spot_img
spot_imgspot_img

කොරෝනා තුන්වැනි රැල්ලෙන් ශ්‍රී ලංකාවට භයානක ප්‍රතිඵල ?

පුවත්

විදෙස්

විද්‍යාත්මක සැළසුමක් නිසි පරිදි ක්‍රියාත්මක නොකළහොත්  කොරෝනා  තුන්වැනි රැල්ල ශ්‍රී ලංකාවට මීටත් වඩා හානිකර තත්ත්වයක් උදාකරනු ඇතැයි විද්‍යා විශ්ලේෂක හම්බන්තොට දිස්ත්‍රික් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චමල් සංජීව පවසයි.

ඔහු මේ බව කියා සිටින්නේ ලෝකයේ රටවල් බොහොමයක කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා අදාල විෂය පථයන් විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත විද්‍යාත්මක කමිටු හරහා රෝගී තත්ත්වය සම්න්ධව පූර්ණ වශයෙන් විශ්ලේෂණ කරමින් ලබාගන්නා තොරතුරු මත පදනම් වෙමිනි.

ලෝකයේ සියලුම රටවල් මෙම තොරතුරු කොරෝනා පාලනය කිරීමේ වැඩසටහන් සඳහා ප්‍රයෝජනයට ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.

මේ වනවිට ලෝකය පුරා කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ල පැතිර පවතින අතර ලෝකයේ රටවල් ගණනාවක් එහි අතුරු ඵල අත්විඳිමින් සිටියි. පළමු රැල්ල සාර්ථක ලෙස පාලනය කළ ඇතැම් රවටල් දෙවන රැල්ලේ දී දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන් අතර ශ්‍රී ලංකාව ද එලෙස දෙවැනි රැල්ලේ දී වඩාත් අසීරුතාවට පත්වූ රටවල් අතර ප්‍රමුඛ වෙයි.

මෙහි තරම පෙනෙන්නේ සිංගප්පූරුව හා සංසන්දනය කිරීමේ දී ය. පසුගිය සැප්තැම්බර් 31 වැනි දා වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබූ මරණ සංඛ්‍යාව වූයේ 11කි. සිංගප්පූරුවේ 19කි. අද වනවිට ශ්‍රී ලංකාවේ මරණ සංඛයාව 157ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සිංගප්පූරුවේ මරණ සංඛ්‍යාව 29කි.

කොරෝනා වෛරසයට එරෙහිව මේ වන විට ලොව රටවල් ගණනාවක්ම එන්නත් නිෂ්පාදනය කර ඇති නමුත් මෙම එන්නත් යනු රෝගය පාලනයට උදවු වන එක් උපකාරක කොටසක් පමණක් වන බැවින් අඛණ්ඩව ම කොරෝනා වෛරසය මර්දනය සඳහා සෑම රටක්ම විද්‍යානුකූල ලෙස අවධානය යොමු කිරීම වැදගත් වන බව මේ සම්බන්ධව විශ්ලේෂණයක යෙදෙන මයික්‍රසොෆ්ට් ආයතනයේ බිල් ගේට්ස් පවසා ඇතැයි වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.

ළඟ එන නත්තල් සමයත් ශීත සෘතුවත් සමඟ ලෝකය පුරා කොරෝනා වසංගතයේ සීඝ්‍ර වර්දනයක් අපේක්ෂා කරන බැවින් ලෝකයේ රටවල් රැසක් මේ වනවිට දැඩි සංචරණ සීමා පනවා එම රටවල ජනතාවට වඩාත් ආරක්ෂිතව ජීවත්වීමට උපදෙස් ලබා දී තිබේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් ද රජයට අනතුරු අඟවා ඇත්තේ උත්සව සමයේ සංචරණය සීමා නොවුනහොත් ජනවාරි මාසයේ සිට කොරෝනා දැඩි ව්‍යාප්තියක් ශ්‍රී ලංකාවේ දැකිය හැකි වනු ඇතැයි අනතුරු අඟවමිනි.

වෛද්‍ය චමල් සංජීව පවසන්නේ ශ්‍රී ලංකාවට දෙවැනි කොරෝනා රැල්ල වඩාත් පීඩාකාරී වී තිබෙන ආකාරයත් මේ වනවිට ජන සමාජයේ සාමාන්‍ය හැසිරීම් ස්වභාවයත් ගෙන බැලූ විට ළඟ එන තුන්වැනි කොරෝනා රැල්ල අතිශය බිහිසුණු බලපෑම් ඇතිකිරීමට වැඩි ඉඩක් තිබෙන බවයි.

ජනවාරි මාසයේ අග භාගය වනවිට කොරෝනා තුන්වැනි රැල්ල වඩාත් ප්‍රබල ලෙස ක්‍රියාත්මක වන බවට රටවල් ගණනාවක විද්‍යාඥයෝ අනතුරු අඟවා තිබේ. මේ සඳහා අප රටේ සාර්ථක සූදානමක් ඇති බවක් පෙනෙන්නට නැත.

මෙරට කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දුර දක්නා වැඩපිළිවෙළ කින් යුක්ත ව සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවයත් ඒ සඳහා විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත විද්‍යාත්මකව කමිටු හරහා තීන්දු තීරණ ලබා ගැනීමත් ඉතා වැදගත් වන බව වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් පවසයි.

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවට පැමිණ වසරකට ආසන්න කාලයක් ගත වන අවස්ථාවේදී ද රෝගීන් වාර්තා වෙන ප්‍රමාණය දැනට සෞඛ්‍ය පද්ධති ධාරිතාවට දරාගත නොහැකි සීමාවට පැමිණ ඇත. දිවයින පුරා දිස්ත්‍රික්කවලින් රෝගීන් වාර්තා වීම සිදුවන අවස්ථාවලදී ඉතාමත්ම දැඩි සුපරික්ෂාකාරී ලෙස කටයුතු කිරීම ඉතා වැදගත් වන අතර එසේ නොවන්නේ නම් කොරෝනා තෙවැනි රැල්ල මීට වඩා භයානක ප්‍රතිඵල ඉස්මතු විය හැකි බව ඔහු අවධාරණය කරයි.

විශේෂයෙන්ම මේ වන විට දිවයින පුරා පැතිර යන ඇතැම් දේව විශ්වාස හා වෙනත් දෘෂ්ඨිවාදී කරුණු සම්බන්ධව ජනතාව කටයුතු කිරීමේදී වඩාත් දැඩි විමසිලිමත් බවකින් යුතු වීම අවශ්‍ය බවත් ඔහු පවසයි.  විද්‍යාත්මක විශ්ලේෂණයකින් තොරව කටයුතු කිරීම නිසා බලාපොරොත්තු නොවන අහිතකර සහ භයානක ප්‍රතිඵල අත්විදීමට සිදු වුවහොත් රටක් වශයෙන් එය විශාල ඛේදවාචකයක් බව ද වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!