීමයි. නමුත් සංචරණය සීමා වූයේ නැත. ඇතැම් පිරිස් PCR පරීක්ෂණ මග හැරීමත්, සංචරණය සීමා නොවීමත් හේතුවෙන් දැඩි සංචරණ සීමා පනවන බව රජය ප්‍රකාශ කළේය. එසේ වුව ද සංචරණය සීමා නොවුණු බවත් බාධාවකින් තොරව එම ප්‍රදේශයේ සංචරණය කළ හැකි බවත් අපි rata.lk වෙබ් අඩවියෙන් අනාවරණය කළ බව පාඨ ඔබ මතකයේ ඇතිවාට සැක නැත. ඉන් පසු රජය පොලිස් බාධක දැමුවේය. එය අශ්වයා පැන ගියාට පසු ඉස්තාලයක් බැඳීම හා සමාන බව ඊයේ (15) දිනයේ දී ද ආසාදිතයන් 20ක් වාර්තාවීමෙන් ම පැහැදිලි වෙයි.
මෙහි වඩාත් භයානක තත්ත්වය පවතින්නේ ආසාදිතයන් ලෙස හඳුනාගන්නා පුද්ගලයන් තමන් ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ අසත්‍ය තොරතුරු ලබාදීමයි.
එක්තරා පාසල් සිසුවියක් සෞඛ්‍ය අංශවලට පවසා තිබුණේ තමන් ආසාදිත බවට හඳුනාගත් දිනයට පෙර දින 14ක කාලයක් ම තමන් පාසලට නොගිය බවයි. එබැවින් ඇයගේ අනන්‍යතාව ආරක්ෂා කරමින් සෞඛ්‍ය අංශ ඒ පාසලට එම දැරිය ආසාදිත බව නිල වශයෙන් දැනුම් දී තිබුණේ නැත. නමුත් මේ ලියුම්කරු විසින් සොයා බැලීමේ දී පෙනී ගියේ එම දැරිය ආසාදිත බව හඳුනාගැනීමට පෙර දින 14කට මෙපිට කාලයේ දී ඇය පාසලට ගොස් ඇති බවයි. පාසලේ නාම ලේඛනය ඒ බව සාක්ෂි දරයි. නමුත් ඇය සෞඛ්‍ය අංශය ට බොරු කීමෙන් ඇයගේ සොහෝදර ශිෂ්‍යාවන් පමණක් නොව ගුරුවරු ද අවදානමකට ලක්ව ඇත. අපි මේ පිළිබඳ සෞඛ්‍ය අංශ දැනුම්වත් කර තිබේ.
මේ වනවිට ගාල්ලේ ආසාදිත පිරිස් අතර හීන්පැන්දල පදිංචි තරුණයකු නරගයේ දුරකථන අළෙවි සැළක සේවය කර ඇති අතර ඔහුගේ නිවසට ගිය හිතවතුන් පිරිසක් ද කොරෝනා ආසාදිත බව ද හඳුනාගෙන තිබේ.
ගාල්ල නගරයේ ඇති එක්තරා සුප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයක පවුලේ සියලු දෙනාටම කොරෝනා ආසාදනය වී ඇති බව ද වාර්තා වෙයි.
සෞඛ්‍ය අංශ පවසන්නේ මේ වනවිට ගාල්ලේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 113ක් බැවින් ඔවුන්ගේ ආශ්‍රිතයන් ද අතිවිශාල ප්‍රමාණයක් බවයි. ඇතැම් ආශ්‍රිතයන් පිළිබඳ නිශ්චිත තොරතුරු අනාවරණය කරගත නොහැකි අතරම මේ වයිරසය රෝග ලක්ෂණ නොපෙන්වන විශාල පිරිසකගේ ශරීගතවී තිබිය හැකි බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
එබැවින් ආසාදිතයන් 113ක් වාර්තා වූ 15 වැනි දින සිට ඉදිරි සති දෙකක පමණ කාලයක් අවම වශයෙන් සංචරණය උපරිම වශයෙන් සීමා කිරීමටත් අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී අමුත්තන් හමුවීමෙන් ද වැළකී සිටින ලෙසත් සෞඛ්‍ය අංශ ගාල්ලේ පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියි.